Tag: news

  • කෘෂිකර්මාන්තය සහ ඒ ආශ්‍රිත රැකියා අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට කොරියානු සහාය

    කෘෂිකර්මාන්තය සහ ඒ ආශ්‍රිත රැකියා අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට කොරියානු සහාය

    කෘෂිකර්මාන්තය සහ ඒ ආශ්‍රිත රැකියා අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට කොරියානු සුළු පරිමාණ ව්‍යවසායක සංගමය ඉදිරිපත්ව සිටියි.

    එමෙන්ම ධීවර කර්මාන්තයට අවශ්‍ය තාක්ෂණික සහාය සහ පුහුණුව සඳහා පහසුකම් සැලසීමට ද
    කොරියානු සුළු පරිමාණ ව්‍යවසායක සංගමය එකඟතාව පළ කර තිබේ.

    කොරියානු සුළු පරිමාණ ව්‍යවසායක සංගමයේ නියෝජිත කණ්ඩායමක් හා ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් අතර ජනාධිපති කාර්යාලයේදී අද (13) පැවති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය.

    කොරියාවේ ධීවර කර්මාන්තය සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටදීම පුහුණු කිරීම සහ රැකියා අවස්ථාවන් ලබාදීමට ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

    කොරියානු සුළු පරිමාණ ව්‍යවසායක සංගමයේ සභාපති කිම් චුන්ග් රෙන්ග් (Kim Chung Ryong) මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • ජනපති අද රටවල් 07ක තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් හමු වෙයි

    ජනපති අද රටවල් 07ක තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් හමු වෙයි

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (02) දින රටවල් 07ක තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

    සියලු රටවල් සමඟ ද්විපාර්ශ්වික සබඳතා තර කර ගැනීමේ වත්මන් රජයේ ප්‍රතිපත්තිය අනුව ජනාධිපතිවරයා මෙලෙස විදෙස් තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

    ඒ අනුව කියුබාව, එක්සත් රාජධානිය, ඕස්ටේලියාව, චිනය, ජපානය, කැනඩාව සහ ඉන්දියාව යන රටවල තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු නියෝජිතයන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පවත්වනු ඇත.

  • අලුත් ආණ්ඩුවක් සමග වැඩ කරන්න IMF  සූදානම් ද ?  IMF මතය මෙන්න

    අලුත් ආණ්ඩුවක් සමග වැඩ කරන්න IMF සූදානම් ද ? IMF මතය මෙන්න

    ජනාධිපතිවරණය පවත්වා ජනතාවගේ කැමැත්ත මත නව රජයක් පිහිටුවීමෙන් පසු වැඩසටහන් සාකච්ඡා ඉදිරියට ගෙන යාමට සූදානම් බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජුලී කොසැක් (Julie Kozack) පවසයි.

    ජුලී කොසැක් මෙම අදහස් පළ කළේ විරුද්ධ පාර්ශ්ව විසින් ප්‍රකාශ කරන පරිදි EFF වැඩසටහන සම්බන්ධයෙන් ණය තිරසාර තක්සේරුව නැවත සාකච්ඡා කිරීමට හෝ නැවත බැලීමට හැකිද යන ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    “ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙය තීරණය කළ යුත්තේ ශ්‍රී ලංකාවේ ජනතාවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්ථාවරය අනුව අපට පෙනෙන්නේ සැලකිය යුතු ජයග්‍රහණ ලබා ඇති වැඩපිළිවෙළක්. නමුත් රට එහි දරුණුතම අර්බුදයකින් සම්පූර්ණයෙන්ම ගොඩ ඒමට හැකිවීම සඳහා මෙම ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම වැදගත්. තුන්වන සමාලෝචනය පැවැත්වෙන කාලය තුළ මාධ්‍ය නිවේදනයක සඳහන් කර ඇති පරිදි, තුන්වන සමාලෝචනයේ කාලය මැතිවරණයෙන් පසුව රජය සමඟ සාකච්ඡා කරනවා. ඒ නිසා අපි ජනාධිපතිවරණයක් පවත්වා අලුත් ආණ්ඩුවක් පත් වූ පසු වැඩසටහන් සාකච්ඡා සමඟින් ඉදිරියට යනවා. නැතිනම් ජනතාවගේ තේරීම අනුව ප්‍රතිඵලය අනුව ඒ සමඟ යාමට අපි සූදානම්‘

    “2024 ජුනි 12 වන දින, අපගේ විධායක මණ්ඩලය 2024 වගන්තිය IV උපදේශනය සහ EFF වැඩසටහනේ දෙවන සමාලෝචනය සම්පූර්ණ කළා. එමගින් රටට ඇමෙරිකානු ඩොලර් මිලියන 336ක පමණ ප්‍රවේශයක් ලැබුණා. වැඩසටහන් කාර්ය සාධනය ශක්තිමත්ව පවතිනවා. ප්‍රතිසංස්කරණ උත්සාහයන් ඵල දරමින් තිබෙනවා. ආර්ථික වර්ධනය නැවත පණ ගැන්වීම ආරම්භ වී තිබෙනවා. උද්ධමනය අඩු වෙනවා. සංචිත, ජාත්‍යන්තර සංචිත වැඩි වෙමින් පවතින අතර ආදායම් බලමුළු ගැන්වීම වැඩිදියුණු වෙමින් තිබෙනවා. එසේ වුවද, වැදගත් අවදානම් පවතින අතර, ප්‍රතිසංස්කරණ ගම්‍යතාවය පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි“

    “අගෝස්තු මස මුලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් කොළඹට පැමිණ එම අවස්ථාවේදී මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. මාධ්‍ය නිවේදනයේ සඳහන් කර ඇති පරිදි, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සහ නිල ණය හිමියන්ගේ කමිටුව සහ චයිනා EXIM බැංකුව සමඟ ගිවිසුම අවසන් කිරීම ප්‍රධාන සන්ධිස්ථානයි. කාර්ය මණ්ඩලය ඒකාබද්ධ වැඩ රාමුව කුමක්දැයි තක්සේරු කළ අතර කාර්ය මණ්ඩලය මෙම රාමුව පිළිබඳ තක්සේරුවක් ශ්‍රී ලංකා බලධාරීන්ට ද ලබා දී තිබෙනවා. තවද, ශ්‍රී ලංකා බලධාරීන්ගේ ඉල්ලීම පරිදි, IMF කාර්ය මණ්ඩලය මෙම තක්සේරුව රටේ බැඳුම්කර හිමියන්ගේ මූල්‍ය උපදේශකයින් සමඟ බෙදාගෙන තිබෙනවා. ඉතින් එතන තමයි අපේ කාර්යභාරය ණය වෙලා තියෙන්නේ. තවද, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සාකච්ඡාවලට සහභාගී නොවන බව යළි අවධාරණය කිරීමට මට අවශ්‍යයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සහ සාකච්ඡා වලදී, එම සාකච්ඡා සාමාජික රට සහ එහි ණය හිමියන් අතර වන අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය තිරසාරභාවය පිළිබඳ සමස්ත තක්සේරුවක් සිදු කරනවා, ”ජූලී කොසැක් තවදුරටත් පැවසුවාය.

     

  • සීතා අරඹේපොල කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි

    සීතා අරඹේපොල කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි

    කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කෙරුණු විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ එම ධූරයේ දිවුරුම් දුන්නාය.

    සීතා අරඹේපොල මහත්මිය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කර ඇත්තේ ඇය මෙතෙක් දැරූ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරවය.

    දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද එක්ව සිටියේය.

  • නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් සිව් දෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

    නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් සිව් දෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

    නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් සිව් දෙනෙක් අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

    මහාධිකරණ විනිසුරුවරුන් වන කේ. එම්. ජී. එච්. කුලතුංග, ඩී. තොටවත්ත සහ ආර්.ඒ. රණරාජා යන මහත්වරු සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් එම්.සී.එල්.බී. ගොපල්ලව මහතා මෙලෙස නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර තිබේ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වැනි වගන්තිය ප්‍රකාරව 2024 සැප්තැම්බර් 6 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම් සිදු කර ඇත.

    මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අනුර විදානගමගේ මහතා පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.

    ඒ මහතා ද අද (06) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ සිය ධූරයේ දිවුරුම් දුන්නේය.

    ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද මෙම අවස්ථාවන්ට එක්ව සිටියේය.

  • ශ්‍රී ලංකා මහ බැංකුව 2024 අගෝස්තු මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කරයි

    ශ්‍රී ලංකා මහ බැංකුව 2024 අගෝස්තු මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කරයි

    2023 අංක 16 දරන මහ බැංකු පනතෙහි දක්වා ඇති අවශ්‍යතාවයන්ට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව 2024 වසර සඳහා සිය දෙවැනි මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කළේය. මෙම වාර්තාවේ අන්තර්ගතය, 2024 ජූලි මාසයේ මුදල් ප්‍රතිපත්ති සමාලෝචනයට අදාළ තීරණ ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සැලකිල්ලට ගනු ලැබූ තොරතුරු මත පදනම් වී ඇත.

    මුදල් ප්‍රතිපත්ති වාර්තාව, විශේෂයෙන් ම, ආර්ථික වර්ධනය සහ උද්ධමනයට අදාළව ඉදිරි දැක්මක් ලබා දෙයි. දේශීය සහ ගෝලීය වශයෙන් දැනට පවතින මෙන්ම අපේක්ෂිත ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්, උද්ධමන සහ ආර්ථික වර්ධන පුරෝකථන සඳහා පවතින අවදානම් පිළිබඳව ඇගයීමක් ඉදිරිපත් කිරීමද මෙම වාර්තාවෙන් අපේක්ෂා කරයි. මෙම වාර්තාව මගින් මෑත කාලීන මුදල් ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා මූලික වූ පසුබිම සන්නිවේදනය කිරීම තුළින් මහ බැංකුවේ විනිවිදභාවය සහ වගවීම වැඩි දියුණු කිරීමට මහ බැංකුව  ප්‍රයත්න දරයි

  • ජල ගාස්තු සංශෝධනයක් ළගදීම

    ජල ගාස්තු සංශෝධනයක් ළගදීම

    ජල ගාස්තු සංශෝධනනය කිරීම වෙනුවෙන් ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

    ඒ අනුව සමෘද්ධිලාභීන් සහ නාගරික වතු ජනාවාස හැරුණු කොට ගෘහස්ථ කාණ්ඩයේ ජල ගාස්තුව අඩුවීමේ සාමාන්‍ය සියයට 7ක් වන අතර රජයේ රෝහල් සඳහා සියයට 4.5ක් සහ පාසල් , පුණ්‍යායතන සඳහා සියයට 6.3ක සාමාන්‍යයකින් ජල ගාස්තු සංශෝධනය වේ.

    ජාතික ජලසම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය දැනට පවතින ජල ගාස්තු 2023.08.01 දින සිට ක්‍රියාත්මක කරනු ලබන අතර එම ගාස්තු සමාලෝචනය කිරීම සඳහා ගාස්තු ප්‍රතිපත්තිය සහ සූත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා 2024.07.15 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    තවද 2024.07.16 වැනි දින සිට ලංකා විදුලිබල මණ්ඩලය විදුලිගාස්තු අඩු කර ඇති බැවින් සහ ඉන්ධන , රසායනික ද්‍රව්‍ය සහ පොලි පිරිවැය අඩුවීම සැළකිල්ලට ගෙන ජල ගාස්තු යම් ප්‍රතිශතයකින් අඩු කිරීමට හැකියාව පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

  • ආණ්ඩුවේ රස්සාවලට බඳවා ගැනීම ගැන අමාත්‍ය මණ්ඩලය ගත් ‘‌නිවැරදි’ තීන්දුව

    ආණ්ඩුවේ රස්සාවලට බඳවා ගැනීම ගැන අමාත්‍ය මණ්ඩලය ගත් ‘‌නිවැරදි’ තීන්දුව

    රාජ්‍ය සේවයේ ප්‍රාථමික හැර අනෙකුත් සියලුම සේවා කාණ්ඩ වල විධිමත් තරඟ විභාග හා සම්මුඛ පරීක්ෂණ ක්‍රම මගින් පමණක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම කළ යුතු බවට නිර්දේශ කර ඇතැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    රාජ්‍ය සේවයෙහි ප්‍රාථමික සේවා කාණ්ඩය සඳහා බඳවා ගැනීමේ මූලික සුදුසුකම් ලෙස ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශය සහ ජාතික වෘත්තීය නිපුණතාවය පදනම්ව සේවා අවශ්‍යතාවය පරිදි සුදුස්සන් තෝරාගැනීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීමට නිර්දේශ කර ඇතැයිද කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේය.

  • ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, විසිහතර වැනි (24) අපනයනකරුවන්ගේ සංසදය සාර්ථකව පවත්වයි

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, විසිහතර වැනි (24) අපනයනකරුවන්ගේ සංසදය සාර්ථකව පවත්වයි

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු සාකච්ඡා කිරීමට සහ විසඳුම් ලබාදීම සඳහා පවත්වනු ලබන විසිහතර වැනි (24) අපනයනකරුවන්ගේ සංසදය ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන ඊයේ (25)  දින අපනයන සංවර්ධන මණ්ඩලයේදී සාර්ථකව පවත්වන ලදී.

    ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම් එම්. එම්.නයිමුදීන් මහතා, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා සහ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන) අනෝමා ප්‍රේමතිලත මහත්මිය, අපනයන උපදේශක කමිටු නියෝජිතයින්, අපනයනකරුවන්ගේ සංගම්, වාණිජ මණ්ඩල නියෝජිතයින්, අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්, පුද්ගලික අංශයේ සමාගම්වල නියෝජිතයින් ඇතුළු රාජ්‍ය  ආයතනවල නිලධාරීහු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

    මෙහිදි අදහස්  දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරන ලද අපනයනකරුවන්ගේ සංසදය අපනයනකරුවන් මුහුණ දෙන ගැටළු නිරාකරණය කිරීමේ සුවිශේෂී ප්‍රගතියක් ලබා ඇති බවයි.තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා පොලිසිය තුළ නව කොට්ඨාසයක් ස්ථාපිත කර  ආයෝජකයින් සහ අපනයනකරුවන් මුහුණ දෙන නීතිමය ගැටලු විසඳීමට සහ ඔවුන්ට අමතර ආරක්ෂාවක් ලබා දීමට  ඉදිරියේදී අපේක්ෂා කරන බවයි. තවද අපනයන වටිනාකම් දාමයේ ඇති බාධක හඳුනා ගැනීම, විශ්ලේෂණය කිරීම සහ ඒවාට පිළියම් යෙදීම සඳහා අදාළ රාජ්‍ය අංශයේ ආයතනවලින් නම් කරන ලද කේන්ද්‍රස්ථාන සහිත වෙළඳ පහසුකම් කාර්ය සාධක බලකායක් අපනයන සංවර්ධන මණ්ඩල තුල පිහිටුවීමට යෝජනා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    අපනයන සංවර්ධන මණ්ඩලයේ වෙළඳ පහසුකම් සහ වෙළඳ තොරතුරු අංශය මඟින් මෙම අපනයන කරුවන්ගේ සංසදය සංවිධානය කරන අතර ඉදිරි සංසදයන්හි දී සාකච්ඡාවට ගැනීම සඳහා, අපනයනකරුවන්ට තම ගැටලු පහත ක්‍රම ඔස්සේ අපනයන සංවර්ධන මණ්ඩලය වෙත ඉදිරිපත් කළ හැකිය. තැපැල් මාර්ගයෙන්; අධ්‍යක්ෂ, වෙළඳ පහසුකම් සහ වෙළඳ තොරතුරු අංශය, EDB/NDB ටවර්ස්, අංක 42, නවම් මාවත, කොළඹ 02 යනුවෙන් ද, විද්‍යුත් තැපෑලෙන් forum@edb.gov.lk යනුවෙන් ද, විශේෂිත මාර්ගගත වේදිකාවක් වන OATO http://www.forum.edb.gov.lk/ (වෙළඳ බාධක සඳහා මාර්ගගත දැනුම්දීම) ඔස්සේ ද අපනයනකරුවන්ගේ ගැටලු ඉදිරිපත් කළ හැකිය.

     

     

  • ‘උරුමය වැඩසටහනේ‘ අරමුණු ගැන ‘නිල‘ පැහැදිලි කිරීමක්

    ‘උරුමය වැඩසටහනේ‘ අරමුණු ගැන ‘නිල‘ පැහැදිලි කිරීමක්

    • වසර දෙකක් තුළ මෙරට ක්‍රියාත්මක විප්ලවකාරී වැඩසටහන ‘උරුමය’ වැඩසටහනයි – ඉඩම් කොමසාරිස් ජනරාල්.
    • ඉඩම් හිමිකම් නිරවුල් කිරීම උතුරු/ නැගෙනහිර 70% ක් සහ අනෙකුත් පළාත්වල 99% ක් අවසන් – ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්.
    • සියලු ඉඩම් හඳුනා ගැනීමත් එම ඩිජිටල් දත්ත පද්ධතියකට ඇතුලත් කිරීමත් සිදු කර අවසන් – ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති.
    • ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඉඩම් පරිහරණ සැලසුම් සකස් කිරීම අවසන් කර තිබෙනවා- ඉඩම් පරිහරණ හා ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්.
    • වැටුප් ලබා ගනිමින් සේවයෙන් බැහැරව නොසිට රාජකාරියට වාර්තා කරන ලෙස රජයේ මිනින්දෝරු සංගමයෙන් ඉල්ලා සිටිනවා – සර්වේයර් ජනරාල්.

    සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ “උරුමය” වැඩසටහන කිසිසේත්ම දේශපාලන වැඩසටහනක් නොවන බවත් එබැවින් මැතිවරණ පැවැත්වෙන කාලයන්හි වුවද අඛණ්ඩව එම වැඩසටහන ක්‍රියාත්මක වන බවත් සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය.

    උරුමය වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබා දීම වසර දෙකක් තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කළේය.

    සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් අද (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා මෙසේද පැවසීය,

    මෙම දෙවසර තුළ මෙරට ජනතාවට වඩාත්ම වැදගත් වූ වැඩසටහන වන සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ “උරුමය” වැඩසටහන, අප අමාත්‍යංශය යටතේ සිදු කෙරෙනවා. මෙම වැඩසටහන තුළින් වසර දෙකක කාලයක් තුළ ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබා දීමට අපේක්ෂා කරනවා. මේ වන විට ඒ සඳහා ලක්ෂයකට වැඩි අයදුම්පත් ප්‍රමාණයක් ලැබී තිබෙනවා.

    උරුමය වැඩසටහන අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක වන අඛණ්ඩ වැඩපිළිවෙලක් බවද පැවසිය යුතුයි. මේ වන විට ක්‍රියාත්මක වන්නේ එහි පළමු අදියරයි. මෙය කිසි සේත්ම දේශපාලන වැඩසටහනක් නොවෙයි. මැතිවරණ පවත්වන කාලවලදී වුවත් මෙම ඉඩම් ඔප්පු ලබා දීම සිදු කෙරෙනවා. නමුත් ඊට කිසිදු දේශපාලන මැදිහත් වීමක් සිදු වන්නේ නැහැ. ප්‍රාදේශීය ලේකම් හරහා සිදු කෙරෙන වෙනත් සේවාවන් පරිදිම ඔප්පු ලබා දීමද සිදු වෙනවා. එබැවින් මැතිවරණයකට දින නියම කිරීම මෙම වැඩසටහන නවත්වන්න හේතුවක් වෙන්නේ නැහැ. කිසිම මැතිවරණ නීති උල්ලංඝණයක් මෙම වැඩසටහනින් සිදු වන්නේ නැහැ. ඒ මෙම සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීම ප්‍රසිද්ධ වේදිකාවල හෝ දේශපාලනඥයින්ගේ සහභාගීත්වයෙන් මැතිවරණ කාල සීමාව තුළ සිදු නොවන නිසයි. ඉඩම් ඔප්පු ලබා දීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා අදාළ රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් දිරි දීමනා ලබා දීමද අනුමත කර තිබෙනවා.

    ඉඩම් කොමසාරිස් ජනරාල් බන්දුල ජයසිංහ මහතා,

    වසර දෙකක් ඇතුළත මෙරට ක්‍රියාත්මක විප්ලවකාරී වැඩසටහන ‘උරුමය’ වැඩසටහනයි. මෙම උරුමය වැඩසටහන මඟින් සින්නක්කර ඔප්පු ලබා දීමක් සිදුවන නිසා මෙරට ජනතාවට ඔවුන්ගේ ඉඩම් නිරවුල්ව භුකිත් විඳීමට අවස්ථාව හිමි වෙනවා. මෙය අලුතින් ලබා දෙන ඔප්පුවක් නොවෙයි. මෙහිදී සිදු වන්නේ මෙතෙක් කල් ඉඩම් සඳහා ලබා දී තිබූ ජයභූමි , ස්වර්ණභූමි බලපත්‍ර වෙනුවට සින්නක්කර ඔප්පු ජනතාවට ලබා දීමයි.

    මේ සඳහා මේ වන විට අයදුම්පත් එක් ලක්ෂ දෙදහසක් පමණ ලැබී තිබෙනවා. ඒ අතරින් අද වන විට සින්නක්කර ඉඩම් ඔප්පු 20,000 ක් පමණ ලබා දී ඇති අතර මෙම වර්ෂය අවසාන වන විට, සින්නක්කර ඉඩම් ඔප්පු 50,000 ක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා.

    මීට අමතරව, ඉඩම් විශේෂ විධිවිධාන පනත සංශෝධනය කිරීම, ආයෝජකයන් දිරිගැන්වීම සඳහා රජයේ ඉඩම් දීර්ඝකාලීන බදු දීමේ දී ක්‍රියාත්මක ක්‍රමවේදය සංශෝධනය කිරීමද සිදු කරමින් පවතිනවා.

    සර්වේයර් ජනරාල් ඩබ්. සුදත් එල්. සී. පෙරේරා මහතා,

    මිනින්දෝරු දෙපාර්තමේන්තුව මගින් අධිවේගී මාර්ගයට අදාළ මැනුම් කටයුතු, උරුමය වැඩසටහනට අදාළ රේඛාචිත්‍ර පිළියෙල කිරීම, බිම් සවිය වැඩසටහනට අදාළ කැඩැස්තර සිතියම් පිළියෙල කිරීම, පුනර්ජනනීය බලශක්ති සහ අනෙකුත් විදුලිබල ව්‍යාපෘති සඳහා මැනුම් කටයුතු ආදී වැඩකටයුතු රැසක් මේ වසර දෙක තුළ සිදු කර තිබෙනවා. ඒවගේම ඉදිරියේ දී, මහජනතාවට සහ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන වෙත වෙබ් සේවාවක් හරහා ඉඩම් – සිතියම් තොරතුරු ලබා දීම (LAS / LISS ව්‍යාපෘතිය ) සඳහාද සැලසුම් කර තිබෙනවා.

    මේ අතර රජයේ මිනින්දෝරු සංගමය විසින් මාර්තු මාසයේ අග භාගයේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙනවා. ඔවුන් ගේ ඉල්ලීම් ඉටු කිරීම සඳහා දෙපාර්තමේන්තු හා අමාත්‍යංශ මට්ටමින් ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. නමුත් සියලු ඉල්ලීම් එකවර ඉටු කළ නොහැකි බව ඕනෑම අයකුට තේරුම් ගැනීම අපහසු නැහැ. ඔවුන් මාස ගණනක් වැටුප් ලබා ගනිමින් සේවයෙන් බැහැරව සිටිනවා. ඊයේ (24) දිනයේදීත් අප අමාත්‍යාංශ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී වෘත්තීය ක්‍රියාමාර්ගය නවතා සේවයට වාර්තා කරන ලෙස නැවතත් ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. ඒ වගේම මේ අවස්ථාවේදීත් මම ඉල්ලා සිටින්නේද වර්ජනය නවතා සේවයට වාර්තා කර රාජකාරි කටයුතුවලට සහාය වන ලෙසයි.

    ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් චන්දිමා සිගේරා මහත්මිය,

    මහජනතාව උදෙසා නිරවුල් බිමක අයිතිය තහවුරු කිරීම ඉඩම් හිමිකම් නිරවුල් කිරී‍මේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යභාරය වනවා. ඒ අනුව ඉඩම් හිමිකම් විමර්ශනය කර ඉඩම් සඳහා නිරවුල් හිමිකම තහවුරු කර ඒ සඳහා විධිමත් හිමිකම් සහතිකයක් ලබා දීමේ ” බිම් සවිය වැඩසටහන ” අප විසින් ක්‍රියාවට නංවනු ලබනවා.

    එසේම ඉඩම් නිරවුල් කිරීමේ ආඥාපනත යටතේ මේ වන විට, දිවයිනේ උතුරු හා නැගෙනහිර යන පළාත්වල 70% ක් ද, අනෙකුත් පළාත්වල 99% ක් ද, ඉඩම් හිමිකම් නිරවුල් කිරීම අප විසින් සිදු කළා. තවද බිම් සවිය වැඩසටහන මඟින් පුද්ගලික ඉඩම් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා කැඩැස්තර සිතියම් පිළියෙල කර 1 හා 2 පන්තියේ හිමිකම් සහතික මේ වන විට 1,000,000 ක් පමණ නිකුත් කර තිබෙනවා.

    ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා,

    පසුගිය දෙවසරක කාලය තුළ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් සියලු ඉඩම් හඳුනා ගැනීම සහ ඩිජිටල් දත්ත පද්ධතියකට ඇතුලත් කිරීම සිදු කරනු ලැබුවා. එසේම යාවත්කාලීන ඉඩම් ලේඛනයක් මත පවතින ඉඩම් ඔප්පු සැකසීමේ හා කළමනාකරණ කිරීමේ පද්ධතියක් ස්ථාපිත කිරීමට මුලික ක්‍රමවේදයක් සැකසීමද සිදු කර තිබෙනවා.
    මීට අමතරව පවතින නඩු සමථ කරගැනීම සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් සකස් කර නඩු සමථ කරගැනීමට කටයුතු කිරීමත් අනවසර සන්තකය දරන්නන් සඳහා කඩිනමින් නඩු පැවරීම සහ නෛතික ක්‍රියාමාර්ග ගැනීමටත් අප කටයුතු කළා.

    මේ අතර ඉඩමක වර්තමාන වටිනාකම තක්සේරු වන පරිදි චක්‍රලේඛය සංශෝධනය කිරීමත්, බදු ආදායම එකතු කිරීම කාර්යක්ෂම කිරීමත් දෙවසරක කාලය තුළ සිදු කළ වඩාත් ඵලදායි සේවාවන් ලෙස දැක්විය හැකියි.

    ඉඩම් පරිහරණ හා ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දේවිකා ගුණවර්ධන මහත්මිය
    ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යභාරය වන්නේ ශ්‍රී ලකාවේ ජාතික ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් ජාතික ඉඩම් පරිහරණ සැලසුම් සකස් කර ක්‍රියාත්මක කිරීමයි.

    ඒ අනුව පසුගිය දෙවසර තුළ ජාතික ඉඩම් පරිහරණ සමීක්ෂණය සිදු කිරීම සහ දත්ත සම්පාදනයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඉඩම් පරිහරණ සැලසුම් සකස් කිරීමත් අවසන් කර තිබෙනවා. එසේම ග්‍රාමීය හා ක්ෂුද්‍ර ජලපෝෂක මට්ටමින් ඉඩම් පරිහරණ සැලසුම් සකස් කිරීමද පස හා ජල සංරක්ෂණය තුළින් ඌණ පරිහරණ කෘෂිකාර්මික බිම්වල ඵලදායීතාවය ඉහළ නැංවීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ද අපගේ දෙපාර්තමේන්තුව විසින් සිදු කර තිබෙනවා. ඉඩම් යෝග්‍යතාවයට අදාල වාර්තා ලබා දීම කඩිනම් කිරීමට අමතරව විද්‍යාත්මක ඉඩම් පරිහරණ සැලසුම්කරණය පිළිබඳ ප්‍රජා, පාසැල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමටත් අප කටයුතු කරනු ලැබුවා.

  • ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය  අංශය නැවත පණ ගැන්වීමට මූල්‍ය පහසුකම් පැකේජයක්

    ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීමට මූල්‍ය පහසුකම් පැකේජයක්

    • ආයෝජන ණය රුපියල් මිලියන 15ක උපරිමයකට යටත්ව 7%ක සහන පොලි අනුපාතයකට.
    • කාරක ප්‍රාග්ධනය රුපියල් මිලියන 05ක උපරිමයකට යටත්ව 8%ක සහන පොලි අනුපාතයකට.
    • ණය ලබාදීම සඳහා රුපියල් බිලියන 18ක් .
    • බැංකු සහ මූල්‍ය ආයතන 15ක් මේ වෙනුවෙන් රජය සමඟ අත්වැල් බැඳ ගනී.

    රට දියුණු කිරීමට නම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කළ යුතුයි

    • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් ජාතික සංවර්ධන බැංකුවක්  – ජනපති අවධාරණය කරයි .

    ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැවත සවිබලගැන්වීමේ අරමුණින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා ආයෝජන සහ කාරක ප‍්‍රාග්ධන යන පහසුකම් දෙවර්ගයෙන්ම සමන්විත මූල්‍ය පහසුකම් පැකේජයක් හඳුන්වා දීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    සහනදායී පොලී අනුපාතයක් යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු ඇතුළුව සහභාගීත්ව මූල්‍ය ආයතන 15ක් හරහා අර්බුදය හමුවේ ද පැවති හා ඉදිරියට යන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට සහාය ලබාදීම හා අක‍්‍රිය ණය කාණ්ඩය යටතේ ඇති ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා සහායවීම යන ප්‍රධාන කොටස් දෙකක් යටතේ මෙම ණය ලබා දීම සිදු කෙරේ.

    ඒ වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය විසින් මූල්‍ය සහාය අවශ්‍ය සහ ඔවුන්ගේ ව්‍යාපාර තවදුරටත් උසස් කිරීමට ධාරිතාවය ඇති සුදුසුකම් ලත් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙත නිර්දේශ ලිපි නිකුත් කරනු ඇත.

    ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ශක්තිමත් කිරීමේ ආයෝජන ණය යටතේ  වසර 10ක කාලසීමාවකට අදාළව 7%ක සහන පොලී අනුපාතයකට, රුපියල් මිලියන 15ක උපරිම සීමාවකට යටත්ව ණය මුදල් සැපයෙන අතර ඒ සඳහා රුපියල් බිලියන 13ක් වෙන් කර තිබේ.

    අක‍්‍රිය ණය කාණ්ඩය යටතේ ඇති ක්ෂුද්‍ර ,සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා කාරක ප්‍රාග්ධන ලෙස  වසර 5ක කාල සීමාවකට යටත්ව  8%ක පොලි අනුපාතයක් යටතේ රුපියල් මිලියන 5ක ණය මුදල් සැපයෙන අතර ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 05කි.

    ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සෙලාන් බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, ඩී.එෆ්.සී.සී  බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, සීමාසහිත සණස සංවර්ධන බැංකුව, යුනියන් බැංකුව, පෑන් ඒෂියා බැංකුව, කාගීල්ස් බැංකුව සහභාගිත්ව මූල්‍ය ආයතන වෙයි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ  ඕනෑම රටක් දියුණුව කරා ගෙන යාමට නම් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන් ශක්තිමත් කළ යුතු බවයි.

    පසුගිය ආර්ථික බිඳ වැටීම හමුවේ වැඩිම පීඩාවකට ලක් වූයේ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔවුන් නැවත නඟා සිටුවීමට රජය ප්‍රමුඛ අවධානයක් යොමු කර කටයුතු කරන බවද සඳහන් කළේය.  ඔවුන්ට අවශ්‍ය ප්‍රාග්ධනය සැපයීම වෙනුවෙන් ජාතික සංවර්ධන බැංකුව  ස්ථාපිත කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    වැඩි වශයෙන් රටට විදේශ ආයෝජන ලබා ගනිමින් මහා පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමට කටයුතු කරන බව ද සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  රටේ සාමාන්‍ය ජනතාව නඟා සිටුවීම වෙනුවෙන් රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ ද පැහැදිළි කළේය.

    මෙම නව ණය යෝජනා ක්‍රමය ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සහ දේශගුණික විපර්යාස ඇතුළු ව්‍යාපාර මෙහෙයුම් පරිසරයේ සිදුවන වෙනස්වීම් හේතුවෙන් හටගන්නා අවදානම් තත්ත්වයන්හි කටයුතු කිරීම සඳහා ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගේ අනුවර්තන හැකියාව වැඩිදියුණු කිරීමට උපකාරී වනු ඇත.

    කෘෂිකර්ම, සංචාරක, නිෂ්පාදන, තාක්ෂණික සහ අපනයන ඉලක්ක කළ අංශ මෙන්ම කාරක ප්‍රාග්ධන මූල්‍ය අවශ්‍යතා සහිත කාන්තාවන් විසින් මෙහෙයවන  ඕනෑම ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (වෙළඳාම, බදු දීම සහ ව්‍යාපාර කුලියට දීම හැර) මෙම ණය යොජනා ක්‍රමයේදී සුවිශේෂි අවධානයක් යොමු වේ.

    විදේශ විනිමය සුරක්ෂිත කිරීම සහ ආර්ථිකය, ආනයන ආර්ථිකයක සිට අපනයන ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමේ රජයේ අරමුණ සාක්ෂාත් කර ගැනීමටද මෙය උපකාරී වේ.

    සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ්  පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, ෂෙහාන් සේමසිංහ, ප්‍රසන්න රණවීර, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරු සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • 2024 ජූනි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

    2024 ජූනි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

    නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පිළිබිඹු කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 ජුනි මාසයේ දී දර්ශකාංක 56.6ක් වාර්තා  කළ බවත්සේ වා නියුක්තිය හැර අනෙකුත් සියලුම උප දර්ශක ජුනි මාසය තුළ දී  කඩඉම් මට්ටමට වඩා  ඉහළ අගයක පැවතුණ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කළ නිවේදනයක මේ බව සදහන් විය.

    එම නිවේනයේ මෙසේ ද සදහන්ව විය.

    ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකවල ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් ආහාර සහ පාන වර්ග නිෂ්පාදන අංශයේ වර්ධනය දායක විය. තවද, නව ඇණවුම් සහ නිෂ්පාදන ඉහළ යෑමට සමගාමීව තොග මිලදී ගැනුම් ද ඉහළ ගියේය. කෙසේ වෙතත්, බොහොමයක් නිෂ්පාදන කර්මාන්ත තවමත් සේවක පුරප්පාඩු පිරවීමේ දී ඉතා  සැලකිලිමත්ව කටයුතු කරන බැවින්, සේවා  නියුක්තිය ජුනි මාසය තුළ දී පහළ මට්ටමක පැවතුණි. තවද, මූලික වශයෙන් ප්‍රධාන වරායන්හි පවතින තදබදය හේතුවෙන්, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය ජුනි මාසයේ දී තවදුරටත් ඉහළ ගියේය.

  • රාජ්‍ය මූල්‍ය කළමනාකරණය හා අනාගත ශ්‍රී ලංකාව මැයෙන් දීප ව්‍යාප්ත පුවත්පත් ලිපි තරගාවලියක්

    රාජ්‍ය මූල්‍ය කළමනාකරණය හා අනාගත ශ්‍රී ලංකාව මැයෙන් දීප ව්‍යාප්ත පුවත්පත් ලිපි තරගාවලියක්

    රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත් හා ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා දීපව්‍යාප්තව පුවත්පත් ලිපි තරගාවලියක් පැවැත්වීමට රජය සැලසුම් කර ඇත.

    “විධිමත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණක් සහ තිරසාර ආර්ථික පරිවර්තනයක් තුළින් 2048 වන විට සංවර්ධිත මගේ රට” මැයෙන් පවත්වනු ලබන මෙම දීපව්‍යාප්ත පුවත්පත් ලිපි තරගාවලියේ ජයග්‍රාහකයින්ට හා ජයග්‍රාහී පාසල් සඳහා වටිනා ත්‍යාග හා සහතික පත් ලබාදීමට ද නිමිතය.

    රජයේ සියලු පාසල් හා පිරිවෙන් විද්‍යායතන, අධ්‍යාපන අමාත්‍යංශය යටතේ අනුමත පෞද්ගලික පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම භික්ෂුන් වහන්සේලා , මෙහෙණින් වහන්සේලාටද මෙම තරගය සඳහා සහභාගි විය හැකි අතර, සිංහල ,දෙමළ හා ඉංග්‍රීසි යන මාධ්‍ය තුනෙන්ම අයදුම්කරුවන්ට සිය නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.

    ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව සංවිධනය කරන මෙම තරගාවලියේ අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය ජුලි 31 වැනිදා වන අතර, තරග කොන්දේසි සහ ඉල්ලුම් පත්‍රය, නිර්මාණ ඉදිරිපත් කළ යුතු ආකාරය පිළිබඳ වැඩි විස්තර අදාළ පනත් කෙටුම්පත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ https://www.dgi.gov.lk/contact-us/public-finance-management-bill වෙබ් අඩවිය ඔස්සේ බාගත කළ හැකිය.

  • 2024 වසරේ පළමු මාස හය තුළ කෘෂි අපනයන ක්ෂේත්‍රයේ පැහැදිලි වර්ධනයක්

    2024 වසරේ පළමු මාස හය තුළ කෘෂි අපනයන ක්ෂේත්‍රයේ පැහැදිලි වර්ධනයක්

    • ඛනිජ තෙල් වෙනුවෙන් ඉරානයට තේ අපනයනයෙන් පියවීමට අපේක්ෂිත ඇමෙරිකානු ඩොලර් මිලියන 250.9 න් මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක් ගෙවා අවසන් – ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති.
    • උතුරු ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ ‍ අරමුණින් උතුරු පළාත තුළත් පොල් ත්‍රිකෝණයක් ස්ථාපිත කළා – පොල් සංවර්ධන අධිකාරියේ සභාපති.
    • රබර් වගාව ව්‍යාප්ත කිරීමේ විශේෂ වැඩසටහනක් මොණරාගල, අම්පාර හා බදුල්ලෙන් ආරම්භ කළා – රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්.
    • ජාත්‍යන්තර වෙළදපොළ තුළ ශ්‍රී ලාංකේය සත්‍ය කුරුඳු සන්නාමය ප්‍රචලිත කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මකයි – කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්.
    • වැඩි විදේශ විනිමයක් ඉලක්ක කර කෘෂි අපනයන නිෂ්පාදන හා අපනයන ධාරිතාවය ඉහළ නංවා ගැනීම සඳහා රටපුරා සංවර්ධන වැඩසටහන් දියත් කර තිබෙනවා – අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සංවර්ධන).

    ගතවූ වසර දෙකට සාපේක්ෂව 2024 වසරේ පළමු මාස හය තුළ කෘෂි අපනයන ක්ෂේත්‍රයේ පැහැදිලි වර්ධනයක් සිදු වූ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී. එල්. ඒ. ජේ ධර්මකීර්ති මහතා පැවසීය.

    2022 වසරට සාපේක්ෂව 2023 වසරේ වාර්තා වූ කෘෂි අපනයන ආදායමේ අවාසි සහගත තත්ත්වය පාලනය කිරීමට ගත් කඩිනම් ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම ප්‍රගතිය ලබා ගත හැකි වූ බවද ඒ මහතා සඳහන් කළේය.

    කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී. එල්. ඒ. ජේ ධර්මකීර්ති මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් අද (15 ) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    පසුගිය කාල‍පරිච්ඡේදය තුළ පැවති කෘෂි කර්මාන්තයට අහිතකර දේශගුණික තත්ත්වයන් හමුවේ මෙවන් ප්‍රගතියක් ලබා ගැනීම ජයග්‍රහණයක් බවත් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී. එල්. ඒ. ජේ ධර්මකීර්ති මහතා මෙසේද පැවසීය.

    2022 වසරට සාපේක්ෂව 2023 වසරේ කෘෂි අපනයන ආදායමේ අඩු වීමක් දක්නට ලැබුණා. ඒ අනුව ගනු ලැබූ කඩිනම් ක්‍රියාමාර්ග හේතුවෙන් 2024 වසරේ පළමු මාස හය තුළ කෘෂි අපනයන ක්ෂේත්‍රයේ පැහැදිලි වර්ධනයක් ඇති කර ගැනීමට හැකිව තිබෙනවා. මේ කාලය තුළ පැවතුණේ කෘෂි කර්මාන්තයට හිතකර දේශගුණික තත්ත්වයන් නොවන බවද මේ අවස්ථාවේ සඳහන් කළ යුතුයි. එවන් අභියෝග හමුවේ මේ අත්කර ගත් ප්‍රගතිය සැබැවින්ම ජයග්‍රහණයක් බවත් පැවසිය යුතුයි.

    උදාහරණයක් වශයෙන් 2023 වසරේ අප්‍රේල් මාසය වන විට තේ වලින් ලැබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 407.6ක අපනයන ආදායම 2024 වසරේ අප්‍රේල් මාසය වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 450.5ක් දක්වා වැඩි වී තිබෙනවා.

    ඒ වගේම 2023 වසරේ අප්‍රේල් මාසය වන විට පොල් අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 212ක ආදායමක් ලැබුවා. එය 2024 වසරේ අප්‍රේල් මාසය වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 263 දක්වා වර්ධනය වී තිබෙනවා. 2023 වසරේ අප්‍රේල් මාසය වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 299ක් වූ රබර් අපනයන ආදායම 2024 වසරේ අප්‍රේල් මාසය වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 335 ක් දක්වා වැඩි වී තිබෙනවා. ඒ වගේම එම කාල සීමාව තුළ කුරුඳු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 53.3 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 56.1 දක්වාත්, ගම්මිරිස් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 13.3 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 14.0 දක්වාත් වැඩි වී තිබෙනවා.

    කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රය නිරන්තරයෙන් ඉහළ පහළ යන ක්ෂේත්‍රයක්. පසුගිය සමයේ තේ නිෂ්පාදනය අඩු වූ නිසා පොහොර අවශ්‍යතාව ඉහළ ගියා. ඒ අනුව පොහොර සැපයීමේ විශේෂ වැඩසටහනක් අප විසින් දියත් කරනු ලැබුවා.

    ඒ අනුව සෑම කිලෝ ග්‍රෑම් 50ක පොහොර බෑගයක් සඳහා රුපියල් 2000ක සහනාධාරයක් යටතේ පොහොර ලබා දීමට කටයුතු කළා. මේ වන විට තේ පොහොර මෙට්‍රික් ටොන් 10,000ක් වගාකරුවන් වෙත ලබාදී ඇති අතර ඉතිරි මෙට්‍රික් ටොන් 20,000ක ප්‍රමාණය ඉහත පාර්ශවකරුවන්ට අමතරව තේ කර්මාන්තශාලා හිමියන් සම්බන්ධ කරගනිමින් කඩිනමින් ලබාදීමට කටයුතු කරමින් සිටිනවා.

    ඒ වගේම සමස්ථ තේ නිෂ්පාදනය ඉහල නැංවීම සඳහා තේ වගාවේ පාළු සිටුවීම, නැවත වගාව සහ සෘජු වගාව හා සම්බන්ධ සහනාධාර ව්‍යාපෘතිය 2022 වසරේ සිට මේ දක්වා හෙක්ටයාර් 745ක ක්‍රියාත්මකයි. ඒ යටතේ රුපියල් මිලියන 140ක මුදලක් වගාකරුවන් 324 දෙනෙකු වෙත ලබාදී තිබෙනවා. 2024 වර්ෂය සඳහා රුපියල් මිලියන 60ක මුදලක් වෙන්කරමින් තේ පැල 800,000ක් සිටුවීම සදහා නව ව්‍යාපෘතියක් ද ආරම්භ කර තිබෙනවා.

    ඒ වගේම ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මඟින් සෘජු තේ වගා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර මේ සඳහා රුපියල් මිලියන 750ක් යොදාගැනීමට නියමිතයි.

    මේ වනවිට පොල්කටු හා පොල් ලෙලි ආශ්‍රිත නිෂ්පාදන ද පොල් මද ආශ්‍රිත නිෂ්පාදන තරමටම රටට විදේශ ආදායමක් ලබා දීමට හැකිවී තිබෙනවා. ඒ අනුව 2022 වර්ෂයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 817 ක වාර්තාගත ආදායමක් පොල් ආශ්‍රිත අපනයනයන්ගෙන් ලැබී තිබෙනවා. 2023 වර්ෂයේ සුදු මැස්සා රෝගය නිසා පොල් නිෂ්පාදනයේ පහළ වැටීමක් සිදු වුවත් සුදුසු නියාමන හා පාලන ක්‍රියාමාර්ග උපයෝගී කරගෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 700 ක ආදායමක් රටට ගෙන දීමට අප සමත් වී තිබෙනවා. 2024 අප්‍රේල් මස වන විට ඇමරිකානු ඩොලර් මිලියන 263.06 ක් ආදායමක් ලබා ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව 24 % ක වර්ධනයක් බව කිව යුතුයි.

    2022 හා 2023 වසර දෙකෙහි වගා කර ඇති, නව රබර් වගා භූමි ප්‍රමාණය හෙක්ටයාර 921 ක් වන අතර, නැවත රබර් වගා කළ භූමි ප්‍රමාණය හෙක්ටයාර 2743 ක් වනවා. 2024 වසරේ රබර් හෙක්ටයාර 1135 ක් වගා කිරීමට දෙපාර්තමේන්තුව මඟින් සැලසුම් කර තිබෙනවා. ඉන් හෙක්ටයාර 605ක් නව වගාව ලෙසත් හෙක්ටයාර 415ක් නැවත වගාව ලෙසත් සිදු වෙනවා. මේ සඳහා රුපියල් මිලියන 149 ක ප්‍රතිපාදන වගාව සඳහා අවශ්‍ය පැල ලබා දීමට වෙන්කොට තිබෙනවා. පෙර පැවති රබර් වගා සහනාධාර ක්‍රමය 2023 වසරේ සිට ක්‍රියාත්මක නොවන අතර, දෙපාර්තමේන්තුව විසින් වගාකරුවන්ට අවශ්‍ය පැල සහනාධාර ලෙස 2023 වසරේ සිට නොමිලේ ලබාදීම සිදුකරනු ලබනවා.

    ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් මහතා,

    ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලංකාව ඉරානයට ගෙවිය යුතු ඛනිජ තෙල් ණය තේ අපනයනය හරහා පියවීම පසුගිය අගෝස්තු 05 වෙනිදා ආරම්භ කළා.

    එම ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව විසින් ඉරානය වෙත ඛනිජ තෙල් වෙනුවෙන් ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 250.9ක මුදල තේ අපනයනය තුළින් පියවීමට අපේක්ෂිතයි. මේ වන විට එම ණය ප්‍රමාණයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක් ගෙවා නිම කර තිබෙනවා. 2024 වසරේ පළමු මාස 04 තුළ නිමි තේ කිලෝ ග්‍රෑම් මිලියන 4.1ක ප්‍රමාණයක් ඉරානය වෙත අපනයනය කරන ලද අතර එය පසුගිය 2023 වසරේ පළමු මාස 04 තුළ ඉරානය වෙත අපනයනය කරන ලද නිමි තේ ප්‍රමාණයට වඩා තුන්ගුණයක වැඩිවීමක් බව කිව යුතුයි.

    පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා මහතා,

    පොල් ආශ්‍රිත නිෂ්පාදනකරුවන්ගේ නිෂ්පාදන වල නිෂ්පාදන පිරිවැය අඩු කර ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාවය, ප්‍රමාණාත්මකතාවය වැඩි කර ගැනීම සඳහා අවශ්‍ය වැඩිදියුණු කිරීම්, යන්ත්‍රසූත්‍ර මිලදී ගැනීම, මහා පරීමාණ කර්මාන්තශාලාවල පිරිවැය අඩු කිරීම සඳහා පුනර්ජනනීය බලශක්ති භාවිතය සඳහා මුල්‍යය සහාය ලබා ගැනීම වැනි සංවර්ධන කටයුතු සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමඟ “ කප්රුක ජය ඉසුර” නමින් ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරනු ලබනවා. එමඟින් 6% සහන පොලියක් යටතේ එක් කර්මාන්තකරුවෙකු වෙත රු. ලක්ෂ 35 ක උපරිම ණය මුදලක් ලබාදෙන අතර එම ණය මුදල රුපියල් ලක්ෂ 100 ක උපරිමයක් දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරනවා. පසුගිය දෙවසර සලකා බැලීමේදී 2022 වර්ෂය තුළ රුපියල් මිලියන 53.4 ක පමණ මුදලක් සහ 2023 වර්ෂය තුළ රුපියල් මිලියන 35.7 ක පමණ මුදලක් මේ හරහා ලබා දී තිබෙනවා.

    ඒ වගේම 2024 වර්ෂය සඳහා.පොල් ආශ්‍රිත නිෂ්පාදනකරුවන් 752 ප්‍රමාණයක් නිෂ්පාදන 1012 ක් සඳහා ලියාපදිංචි කරගෙන ඇති අතර 636 ප්‍රමාණයක් පොල් ආශ්‍රිත අපනයනකරුවන් ලෙස ලියාපදිංචි කර තිබෙනවා.

    තවද පොල් හා තැඹිලි නිෂ්පාදනයට ඉහළ බලපෑමක් ඇති කළ සුදු මැස්සා වසංගතය මැඩපැවැත්වීම සඳහා දියත්කරන ලද සුදු මැස්සා මර්දන වැඩසටහන 2022 වර්ෂයේ ඔක්තෝබර් මස සිට ක්‍රියාත්මක වෙනවා. රෝග හා පළිබෝධ හානිය මගින් පොල් අස්වැන්නට සිදුවන බලපෑම අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන මඟින් මේ වනවිට ගස් 1,051,323 ප්‍රමාණයකට ප්‍රතිකාර කර ඇති අතර දැනුවත් කිරීම් වැඩසටහන් 3,046ක් පවත්වා තිබෙනවා. එසේම වගාකරුවන් අතර දියර ඉසින යන්ත්‍ර 700 ක ප්‍රමාණයක්ද බෙදා දී තිබෙනවා.

    මෙම ව්‍යාපෘතිය සඳහා දැනට රුපියල් මිලියන 85.50 ක් වැය කර තිබෙනවා.

    ඒ වගේම සාම්ප්‍රදායික ප්‍රදේශවලින් බැහැරව උතුරු පළාත තුළද පොල් ත්‍රිකෝණයක් ස්ථාපිත කිරීමට කටයුතු කළා.

    පාරිභෝජන සහ අපනයන පොල් අවශ්‍යතාවයන් සපයා ගැනීමත් උතුරු ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමත් එහි අරමුණු වුණා. මේ වන විට පොල් පැල 489,077ක් මෙම ව්‍යාපෘතියට යොදවා තිබෙනවා.

    ඊට අමතරව කිතුල් හා තල් නිෂ්පාදන දේශීය සහ විදේශීය වෙළඳපොල ඉලක්ක කරගෙන ප්‍රවර්ධනය කරමින් ඒ ආශ්‍රිත රැකියා අවස්ථා ගොඩනැගීම ද සිදු කෙරෙනවා.

    රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සී. සී මුහන්දිරම් මහතා,

    2024 වසර තුළ සාම්ප්‍රදායික ලෙස රබර් වගා කර නොතිබූ ප්‍රදේශවල රබර් වගාව ව්‍යාප්ත කිරීමේ විශේෂ වැඩසටහන ලෙස, මොනරාගල, අම්පාර හා බදුල්ල යන ප්‍රදේශවල හෙක්ටයාර 115ක රබර් නව වගාව ‍ ස්ථාපනය කිරීමට රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව සැලසුම්කර තිබෙනවා. ඒ සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 18 ක්. මෙම රබර් නව වගා මඟින් දේශීය රබර් නිෂ්පාදනය 86,825 Kg කින් වැඩි කිරීමට අපේක්ෂිතයි.

    ඒ වගේම එම ප්‍රදේශ සඳහා සුදුසු ක්ලෝන හඳුනාගැනීම සඳහා රබර් පර්යේෂණායතනය විසින් ව්‍යාපෘතියක් ද ආරම්භ කර තිබෙනවා. මේ සඳහා රුපියල් මිලියන 19.25ක් ඇස්තමේන්තුගත කර තිබෙන අතර මේ වන විට රුපියල් මිලියන 17.74ක මුදලක් වැය කර තිබෙනවා.

    මෙමඟින් පවතින ක්ලෝන 14ක් පරීක්ෂාකර අවසන් අතර, ඉදිරියේදී තවත් ක්ලෝන 22ක් පරීක්ෂා කිරීමට නියමිතයි. අවසානයේදී අන්තර්වාර නිර්දේශ යටතේ ක්ලෝන 10ක් පමණ නිර්දේශයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
    2025 ජනවාරි 01 දින සිට යුරෝපා සංගමයට අයත් රටවල් වෙත රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීමේදී, එම නිෂ්පාදන ‘වන විනාශයට’ දායක නොවු නිෂ්පාදන ලෙස තහවුරු කිරීම සිදුකළ යුතු අතර එසේ තහවුරු කළ නොහැකි නිෂ්පාදන අපනයනය සඳහා අනුමැතිය ලැබෙන්නේ නැහැ.ඒ අනුව අපනයනකරුවන්ට සහ නිෂ්පාදකයන්ට තම නිෂ්පාදන EUDR සඳහා අනුගත බවට, සහතික වීමේ වගකීම පැවරී තිබෙනවා. රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සිදුකරනු ලබනවා. ශ්‍රී ලංකාවේ රබර් අපනයන ආදායමෙන් 1/3 කට වඩා වැඩි දායකත්වයක් දරනු ලබන්නේ යුරෝපානු වෙළඳපොළ වන බැවින්, එම රෙගුලාසිය සඳහා අනුගත වීම ඉතා වැදගත් වෙනවා.

    කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්. එම්. ජේ. කේ ලින්දර මහතා,

    කුරුඳු වගාව සංවර්ධනය කිරීම සඳහා පසුගියදා කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව ස්ථාපිත කළා. එය සිදු කළේ 2023 වසරේ අයවැයි යෝජනාවක් ලෙසයි.

    ඒ යටතේ ජාත්‍යන්තර වෙළදපොළ තුළ ශ්‍රී ලාංකේය සත්‍ය කුරුඳු සන්නාමය ප්‍රචලිත කිරීම හා ප්‍රවර්ධනය මූලික අරමුණ කොටගෙන ගාල්ල පින්නදූව අධිවේගී පිවිසුමට ආසන්නයේ මූලස්ථානය පිහිටුවා කටයුතු ආරම්භ කර තිබෙනවා. කුරුඳු අපනයනකරුවන් , කුරුඳු වගා කරුවන්, කුරුඳු කර්මාන්තය ආශ්‍රිත පාර්ශවකරුවන් මෙම ව්‍යාපෘතියේ ඉලක්කගත ප්‍රතිලාභීන් වනවා.

    මෙම Cinnamon Gate ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා ඇස්තමේන්තුගත මුදල රු.224,909,704.31 වන අතර 2024.05.31 දින වන විට ඉන් රු. 21,857,211.80 ක මුදලක් වියදම්කර තිබෙනවා.

    කුරුඳු නිෂ්පාදනයේ ඵලදායිතාවය වැඩිදියුණු කිරීම සඳහා නවීන තාක්ෂණ වගා ක්‍රම භාවිතා කරමින් අක්කරයකට ලැබෙන කුරුඳු අස්වැන්න වැඩිදියුණු කිරීම, කුරුඳු කර්මාන්තයේ පසු අස්වනු තාක්ෂණය වැඩිදියුණු කිරීම, අගය වැඩිකල නිෂ්පාදන සහිත කර්මාන්ත ඇති කිරීම යන ප්‍රධාන අරමුණු ඉලක්ක කරගෙන කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් 2024 වර්ෂයේ මැයි මස සිට ලංකා සත්‍ය කුරුඳු නඟා සිටුවීම සඳහා වන බහුදිශා ප්‍රවේශය නම් ව්‍යපෘතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

    මෙම ව්‍යාපෘතිය සදහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 35ක් වනවා. මෙමඟින් කුරුඳු වගාව බහුලව සිදු කරන ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල හා කළුතර යන දිස්ත්‍රික්කවල කුරුඳු වගාව සඳහා විභවයක් සහිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ඉලක්ක කරගනිමින් කුරුඳු කර්මාන්තය ආශ්‍රිත සෘජු ප්‍රතිලාභීන් 1050ක් පමණ සහ වක්‍ර ප්‍රතිලාභීන් 101,000 කට පමණ ප්‍රතිලාභ ලබා දීමට අපේක්ෂා කරනවා.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 වසරේ ඔක්තෝබර් මාසයේ සිදුකල චීන සංචාරයේදී ශ්‍රී ලංකාවේ සත්‍ය කුරුඳු චීනයට අපනයනය කර දේශීය කුරුඳු කර්මාන්තය උදෙසා නව වෙළදපොළක් විවෘත කර දීම හා එමඟින් කුරුඳු සඳහා ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය ඉහළ නැංවීම අරමුණු කරගෙන අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා. ඒ අනුව චීනයට සත්‍ය කුරුඳු අපනයනය සඳහා නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත අතර එහිදී තෝරාගනු ලබන කුරුඳු අපනයනකරුවන් සහ කුරුඳු ගොවීන් මෙම ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ ලබන පාර්ශවකරුවන් ලෙස හඳුනාගෙන තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා දැනට ඇස්තමේන්තුගත මුදල රුපියල් 1,000,000.00 ක් පමණ වනවා.

    අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සංවර්ධන) ආර්. කේ. ඩබ්ලිව් රන්කෙත්කුඹුර මහතා,

    අපනයන කෘෂි බෝග නිෂ්පාදනවල ගුණාත්මකභාවය ආරක්ෂා කර ගනිමින් නිෂ්පාදන හා අපනයන ධාරිතාවය ඉහළ නංවා වැඩි විදේශ විනිමයක් ලබා ගැනීමේ අරමුණ ඇතිව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණ, ඌව, වයඔ, උතුරු මැද හා නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කය තුළ විවිධ සංවර්ධන වැඩසටහන් විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරනු ලබනවා.

    මේ යටතේ අපනයන කෘෂි බෝගවන කුරුඳු, ගම්මිරිස්, කෝපි, කොකෝවා, සාදික්කා, කරාඹු, කරඳමුංගු , වැනිලා, කහ, ඉඟුරු, පුවක්, බුලත්, ගොරකා, පැඟිරි හා සේර යන බෝග වර්ග 15 ක වගා සංවර්ධනය සිදු කරන ලද අතර, මේ වන විට කුරුඳු බෝගය හැර ඉතිරි බෝග 14 කට අදාළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා.

    නව වගා වැඩසටහන, කුඩා පරිමාණ ගෙවතු වගා වැඩසටහන, ඵලදායීතා ප්‍රවර්ධන වැඩසටහන, පුවක් වගා වැඩසටහන, බෝග අගය දාම සංවර්ධන වැඩසටහන, කහ සහ ඉඟුරු වගා වැඩසටහන මෙන්ම මාර්ගගත පුහුණු වැඩසටහන් මඟින් අපනයන කෘෂි බෝග වගාවට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීමට ද අප කටයුතු කරනවා. 2024 වසරේ මේ දක්වා ගොවි පුහුණු වැඩසටහන් 1500කට ආසන්න සංඛ්‍යාවක් අප විසින් පවත්වා තිබෙනවා.

  • 2024 ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව 116,000ක්

    2024 ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව 116,000ක්

    • අ.පො.ස (උ/පෙළ) සිසුන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමට රුපියල් මිලියන 824ක්.
    • 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් ලක්ෂයකට ශිෂ්‍යත්ව පිරිනැමීමට රුපියල් මිලියන 3600ක්.
    • ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ සීල මාතාවන් වෙනුවෙන් පිරිනමනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහනට රුපියල් මිලියන 288ක්.
    • අ.පො.ස (උ/පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් රුපියල් මිලියන 720ක්.
    • ශිෂ්‍යත්ව සඳහා තවදුරටත් ඉල්ලුම් කර නොමැති පාසල් කඩිනමින් ඉල්ලුම් කරන්න – ජනාධිපති අරමුදල.

    දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ” ජනාධිපති ශිෂ්‍යත්ව 2024 ” වැඩසටහන යටතේ 2024 වර්ෂය සඳහා ශිෂ්‍යත්ව 116,000ක් පිරිනැමීමට නියමිතව ඇත.

    අ.පො.ස උසස් පෙළ හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6000 වෙනුවෙන් මාසයකට රුපියල් 6000/- බැගින් මාස 24 ක කාලයක් සඳහා ලබා දෙනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා රුපියල් මිලියන 824ක් වෙන් කර තිබෙන අතර 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 100,000ක් වෙනුවෙන් මසකට රුපියල් 3000/- බැගින් මාස 12ක කාලයක් සඳහා ලබා දෙනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 3600කි.

    පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන වල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා, සීල මාතාවන් හා ගිහි ශිෂ්‍යයන් වෙනුවෙන් පිරිනමනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 288ක් ද, අ.පො.ස (උ/පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයයක් ලෙස හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ජනාධිපති අරමුදල ඒකාබද්ධව පිරිනමනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා රුපියල් මිලියන 720ක් ද වෙන් කර තිබේ.

    ඒ අනුව දැනට ක්‍රියාත්මක වන ශිෂ්‍යත්ව වැඩසටහන් වලට අමතරව මෙම ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා රුපියල් මිලියන 5000 කට අධික මුදලක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ලබා දීමට නියමිතව ඇත.

    ඒ අනුව මෙම අවස්ථාවේදී අ.පො.ස උසස් පෙළ සිසුන් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා ළමුන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන් දෙක යටතේ, කොළඹ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 04ක අ.පො.ස උසස් පෙළ සිසුන් 242ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 4866ක් වෙනුවෙන් ද, ගම්පහ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 04ක අ.පො.ස උසස් පෙළ සිසුන් 240ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 6234ක් වෙනුවෙන් ද, කලුතර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 03ක අ.පො.ස උසස් පෙළ සිසුන් 180ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 4390ක් වෙනුවෙන් ද,

    යාපනය දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 05ක අ.පො.ස උසස් පෙළ සිසුන් 300ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 3544ක් වෙනුවෙන් ද, මන්නාරම දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 02ක අ.පො.ස උසස් පෙළ සිසුන් 120ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 1030ක් වෙනුවෙන් ද, වවුනියා දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 02ක අ.පො.ස උසස් පෙළ සිසුන් 120ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 1298ක් වෙනුවෙන් ද, මුලතිව් දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 02ක අ.පො.ස උසස් පෙළ සිසුන් 120ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 1028ක් වෙනුවෙන් ද, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 02ක අ.පො.ස උසස් පෙළ සිසුන් 120ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 956ක් වෙනුවෙන් ද,

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 06ක අ.පො.ස උසස් පෙළ සිසුන් 364ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 8392ක් වෙනුවෙන් ද, පුත්තලම දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 02ක අ.පො.ස උසස් පෙළ සිසුන් 120ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 4046ක් වෙනුවෙන් ද,

    මඩකලපුව දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 05ක අ.පො.ස උසස් පෙළ සිසුන් 300ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 3436ක් වෙනුවෙන් ද, අම්පාර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 07ක අ.පො.ස උසස් පෙළ සිසුන් 420ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 4340ක් වෙනුවෙන් ද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 05ක අ.පො.ස උසස් පෙළ සිසුන් 300ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 2972ක් වෙනුවෙන් ද,

    බදුල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 06ක අ.පො.ස උසස් පෙළ සිසුන් 360ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 5410ක් වෙනුවෙන් ද, මොණරාගල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 04ක අ.පො.ස උසස් පෙළ සිසුන් 240ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 2994ක් වෙනුවෙන් ද,

    රත්නපුර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 04ක අ.පො.ස උසස් පෙළ සිසුන් 240ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 5642ක් වෙනුවෙන් ද,කෑගල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 03ක අ.පො.ස උසස් පෙළ සිසුන් 180ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 4524ක් වෙනුවෙන් ද,

    මහනුවර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 06ක අ.පො.ස උසස් පෙළ සිසුන් 360ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 6472ක් වෙනුවෙන් ද, මාතලේ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 04ක අ.පො.ස උසස් පෙළ සිසුන් 240ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 2894ක් වෙනුවෙන් ද,නුවරඑළිය දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 05ක අ.පො.ස උසස් පෙළ සිසුන් 300ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 4940ක් වෙනුවෙන් ද,

    ගාල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 04ක අ.පො.ස උසස් පෙළ සිසුන් 240ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 4410ක් වෙනුවෙන් ද, මාතර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 04ක අ.පො.ස උසස් පෙළ සිසුන් 240ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 3644ක් වෙනුවෙන් ද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 03ක අ.පො.ස උසස් පෙළ සිසුන් 180ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 3330ක් වෙනුවෙන් ද,

    අනුරාධපු දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 05ක අ.පො.ස උසස් පෙළ සිසුන් 300ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 5360ක් වෙනුවෙන් ද, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 03ක අ.පො.ස උසස් පෙළ සිසුන් 177ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 2456ක් වෙනුවෙන් ද මෙම ශිෂ්‍යත්ව පිරිනැමේ.

    පාසල් මට්ටමින් මෙම ශිෂ්‍යත්ව ලබා දීම සඳහා තෝරා ගෙන ඇති සියලු සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට ජනාධිපති අරමුදල විසින් කටයුතු සිදු කරනු ඇත. සෑම පාසලකටම එම පාසලේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කරගෙන යම් ශිෂ්‍යත්ව ප්‍රමාණයක් හිමි වන අතර එම ශිෂ්‍ය සංඛ්‍යාවන් පිළිබඳව කලාප අධ්‍යාපන කාර්යාලයෙන් විස්තර ලබා ගත හැකි අතර මෙතෙක් ශිෂ්‍යත්ව සඳහා ඉල්ලීම් කර නොමැති පාසල් ලැයිස්තුවද කලාප අධ්‍යාපන කාර්යාල වෙත ලබා දි ඇත. එබැවින් යම් පාසලක් මෙතෙක් ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කර නොමැති නම් කඩිනමින් ඒ සඳහා අවශ්‍ය ඉල්ලීම් සිදු කරන ලෙස ජනාධිපති අරමුදල ඉල්ලා සිටියි.

    ඒ අනුව දැනට ක්‍රියාත්මක වන ඉහත ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකට අමතරව පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන වල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ශිෂ්‍යත්ව 5000ක් පිරිනැමීමේ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය ඉදිරි දින වලදී ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වීමට නියමිතව ඇත.

  • රජයේ  ඉඩම්වල පදිංචි රණවිරුවන්ට ‘සුභ ආරංචියක්‘

    රජයේ ඉඩම්වල පදිංචි රණවිරුවන්ට ‘සුභ ආරංචියක්‘

    මෙරට ස්වෛරීභාවය රැක ගැනීම වෙනුවෙන් සිය ජීවිත කැප කළ, සක්‍රීය ක්‍රියාන්විතයේ රාජකාරි කළ ත්‍රිවිධ හමුදාවේ, ශ්‍රී ලංකා පොලීසියේ හා සිවිල් ආරක්ෂක බලකායේ දිවි පිදු හා ආබාධිත වූ රණවිරුවන් හා ඔවුන්ගේ යැපෙන්නන් වෙනුවෙන් පදිංචිය සඳහා ලබා දී ඇති රජයේ ඉඩම් සඳහා කොන්දේසි විරහිතව හා ගාස්තු අය කිරීමකින් තොරව සින්නක්කර අයිතිය ලබාදීමේ වැඩසටහනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කර තිබේ.

    මෙරට සෑම බිම් අඟලකටම සියලුදෙනාට බියකින්, සැකයකින් තොරව යාමට ඉඩ ප්‍රස්ථාව උදා කර දීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ විරෝධාර රණවිරුවන්ට මව්බිමේ බිම් කැබැල්ලක අයිතිය තහවුරු කර දීම මෙම වැඩසටහනේ අරමුණයි. ජනාධිපති කාර්යාලයේ මෙහෙයවිමෙන් වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

    ජනාධිපතිවරයා විසින් අංක PS/CM/APL/267/2024 හා 2024-05-13 දිනැතිව රණවිරුවන්ගේ පදිංචිය සඳහා ලබා දී ඇති රජයේ ඉඩම් සඳහා පූර්ණ සහන ලබා දීම සඳහා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට ලද අංක අමප/24/0898/601/058 හා 2024/05/23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව රණවිරුවන්ට පහත සඳහන් සහන හිමිව තිබේ.

    1. විධිමත් තෝරා ගැනීමේ ක්‍රමවේදයකින් සුදුසුකම් ලබා ඇතත් මෙතෙක් සංවර්ධනය කර ගැනීමට අපොහොසත් වු සියලු රණවිරු කාණ්ඩ සඳහා රුපියල් 100/ක නාම මාත්‍ර බදු මුදලක් යටතේ විශේෂ බද්දක් ලබා දීම,
    2. බදුගත් ඉඩම් සංවර්ධනය සඳහා මුල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා පහසු වන පරිදි විශේෂ බදුකරයේ කොන්දේසි ලිහිල් කිරිම
    3. සංවර්ධනය කරමින්/ සංවර්ධනය කර ඇති ඉඩම් සඳහා නොමිලේ නිදහස් දීමනා පත්‍ර ලබා දීම,
    4. මධ්‍යම පාන්තික ගැනුම් මිල කාණ්ඩය යටතේ සුදුසුකම් ලබා ඇති, නේවාසික පදනමින් සංවර්ධනය කර ඇති ඉඩම් සඳහා නිදහස් දීමනා පත්‍ර ලබාදීම,
    5. කොන්දේසි සහිත විශේෂ දීමනා පත්‍ර ප්‍රතිපාදන ප්‍රකාරව පෘෂ්ඨාංකනය කිරීම හා කොන්දේසි ඉවත් කිරීම විධිමත් ලෙස ලියාපදිංචි කිරීම,
    6. මැනුම් නියෝගවලට අදාළ පිඹුරුපත් හා රේඛා චිත්‍ර ලබා ගැනීම මිනින්දෝරු දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතු මැනුම් ගාස්තුවලින් නිදහස් කිරීම,

    සියලු රණවිරු කාණ්ඩ සඳහා නිරවුල් භූමියක හිමිකාරිත්වයක් ලබා දීමේ මෙම ජාතික වැඩසටහන මාස 04ක් තුළ අවසන් කිරීමට නියමිත අතර මේ පිළිබඳ රණවිරුවන් දැනුවත් කිරීම හා ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබා දී කොන්දේසි විරහිත සින්නක්කර ඔප්පු ලබාදීම සඳහා දිවයිනේ තෝරාගත් ස්ථාන 04කදී ජනාධිපති කාර්යාලයේ මෙහෙයවීමෙන් ජංගම වැඩසටහන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

    ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික් ජංගම වැඩසටහන 2024-07-10 වන දින හිඟුරක්ගොඩ ගුවන් හමුදා මූලස්ථානයේ දී සාර්ථකව පැවැත්වුණු අතර 2024-07-17 දින සාලියපුර ගජබා ‍රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ද, 2024-07-19 දින කුරුණෑගල විජයබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ද, 2024-07-23 දින කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ දී ද එම ජංගම වැඩසටහන් පැවැත්වේ.