පැතුම් නිස්සංකගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

පැතුම් නිස්සංකගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්
Spread the love

ගෙවීගිය වසර 20 ක කාලය ඇතුළත මංගල ටෙස්ට් තරගයේදී ශතකයක් ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වුණු පැතුම් නිස්සංකගේ ශතකයත් 6 වැනි කඩුල්ල වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ලල එක්ව ගොඩනංවන ලද ශක්තිමත් ලකුණු සම්බන්ධතාවයත් හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදී තරගයේ පූර්ණ පාලනය සියතට ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටියේය.

තරගය ජය ගැනීමට නම් සිව්වැනි ඉනිමේදී ලකුණු 375 ක අසීරු ඉලක්කයක් හඹා යමින් සිටින කොදෙව් කණ්ඩායම බදාදා (24 දා) පස්වරුවේ තරගය නතර කර දමනා විටත් ලකුණු 34 ක් ඇතුළත කඩුල්ලක් අහිමිකරගෙන සිටියේය.

ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා පිල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 476 ක් රැස් කරගත්තේ තරගයේ වාසිය මුළු මනින්ම අත්පත් කර ගනිමිනි. කෙසේ වෙතත් ජයග්‍රහණය සඳහා කොදෙව් කණ්ඩායමට තවත් කඩුලු 9 කදී ලකුණු 341 ක ඉලක්කයක් ලබාගත යුතුව තිබේ. බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරග ඉතිහාසයේ සිව්වැනි ඉනිමේදී ලකුණු 375 ට වඩා හඹා යමින් ජය ගෙන ඇත්තේ අවස්ථා 2 කදී පමණි. 2003 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ඇන්ටිගුවාහි හඹා ගිය ලකුණු 418 ඔවුන්ගේ ටෙස්ට් ඉතිහාසයේ හඹා ගොස් ජය ගෙන තිබෙන ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වේ.

2001 වසරේදී මංගල ටෙස්ට් තරගයට සහභාගිවෙමින් තිලාන් සමරවීර රැස් කරන ලද ශතකයෙන් පසු ගෙවී ගිය වසර 20 ක කාලය ඇතුළත මංගල ටෙස්ට් තරගයකදී ශතකයක් ලද පළමු පිතිකරුවා බවට පත්වීමට පැතුම් නිස්සංක සමත්විය. මෙරට ටෙස්ට් ඉතිහාසය සංසන්දනය කිරීමේදී ඔහුට පෙර බ්‍රෙන්ඩන් කුරුප්පු, රොමේෂ් කලුවිතාරණ සහ තිලාන් සමරවීර මංගල තරගයකදී ශතකයක් ලද පිතිකරුවන් බවටපත්ව සිටියද විදේශයකදී එවැනි හපන්කමක් කළ පළමු ශ්‍රී ලාංකිකයා වශයෙන් පැතුම් නිස්සංකගේ නම වාර්තා පොත් අතරට එක් වනු ඇත.

දකුණතින් පන්දුවට පහර දෙන තවමත් 22 වැනි වියේ පසුවන පැතුම් කලුතර විද්‍යාලයෙන් සහ කොළඹ ඉසිපතන විදුහල නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වී සිටියි. මෙම දස්කම ලෝකයට සංසන්දනය කිරීමේදී පැතුම්ට එහි හිමිවන්නේ 110 වැනි ස්ථානය වේ.

ඔහුට අනගි සහායක් ලබා දුන් නිරෝෂන් දික්වැල්ල හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 179 ක සම්බන්ධතාවයක් පවත්වමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමීමට දායකත්වයක් දැක්වූ අතර ඔහු ශතකය පෙනි පෙනී දැවී ගියේය. මීට පෙර අවස්ථා 4 කදී ලකුණු 80 කට වඩා වැඩියෙන් ලබා ගැනීමට සමත්ව සිටින වමත් පිතිකරුවාට ශතකයක් ලබා ගැනීමට හොඳින්ම අවකාශ තිබුණද කෙමාර් රෝච්ගේ පන්දුවක් කෙළිම කඩුල්ල සොයා යෑම නිසා පස්වැනි වතාවටත් ශතකය අහිමි වූවේය. හතරේ පහර 8 ක් ද සමඟ පන්දු 163 කින් සමන්විත වුණු දික්වැල්ලගේ ලකුණු 96 ක ඉනිම ඔහුගේ ටෙස්ට් තරග දිවියේ ඉනිමක රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය.

කඩුලු 4 ට ලකුණු 255 ක් ව තිබියදී සිව්වැනි දිනය ඇරඹූ ශ්‍රී ලංකා පිලේ කැපී පෙනෙනම පිතිකරුවා බවට පත් වුණු පැතුම් කෙමාර් රෝච්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ල වැදීම නිසා ලකුණු 103 කදී සිය ඉනිම අහවර කර ගත්තේය. පන්දු 252 කින් සමන්විත වුණු පැතුම් සිය ඉනිම සඳහා හතරේ පහර 6 ක් පමණක් එල්ල කර තිබුණි. ඔහුට පෙර දිනයේ දැවී ගිය පළමු පිතිකරුවා බවට පත් වුණු ධනංජය ද සිල්වා දැවී යෑමට ප්‍රථම සිය ටෙස්ට් තරග දිවියේ 8 වැනි අර්ධ ශතකය සම්පූර්ණ කර ගැනීමට සමත්විය.

කෙමාර් රෝච්ගේම ගොදුරක් ලෙසින් දික්වැල්ල දැවී යන විට මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 460 ක් ලෙසින් සටහන්ව තිබුණ. කෙසේ වෙතත් ඉනි පසු පැමිණි පිතිකරුවන් තිදෙනාම ලකුණු 16 ක් ඇතුළත දවා ගැනීමට කෙමාර් රෝච් ප්‍රමුඛ කොදෙව් පන්දු යවන්නෝ සමත්වූහ. එහිදී  කෙමාර් රෝච් සහ රකීම් කෝන්වෝල් කඩුලු 3 බැගින් බිඳ හෙළද්දී කයිල් මේයර්ස් කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත්වූහ.   

SL CRICKET