Blog

  • මට මහන්සියි…. විවේකයක් දෙන්න..  මැකෝ රජයෙන් විවේකයක් ඉල්ලයි

    මට මහන්සියි…. විවේකයක් දෙන්න.. මැකෝ රජයෙන් විවේකයක් ඉල්ලයි

    තමාට මාසයක පමණ කාලයකට හෝ විවේකයක් අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    මැතිවරණ මහලේකම් කාර්යාලයේ ඊයේ (22දා) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

  • ප්‍රසන්නගේ කුමුදුනී නිසා කැලණියේ පොහොට්ටුව පුපුරයි !

    ප්‍රසන්නගේ කුමුදුනී නිසා කැලණියේ පොහොට්ටුව පුපුරයි !

    කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිනිය ලෙස හිටපු සභාපතිනියක වන ශාන්ති කුමුදුනී පත් කිරීමට තීරණය කිරීම හේතුවෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අතර කැළඹීමක් ඇතිව ඇතැයි වාර්තා වේ.

    කුමුදුනී සභාපතිනිය කිරීමට සම්පූර්ණ සහය ලබාදී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර බවට චෝදනා එල්ලව තිබේ.

    මෙවර, කැලණිය ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ නම හෙළි කිරීමට අකමැතිවූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු කියා සිටියේ රණවීර මහතා සිය ව්‍යාපාරික කටයුතු කර ගැනීම සඳහා ඔහුට හිතවත් කුමුදුනී සභාපතිනය ලෙස පත්කර ගැනීමට උත්සාහ කරන බවයි.

    පසුගිය කාලයේදී, කැලණිය ප්‍රාදේශීය සභාවේ ගල් අල්ලන ලද මාර්ග ව්‍යාපෘතිවලට අදාළ ගල්, ගල්කුඩු මෙන්ම ශ්‍රමයද සපයනු ලැබුවේ රණවීර මහතාට අයත් ආයතනවලින් බවද කියා සිටි ඔහු මේ වන විට එම කටයුතු නවතා දමා ඇති බැවින් ඒවා නැවත පණ ගැන්වීමට ඔහුට හිතවත් මෙම මන්ත්‍රීනිය පත් කිරීමට කටයුතු කරන බව ඔහු කියා සිටියේය.

    කවුද කුමුදුනී

    මීට පෙරද කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිනිය ලෙස කටයුතු කර ඇති ශාන්ති කුමුදුනී එවරද එම ධූරයට පත්ව ඇත්තේ ආන්දෝලනාත්මක චරිතයක් වෙමින් බව පැවසේ.

    ඒ එවකට කැලණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක හා කැලණිය පාර්ලිමෙන්තු මන්ත්‍රී ජිනදාස නන්දසේන මහතාගේ කිට්ටු හිතවත් කමක් නිසා වීම බව වාර්තා වේ.

    එම අවස්ථාවේ වැඩිම මනාප ගෙන සිටි රෙහෙනසිරි වරාගොඩ මහතාට කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිකම ලබා නොදී ජිනදාස නන්දසේන මහතාගේ මැදිහත්වීම මත මැයට ලබාදී තිබේ.

    කෙසේවුවද, ශ්‍රීලනිප පාක්ෂිකයන් පවසන්නේ ඇගේ අසාර්ථක පාලනය හේතුවෙන් ඊට පසුව පැවැති පාළාත් පාලන මැතිවරණයෙන් එජාපය එම ප්‍රාදේශීය සභාවේ බලය පිහිටවූ බවයි.

    සුදුස්සෝ

    මීට පෙර කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් ලෙස සිටි එච්.ඩී. සෝමවර්ධන, චතුර ධනුෂ්ලංක, ඔෂාන් නන්දසිරි හා ලංකා විජිත කුමාර, යන මන්ත්‍රීවරු මෙවර පොහොට්ටුවෙන් කැලණිය ප්‍රාදේශීය සභාවට තේරීපත්ව සිටිති.

    චතුර ධනුෂ්ක, ඡන්ද ප්‍රතිශතය අනුව ඉදිරියෙන්ම සිටින අතර එහි දෙවැනි තැන පසුවන්නේ ඔෂාන් නන්දසිරිය. ඔෂාන්ගේ පියාද කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ අයෙකි.

    එච්.ඩී. සෝමවර්ධන එම මන්ත්‍රීවරු අතර සිටින ජ්‍යෙෂ්ඨයා බව පැවසේ.

    මහින්දට මංගල වෙඩිමුරය කැලණියෙන්

    මේ අතර, මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව කඩා වැටීමේ මංගල වෙඩිමුරය තැබූ ප්‍රාදේශීය සභාව ලෙස කැලණිය ප්‍රාදේශීය සභාව සැලකේ.

    හසිත මඩවල ප්‍රමුඛ කණ්ඩායම අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව මුලින්ම කැරලි ගැසීම ඇරඹූ අතර ඉන් පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ බලය කැලණියෙන් ගිලිහිණි.

    කුමුදුනීට දැන්මම කැලෑ පත්තර

    ශාන්ති කුමුදුනී සභාපතිනිය කරන බවට ප්‍රකාශවීමත් සමඟ කිසියම් පිරිසක් කැලණිය පොහොට්ටු පාක්ෂිකයන්ගේ නිවෙස්වලට කැලෑ පත්තරයක් යවා තිබේ.

    අදාළ කැලෑ පත්තරය පහත දැක්වේ.

    Kelepaththaraya

  • සමාජ මාධ්‍යයේ කාඩ්බෝඩ් වීරයා මීග් යානා ගනුදෙනුවේ හවුල්කරුවෙක්..සාක්ෂි මෙන්න..

    සමාජ මාධ්‍යයේ කාඩ්බෝඩ් වීරයා මීග් යානා ගනුදෙනුවේ හවුල්කරුවෙක්..සාක්ෂි මෙන්න..

    රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මිග් යානා ගනුදෙනුවට මැදිහත්ව ක්‍රියාකර ඇතැයි, විමර්ශනවලින් හෙළි වන බව පොලිස් මූලස්ථානය පවසනවා.

    එම නිසා ඔහු ශ්‍රී ලංකාවේ නීතියට අවනතව ක්‍රියා කළ යුතු බව, අවධාරණය කරමින් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    2006 ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලයට ගැනීමේ දී සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතාවන් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල කරමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇත්තේ 2015 මාර්තු 10 වැනි දිනයි. ඒ අනූව, අධිකරණයේ පෙනී සිටින්නැයි ඔහුට නොතීසි නිකුත් කෙරුණා. ඊට අවනත නොවූ ඔහුට පසුව විවෘත වරෙන්තුවක් ද නිකුත් කරනු ලැබීය. උදයංග වීරතුංගගේ ගිණුම් 16ක් අත්හිටුවීමට අධිකරණය නියෝග කළා. ගිණුම්වල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 1.7ක් පමණ. ඔහුට ජාත්‍යන්තර පොලීසිය විසින් නිල් නිවේදනයක් ද පසුව රතු නිවේදනයක් ද නිතුක් කර තිබුණා.

    UW

    2015 පෙබරවාරි 28 දිනෙන් උදයංග වීරතුංගගේ තානාපති සේවය අවසන් කර ඇතත්, රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය බාරදීමක් හෝ අවලංගු කරගැනීමක් සිදු නොකොට සාමාන්‍ය ගමන් බලපත්‍රයක් ද ලබා ගෙන තිබෙනවා. 2016 දී ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගොස් ඇත්තේ එය භාවිත කරමින්. එහි ගමන් බලපත් තහනම් කරන ලෙස මෙරට ආගමන විගමන පාලක වෙත කළ අධිකරණ නියෝගයට අනූව ඒවා තහනම් කෙරුණා. එවැනි විදේශ ගමන් බලපත්‍රයකින් ඩුබායි ගුවන් තොටපොළින් අමෙරිකාව බලා පිටත් වීමට උත්සාහ කළ උදයංග වීරතුංග එරට බලධාරීන්ගේ භාරයට පත්වූ බව අබුඩාබි ජාත්‍යන්තර පොලීසිය වාර්තා කළා. ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තවදුරටත් ක්‍රියා කරමින් සිටිනවා.

    police-hq1512.jpg56

    තම නිර්දෝෂීභාවය සඳහා කරුණු දැක්වීමේ අවස්ථාව ඔහුට තවදුරටත් ඇති බවයි, පොලිසිය පවසන්නේ. ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලිමේ ක්‍රියාවලියට අවනත වීමක් හෝ විමර්ශනයට සහය දැක්වීමක් සිදු නොකරන ඔහු නීතිය මඟහරමින් සිටින බව නිරීක්ෂණය වී ඇතැයි, පොලීසිය පවසනවා. සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සිය නිදොස් බව ඔප්පු කිරීමට උත්සාහ ගැනීම පසෙක ලා අධිකරණයට ඉදිරිපත් වී එම අවස්ථාව ලබා ගන්නා ලෙස ද ශ්‍රී ලංකා පොලීසිය එම අවස්ථාව අවහිර කර නැතැයි ද පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

  • හමුදා ඇඳුමින් සැරසී කප්පම් ගන්න හැදු පොහොට්ටුවේ අපේක්ෂකයා මෙන්න..

    හමුදා ඇඳුමින් සැරසී කප්පම් ගන්න හැදු පොහොට්ටුවේ අපේක්ෂකයා මෙන්න..

    මුදල් වංචාවක් සම්බන්ධයෙන් බුත්තල පොලිස් ස්ථානයට ලැබුණු පැමිනිල්ලකට අනුව ඊයේ (22) අත්අඩංගුවට ගත් මෙවර පළාත් පාලන මැතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ අපේක්ෂකයෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු ලබන මස හත් වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

    සැකකරුවන් යුද හමුදා නිල ඇදුමින් සැරසී කප්පම් ලබා ගැනීමට තැත් කර ඇති අතර තවත් ස්ථානයක ඉඩම් ගණදෙණුවකදී රුපියල් ලක්ෂ ගනනක් වංචා කර ඇති බවට පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත. මෙම සැකකරුවන් තිදෙනා වැල්ලවාය ප්‍රධාන මහේස්ත්‍රාත් කේශර සමරදිවාකර හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඔවුන් තිදෙනා ලබන මස හත් වනදා ද්ක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන බුත්තල පොලිසිය සිදු කරයි.

  • එජාපය+ශ්‍රිලනිපය පළාත් පාලන ආයතන 150ක බලය පිහිටුවන්න සූදානම්

    එජාපය+ශ්‍රිලනිපය පළාත් පාලන ආයතන 150ක බලය පිහිටුවන්න සූදානම්

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් පසු සභා පිහිටුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් අදහස් පළ කළා. ඔහු කියා සිටියේ ශ්‍රිලනිපය ප්‍රධාන සෙසු පක්ෂ සමග එක්ව එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන ආයතන 150ක බලය පිහිටුවීමට සූදානම් බවයි. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයගනු ලැබූවේ ආයතන 34ක් පමණයි. 

     

  • රටම බලා සිටි කැබිනට් සංශෝධනය අද – නීතිය හා සාමය ෆොන්සේකාට…..!

    රටම බලා සිටි කැබිනට් සංශෝධනය අද – නීතිය හා සාමය ෆොන්සේකාට…..!

    දින කිහිපයක් තිස්සේ කතාබහට ලක්වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද (23) පස්වරුවේ සිදුකරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඒ අනුව ප්‍රාදේශිය සංවර්ධන ඇමති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරයද , රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමති කබිර් හෂිම් මහතාට මහමාර්ග අමාත්‍යධූරය හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇති බව නිල නොවන ආරංචි මාර්ගවලින් පැවසේ .

    එක්සත් ජාතික පක්ෂයට අයත් අමාත්‍යධූරවල සිඳුවන වෙනස්කම් ඇතුළත් අමාත්‍යවරුන්ගේ ලේඛන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඊයේ (22) රාත්‍රීයේ බාරදී ඇතැයිද එම ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.

    උසස් අධ්‍යාපන හා මහමාර්ග ඇමති ලක්ෂ්මන් කිරි ඇල්ල මහතාගෙන් මහමාර්ග විෂයද නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතාගෙන් නීතිය හා සාමය යන විෂයද ඉවත් කෙරෙනු ඇතැයි නිල නොවන ආරංචි මාර්ග කියයි.

    මේ අතරේ රාජ්‍ය ඇමතිවරුන් වන රවින්ද්‍ර සමරවීර , සුජීව සේනසිංහ , නියෝජ්‍ය ඇමතිවරුන් වන ආචාර්ය හර්ෂද සිල්වා , අජිත් පී පෙරේරා යන මහත්වරුන් කැබිනට් නොවන ඇමතිවරුන් ලෙස පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද වාර්තා වේ .

    යෝජිත ඇමති මණ්ඩල සංශෝධනයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේද විෂය පථයන් වෙනස් වීමට ඉඩ ඇති අතර මහින්ද අමරවීර , දයාසිරි ජයසේකර යන ඇමතිවරුන්ට වැඩි වගකීම් පැවරීමට බොහෝ දුරට ඉඩ ඇති බව පැවසේ .

    මේ අතර අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා යටතේ ඇති පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ඇතුලු විෂයන් කිහිපයක් සංස්කෘතික අමාත්‍යාංශය යටතට පැවරීමට බොහෝ දුරට ඉඩ ඇති බව නිල නොවන ආරංචි මාර්ග කියයි.

  • පුත්තලම දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි  ශාන්ත සිසිර කුමාර අබේසේකර අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ

    පුත්තලම දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි  ශාන්ත සිසිර කුමාර අබේසේකර අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ

    හලාවත පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් 2004 මැයි මස 30වන දින සැකකාර පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි  ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගේ නිවසේ තිබිය දී ගිනි අවි ආඥාපනත අනුව නිසි බලපත්‍රයක් නොමැති ටී 56 ගිනි අවියක් හා ඊට යොදන උණ්ඩ 30 ක්, එම ගැබ් එකක් රිවෝල්වරයක් හා ඊට යොදන උණ්ඩ 4 ක් ද තවත් රිවෝල්වයක් හා ඊට යොදන උණ්ඩ 6ක්, එස් එමි ඩී කොළ පැහැති ජීව අත් බෝමිබයක්, ටී 70 කොළ පැහැති දුමි බෝමිබයක් සොයා ගන්නා ලදී.

    මෙම නඩුවේ විත්තිකරුවන් හය දෙනෙකු  වූ අතර ඉන් පස් දෙනෙකුම මින් පෙර තමන්ට නගා ඇති චෝදනාවන්ට වරදකරුවන් බව අධිකරණය හමුවේ පිළිගෙන දඬුවම් ලබා තිබු අතරසැකකාර මන්ත්‍රිවරයා පමණක් තමන් නිවැරදිකරු බව කියා සිටි නිසා ඔහුට එරෙහි නඩුව දිගටම විභාග වෙමින් පැවැතිණි.

    ඒ අනුව එම නඩුව ඊයේ(22) විභාග වූ අතර සැකකාර මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනි නොසිටිම මත  අත් අඩංගුවට ගැනීම පිණිස හලාවත මහාධිකරණ විනිසුරු එම්. සී. බී. එස්. මොරායෙස් මහතා විසින්  වරෙන්තුවක් නිකුත් කර ඇත.

     

  • විගණකාධිපති වෙනුවෙන් වෘත්තීය සමිති පෙරට

    විගණකාධිපති වෙනුවෙන් වෘත්තීය සමිති පෙරට

    රාජ්‍ය මුදල් රැකදීම සඳහා විගණකාධිපතිවරයා විසින් සිදුකරන ස්වාධීන ක්‍රියාවලිය නිසා වංචා, දූෂණවලට සම්බන්ධව දේශපාලනඥයන් හා විවිධ කණ්ඩායම් කලබලයට පත්වී සිටින බැවින් අසත්‍ය චෝදනා එල්ල කර විගණකාධිපතිවරයාගේ වැඩ කටයුතු අඩපණ කිරීමට හා විගණකාධිපතිවරයා අපකීර්තියට පත් කිරීම සඳහා එම පිරිස් වැඩ කටයුතු සිදුකරමින් තිබෙන බව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති සඳහන් කරයි.

    මේ නිසා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සියලුම වෘත්තීය සමිති එක්ව අද (23දා) පාර්ලිමේන්තු වටරවුමේදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වනබවත්, එම ක්‍රියාමාර්ගයටද ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කිරීමට කටයුතු කරන බවත් ඔවුන් වැඩිදුරටත් පවසා සිටී.

  • දැන හෝ නොදැන කරන මහනායක හිමිවරුන්ගේ ප්‍රකාශ බෙදුම්වාදයට උඩගෙඩි දීමක්

    දැන හෝ නොදැන කරන මහනායක හිමිවරුන්ගේ ප්‍රකාශ බෙදුම්වාදයට උඩගෙඩි දීමක්

    .

    විදේශීය බලවේගවල රූකඩයක් වී නැටවෙන වත්මන් ආණ්ඩුව අස්ථාවර කළයුතුයැයි පසුගිය මැතිවරණයේදී ජනතාව ප්‍රකාශ කර තිබෙන බවත්,එය පිළිගැනීමට භික්ෂූන් වහන්සේලා සූදානම් විය යුතු බවත් වත්මන් ආණ්ඩුව අස්ථාවර නොකළයුතුයැයි  මහනායක හිමිවරුන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ විදේශ බලවේගවල හා දෙමළ බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාව ඉෂ්ට කිරීම සඳහා බවත් ජාතික සංවිධාන එකමුතුව විසින් කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමියෝ ඊයේ(22දා) ප්‍රකාශ කලේය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ බෙංගමුවේ නාලක හිමියෝ,

    “මේ දවස්වල මහනායක හිමිවරු ඇතුළු සංඝයා වහන්සේලා,ජනතා විමුක්ති පෙරමුණ වගේ දේශපාලන පක්ෂ මේ ආණ්ඩුව අස්ථාවර කරන්න එපා කියාගෙන යනවා.ප්‍රාදේශිය සභා මැතිවරණයෙන් ජනතාව දීපු උත්තරය වුණේ ආණ්ඩුව අස්ථාවර කළ යුතුයි කියලා.බොහෝ දෙනා නොදන්නවාට මේ ආණ්ඩුව අස්ථාවර නොකර ස්ථාවරව තියාගැනීමේ ප්‍රබලම අවශ්‍යතාව තියෙන්නේ විදේශ බලවේගවලට හා දෙමළ බෙදුම්වාදීන්ට.මහනායක හාමුදුරුවෝ වුණත්,අනෙක් සංඝයා වහන්සේලා වුණත්,මේ ආණ්ඩුව අස්ථාවර නොකළයුතුයි කියන්නේ විදේශ බලවේගවල හා දෙමළ බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාව ඉෂ්ට කිරීම සඳහා.ඒක දැන කරනවද, නොදැන කරනවද කියලා අපි දන්නෙ නෑ.නමුත් මේ රටේ හාමුදුරුවරු හැටියට යමක් කියනවා නම් වගකීමක් ඇතිව කියන්න ඕන.අපි දැක්කා මාධ්‍ය සාකච්ඡාවක් කරලා එක ස්වාමීන් වහන්සේ නමක් කිව්වා රනිල් වික්‍රමසිංහ හොරෙක් කියලා ඔප්පු කළොත් ගෝල්ෆේස් එකේ බෙල්ල කපාගන්නවා කියලා.මේක විලිලැජ්ජ නැති කතාවක්.මේ සංඝයාවහන්සේලාද සිවුරු දරාගෙන ඉන්නේ කියන සැකය තියෙනවා.අඩුගාණේ මම සිවුරු අරිනවා කියලා කිව්වනම් ඒක කමක් නැහැ.රනිල් වික්‍රමසිංහ මහතා හොරෙක් කියලා ඔප්පු වෙලා ඉවරයි.බැඳුම්කර වංචාවේ මූලික විත්තිකාරයා රනිල් වික්‍රමසිංහ.අර්ජුන් මහේන්ද්‍රන් ගෙනාවේ රනිල් වික්‍රමසිංහ.අර්ජුන් මහේන්ද්‍රන්ගේ මූලිකත්වයෙන් කමයි බැඳුම්කර මහහොරකම සිදුවුණේ.ඒ නිසා ඒ හොරකම කරන්න මූලිකයා වුණේ රනිල් වික්‍රමසිංහ.දැන් අපි ඒ උන්නාන්සේට කියනවා බෙල්ල කපාගන්න කියලා.මේ ගොල්ලෝ හදන්නේ ආණ්ඩුවෙන් සල්ලි දීලා හරි කමක්නැහැ මොනවාහරි කරලා මාධ්‍ය සාකච්ඡා පවත්වලා ආණ්ඩුවට පක්ෂව කරුණු කියන්න.ප්‍රාදේශිය සභා මැතිවරණයෙන් පැහැදිලිව ආණ්ඩුවට විරුද්ධව වැඩි ඡන්ද ප්‍රමාණයක්  මහජනතාව ප්‍රකාශ කළා.නමුත් දැන් ආණ්ඩුව කරන්නේ ජනමතයට ඇහුම්කන් දෙන එක නෙමෙයි.මේක රූකඩ ආණ්ඩුවක් නිසා මේ අයට ජනමතයට ඇහුම්කන් දෙන්න බැහැ.සාමාන්‍යයෙන් රඟපෑමක් කරනවා නම් නළුවෝ නිළියෝ වේදිකාවට ඇවිත් රඟපෑම් කරන්නේ.දැන් මේ සිරිසේන රනිල් රඟපෑමක් නෙමෙයි කරන්නේ.ඒගොල්ලො රූකඩයෝ.සී.අයි.ඒ. එකයි රෝ එකයි, දෙමළ බෙදුම්වාදීන්,ඩයස්පෝරාව පිටුපස්සෙන් ඉඳගෙන මේ රූකඩ ටික නටවනවා.ඒ නිසා මේ ආණ්ඩුවට රඟපෑම් කරන්නවත් බැහැ.ඒ රූකඩ ආණ්ඩුව ස්ථාවර කරන්න කියලා කියන්න පුළුවන් මොන මෝඩයටද?ඒ නිසා භික්ෂූන් වහන්සේලා හැටියට යමක් ප්‍රකාශ කරනකොට කරුණු දැනගෙන හරියට ප්‍රකාශ කරන්න කියලා බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා.බලයට රැවටිලා පන්දම් අල්ලන්න එපා කියලා මහනායක හිමිවරු ඇතුළුව  භික්ෂූන් වහන්සේලාට මතක් කරනවා.මහානායකකමත් එක්ක නුවණ ලැබෙන්නැහැ.ඒක අපි තේරුම් ගන්න ඕන.තනතුරක් ලැබුණට නුවණ ලබෙන් නැහැ” යනුවෙන් පවසා සිටියහ.

  • මිනීමැරුම් වලින් එහා ගිය ගෝඨාභයලාගේ ඉඩම් මංකොල්ල කෑමේ ජාවාරම (සාක්ෂි සහිතව)

    මිනීමැරුම් වලින් එහා ගිය ගෝඨාභයලාගේ ඉඩම් මංකොල්ල කෑමේ ජාවාරම (සාක්ෂි සහිතව)

    2010 ජූලි 21වැනිදා ලොව විශිෂ්තටම පා දඟ පන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන්ගේ අවසන් ටෙස්ට් තරඟයේ සිව් වන දිනය විය. ඊට පසු දින එවක ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ ඒ වෙනුවෙන් ගාල්ලට පැමිණීමට නියමිතව තිබිණි. ගාල්ල නගරයේ සිට අඩියෙන් අඩියට පොලිස් විශේෂ කාර්ය බලකා සහ ජනාධිපති ආරක්ෂක අංශ සාමාජිකයන් ක්‍රීඩකයන් නතරව සිටි ලයිට් හවුස් හෝටලය දක්වා මාර්ගය දෙපැත්තේ සිට ඇත. එදින සවස තම දියණිය සමඟ මෝටර් බයිසිකලයෙන් නිවසට යමින් සිටි ගාල්ල මහ නගර සභාවේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාව සිටි උපාලි මෙන්ඩිස් ලයිට් හවුස් හෝටලය ඉදිරිපිටදී තංගල්ල පොලීසියෙන් බව කියමින් GB 8484 අංකය සහිත ජීප් රථයකින් පැමිණි පිරිසක් පැහැරගෙන ගොස් තිබිණි. ඔහුගේ අතුරුදන්වීමට මූලික හේතුව වී තිබුණේ ලයිට් හවුස් හෝටලයට යාබදව තිබූ අක්කරයකට මඳක් වැඩි ඉඩමක අයිතිය ඔහු සතු වීමය.

    එවක ආරක්ෂක ලේකම්වරයා සිටි ගෝඨාභය රාජපක්ෂ විසින් අදාළ ඉඩම් කොටස ඇතුළත්ව තිබූ භූමිය ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියකට අනුව හෝටල් ව්‍යාපෘතියක් සඳහා ඉල්ලූ බවත්, තම පියා ඊට එකඟ නොවීම හේතුවෙන් මෙලෙස පැහැරගෙන ගිය බවත් මෙන්ඩිස්ගේ පුතණුවන් සහ බිරිඳ එවකදී වගකිවයුත්තන්ටත්, නව රජය පත් වීමෙන් පසුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයාටත් ඇතුළු වගකිවයුත්තන්ටත් අවස්ථා ගණනාවකදී ලිඛිතව පැමිණිලි කර තිබිණි. එවකදී මෙන්ඩිස් ගැන පැමිණිලි කිරීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට ගිය විටෙක ඔහු පැහැරගෙන ගොස් තිබූ ජීප් රථය එහි තිබෙනු මෙන්ඩිස්ගේ දියණිය හා පුතණුවන් වන කල්හාරි මෙන්ඩිස් හා ප්‍රභාත් මෙන්ඩිස් දැක තිබේ. ප්‍රභාත් මෙන්ඩිස් විසින් දිගින් දිගටම තම පියා පිළිබඳව කළ සෝදිසි කිරීම්වලදී එක් ලේකම්වරයෙකු පවසා තිබුණේ ආරක්ෂක අමාත්‍යංශයේ ඉහළින්ම ආ නියෝගකයට අනුව මේවා සිදු වූ බවකි. එම දුරකථන ඇමතුමේ හඬපටයද මෙන්ඩිස් පවුල විසින් අදාළ අංශ වෙත යොමු කර තිබේ. එවක ජනතා විමුක්ති පෙරමුණේ ගාලු දිස්ත්‍රික් මන්ත්‍රීව සිටි අජිත් කුමාර එම හඬපට හා ඊට අදාළ පුදගලයන් පිළිබඳව පාර්ලිමේන්තුවේ කළ කතාව හැන්සාඩ්ගතව ඇත. ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ බී.548547 යටතේ එම පැහැර ගැනීම පිළිබඳව නඩුවක්ද ඇත. මේ සියල්ලට වෙහෙස මහන්සි වුණු ප්‍රභාත්ට ආ ජීවිත තර්ජන හේතුවෙන් ආරක්ෂාව පතා විදේශගත වන්නටද සිදු විය. ඉදින් ගාල්ලේ ඉඩමක් නිසා තිරිමාදුර උපාලි මෙන්ඩිස් අදටත් අතුරුදන්ය.

    සමරධීර සුනිල්

    එවකදී රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අධිකාරිය විසින් සංවර්ධන කටයුතු සඳහා වනාතේ ඉඩම් අත්පත් කරගෙන යෑමේදී ඊට එරෙහිව කෑ ගැසූ සමරධීර සුනිල් නැමැත්තෙකුද පැහැර ගැනීමකට ලක් විය. වාසනාවකට මාධ්‍ය මගින් හෙළි කිරීමත්, මහජනයා ප්‍රකෝපව මහපාරට බැසීමත් සමඟ ඔහු සවස නැවත ගෙදර ආවේය. කොම්පඤ්ඤ වීදියේ සහ කොල්ලුපිටියේ කූපර්ස් හිල් නිවැසියන්ගේ ඉඩම් අත්පත් කර ගැනීම්වලදීද එවක ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ නාගරික සංවර්ධන අධිකාරියේ සේවයට පත්කර තිබූ ඔහුගේ යුද හමුදා මිලිටරි නිලධාරීන් හැසිරුණේ මෙයාකාරයෙන්මය.

    ගාමිණි වික්‍රමරත්න

    සුදු වෑන්, කළු ඩිෆෙන්ඩර් රථ මිනිසුන් බියගන්වන්න ආවාදැයි, බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගත්තේදැයි අසන්නන්ට කීමට කප්පරක් කතා අතරින් තවත් කතාවක් තිබේ. ජස්ටිස් අක්බාර් මාවත කෙළවර අංක 6, ස්ටේෂන් පැසේජ්, කොළඹ 2 දරන ස්ථානයේ මේවනවිට ඉදිවෙමින් පවතින්නේ පකිස්තානු ලක්හානි සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත සමාගමේ ශ්‍රී ලංකාවේ ස්ථාපිත ඉම්පීරියල් බිල්ඩර්ස් පුද්ගලික සමාගමට අයත් මිශ්‍ර ව්‍යාපෘතියක් වන Destiny Mall & Resistance ගොඩනැගිලි ද්විත්වයයි. නමුත් එහි ගැටලුවක් තිබේ. එම ගොඩනැගිල්ල ඉදිවන භූමියේ අයිතිය තවමත් නීත්‍යානුකූලව ඇත්තේ එම ස්ථානයෙන් බලහත්කාරයෙන් ඉවත් කරන ලද වෙන්ගප්පුලි විදානආරච්චිගේ ගාමිණී වික්‍රමරත්නටය. බලහත්කාරයෙන් ලියැවිලිවලට අත්සන් ලබාගෙන එවක රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය යටතට එය පවරාගෙන තිබුණද, ඔප්පුව නීත්‍යානුකූලව වලංගු නොකිරීමත්, මුල් හිමිකරු එම ඉඩමට නඩුවක් පවරා තිබීමත් හේතුවෙන් එහි ඉදිවන ව්‍යාපෘතිය ගැටලුකාරීය. නීත්‍යානුකූල නොවන ආකාරයෙන් මිලිටරි යාන්ත්‍රණය යොදවා ගෝඨාභයලා බලහත්කාරයෙන් ලබාගත් බව කියන මෙකී ඉඩම ගැන යහපාලන ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ සිට පහළට පැමිණිලි කර තිබේ. නීත්‍යානුකූලව පවරා නොගත් ඉඩමක ඉදිවන මෙම සුපෝඛබෝගී තට්ටු නිවාස සංකීර්ණයේ නිවෙස් මේවනවිට ගැනුම්කරුවන් සඳහා කෝටි ගණනින් අලෙවිකරමින් ද තිබේ. එහෙත් රාජපක්ෂලාගේ වැරදිවලට සුජාතභාවය දෙන යහපාලනය දෝෂ සහිත, නීත්‍යානුකූල නොවෙන අයුරින් ලබාගත් ඉඩමක ඇති මෙම ව්‍යාපෘතිය මගින් එහි ගැනුම්කරුවන්ට සින්නක්කර ඔප්පු ලබාදීමට කටයුතු කරන්නේ කෙසේද?

    ඉඩමේ අයිතිය

    Euro Car Mart ( pvt) Ltd සහ Road Builders New Technology ( pvt) Ltd යන ව්‍යාපාරයන්හි අයිතිකරුවා ඉහත සඳහන් ගාමිණී වික්‍රමරත්නය. ඔහු උක්ත ලිපිනයවන ස්ටේෂන් පැසේජ් ස්ථානයේ තම ව්‍යාපාරය ආරම්භ කිරීමට ප්‍රථම ව්‍යාපාරය කරගෙන ගොස් තිබුණේ කොල්ලුපිටියේ සයිමන් හේවාවිතාරණ පාරේ අංක 8 දරණ ස්ථානයේය. එහි ඔහුගේ නිවසත්, Euro Car Mart ව්‍යාපාරයත්, සපත්තු නිෂ්පාදන ආයතනයකුත් පවත්වාගෙන ගොස් තිබිණි. 1980 මාර්තු 22වැනිදා අංක 237/8 දරන ගැසට් පත්‍රය මගින් මහජන කටයුත්තක් සඳහා අවශ්‍ය බව දන්වා ඔහුගේ එම ඉඩම රජයට පවරාගෙන තිබිණි. ඉන්පසුව එම පවරාගත් ඉඩම සහ ව්‍යාපාරය සහිත නිවස වෙනුවට විකල්ප ඉඩමක් ලෙස කොම්පඤ්ඤ වීදියේ ස්ටේෂන් පැසේජ්හි ඉහත සඳහන් ලිපිනයේ පර්චස් 15.2ක ඉඩම අංක 18 දරණ බදු ඔප්පුව මගින් 99 අවුරුදු බදු පදනම මත ජේ. ආර් ජයවර්ධන රජය ඔහුට ලබා දී තිබේ. ඒ අනුව අදාල ඔප්පුව සඳහා රුපියල් 588,240ක මුදලක් ඔහු ගෙවා එම ඉඩම වසර 29ක් පුරා ඉහත සඳහන් ව්‍යාපාරික ආයතන දෙකද පවත්වාගෙන ‍යමින් භුක්ති විඳ තිබේ.

    ඉඩමෙන් ඉවත් කිරීම

    2012 පෙබරවාරි 23 දින නාගරික සංවර්ධන අධිකාරිය විසින් ගාමිණී වික්‍රමරත්නට ලිපියක් මඟින් දන්වා ඇත්තේ මෙම ඉඩම කොම්පඤ්ඤවීදිය දුම්රිය පටුමග ප්‍රතිසංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීම සඳහා පවරා ගන්නා බවයි. එහිදී වික්‍රමරත්න විසින් මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධව 236/2012 දරන ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව ගොනුකර තිබේ. එහිදී අධිකරණය පළමුව වාචිකව විමසා ඇත්තේ වික්‍රමරත්නට සාධාරණ වන්ඳි මුදලක් ගෙවිය හැකිද යන්නය. එලෙසම 2013.08.06 දින ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ලෙස ලබා දී ඇත්තේද ඔහුව සිය ඉඩමෙන් නීත්‍යානුකූලව ඉවත් කළ යුතුය යන්නය. තවද අංක 18 දරණ වික්‍රමරත්නගේ බදු ඔප්පුවේ 3වන පිටුවෙහි J ජේදයේ සඳහන්ව ඇත්තේ එම ඉඩමෙන් ඔහුව ඉවත් කරනවා නම් නීත්‍යානුකූලව සිදුකළ යුතු බවයි.

    ව්‍යාජ තක්සේරුව

    ඒ අනුව එවක රජයේ තක්සේරු දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන තක්සේරුකරු වන චන්ද්‍රසේකරම් නැමැත්තෙකු ස්ටේෂන් පැසේජ් ඉඩමට පැමිණ එහි තක්සේරු වටිනාකම් ගණන් බලාගෙන ගොස් නාගරික සංවර්ධන අධිකාරියට දන්වා තිබේ. ඒ අනුව ඔහු ලක්ෂ 700ක මුදලක් තක්සේරු කර ඇති අතර, ගාමිණී වික්‍රමරත්න විසින් තක්සේරු දෙපාර්තුමේන්තුවේම විශ්‍රාමික නිලධාරියෙකු ලවා පෞද්ගලිකව සිදුකරන ලද තක්සේරුවකට අනුව වටිනාකම ලක්ෂ 800ක් ලෙස සඳහන්ව තිබී ඇත. ඉන් දින කිහිපයකට පසුව වික්‍රමරත්න තක්සේරු දෙපාර්තුමේන්තුවට ගොස් තම ඉඩමේ තක්සේරු පිටපතක් ඉල්ලා ඇති අතර එවිට ප්‍රධන තක්සේරුකරු පී. චන්ද්‍රසේකරම් විසින් ජූඩ් නැමැති නිධාරියෙකු කැඳවා එම පිටපත ලබාදෙන ලෙස දන්වා තිබේ. එහෙත් එම නිලධාරියා එහිදී පවසා ඇත්තේ තක්සේරු කළ ලක්ෂ 700ක මුදල වැඩි බවත්, එය අඩුකරන ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ දන්වා ඇති බවත්ය. එහිදී ප්‍රධාන තක්සේරුකරු පවසා ඇත්තේ තක්සේරුව යනු එකක් බවත් එම ලිපිගොනුව ලැබීමට සලස්වන ලෙසත්ය. එවිට ජූඩ් නැමැති නිලධාරියා පවසා ඇත්තේ එම ලියැවිලි ඒවනවිට අස්ථානගතව ඇති බවයි.

    ඉන් දින කිහිපයකට පසුව මෙම ඉඩමට පැමිණි පළාත් තක්සේරුකරු වන ආර්.ජී.එස්.එච් සෙනෙවිරත්න නැමැති නිලධාරිනියක විසින් විනාඩි පහක පමණ කාළක් වැය කර, ආදායම් වාර්තා හෝ ලිඛිත ලියැවිලි කිසිවක් පරීක්ෂා නොකර තක්සේරුව ලක්ෂ එකසිය දාසයක වටිනාකමකට තක්සේරු කර පිටව ගොස් තිබේ. ඒ අනුව වික්‍රමරත්නගේ එක් පර්චසයක් තක්සේරු කර ඇත්තේ හත්ලක්ෂ හැටතුන්දාස් එකසිය පණස් හතරක් වැනි මුදලකයට. අංක CM/CMC/LM/1013 යොමු අංක සහිතව 2012.03.12 එම නිලධාරිනිය විසින් යවන ලද තක්සේරු පිටපතක් තොරතුරු දැනගැනීමේ පනත යටතේ වික්‍රමරත්න විසින් ලබාගෙන තිබේ. අදාල ලිපි ලේඛන වික්‍රමරත්න විසින් 2015.08.24 දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යොමුකරන ලද පැමිණිල්ලේ සටහන් කර තිබේ.

    සුදු වෑන් සහ කළු ඩිෆෙන්ඩර

    ලක්ෂ 116 කට ඔහුගේ ඉඩම එලෙස ව්‍යාජ ලෙස අඩු තක්සේරු කළද ඊට මීටර් 100ක් ඉදිරිපසින් ඇති ශැන්ග්‍රිලා හෝටල් ඉඩමේ පර්චසයක් එවකදී ලබා දී තිබුණේ ලක්ෂ 85ක තක්සේරු මුදලකටය. එමෙන්ම කොළඹ 2 මාකට් වීදියේ පර්චසයක් ලක්ෂ 49කට වැනි මුදලකට ලබා දී තිබෙන බව වික්‍රමරත්න ඉහත පැමිණිලිවල සඳහන් කර තිබේ. මෙම තක්සේරුවෙන් පසුව දිගින් දිගටම නිල ඇඳුම් සහිත හා රහිත විවිධ පුද්ගලයන් සුදු වෑන් සහ කළු ඩිෆෙන්ඩර ‍රථ මගින් පැමිණ එම ස්ථානයෙන් පිටවන දිනය කවදාදැයි නිතර විමසා තිබේ. තවද එක් දිනක් බලහත්කාරයෙන් ඉඩමට ඇතුල් වී පාරක් කැපීමට උත්සාහ කර තිබෙන අතර වික්‍රමරත්න එහිදී පවසා ඇත්තේ ඉඩම සම්බන්ධව ශ්‍රේශ්ඨාධිකරණ නඩුවක් පවතින හෙයින්ද, එහි නීත්‍යානුකූල අයිතිය තමන් සතු හෙයින්ද එය සිදුකළ නොහැකි බවයි. තවත් වරෙක තම ආයතනයෙන් වාහන අලුත්වැඩියා කිරීමට පැමිණි මුවාවෙන් විවිධ පුද්ගලයන් එම ස්ථානයෙන් පිටව යන දිනය තම බිරිඳගෙන් හා තමන්ගෙන් විමසා තර්ජනයන් කළ බව පැමිණිලිවල ලිඛිතව සඳහන් කර තිබේ. එවකදී පැවැති අනාරක්ෂිත වාතාවරණය මත තමන්ටත්, බිරිඳ හා දියණියට සිදුවිය හැකි අවදානම හේතුවෙන් වික්‍රමරත්න මේවා සම්බන්ධව කිසිඳු පියවරක් ගැනීමට එවකදී අපොහොසත්ව තිබේ.

    බලහත්කාරයෙන් අත්සන්

    මෙවැනි වටපිටාවකදී euro car mart ආයතනයට පැමිණි යුද හමුදා නිලධාරීන් කීපදෙනෙකු නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැමිණෙන ලෙස දන්වා තිබේ. නමුත් එහිදී කිසිදු සාකච්ජාවක් වී නොමැති අතර, නැවත එහි පැමිණ එම අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ හමුවන ලෙස දන්වා තිබේ. විනාඩි 45ක් පමණ කාළක් තම බිරිඳ සමඟ එහි රැඳී සිටියද ලේකම්වරයා හදිසි රාජකාරියකට ගිය බව දන්වා නැවත නාගරික සංවර්ධන අධිකාරියට යන ලෙස දන්වා තිබේ. එහිදී බ්‍රිගේඩියර් ජයසුන්දරගේ කාමරයට ගිය පසු ඉඩම් නිලධාරී වීරසේනගේ කාමරයට ගොස් ඔහු හමුවන ලෙස දන්වා තිබේ. එහිදීද දන්වා ඇත්තේ ඉක්මණින් ඉඩමෙන් ඉවත්වන ලෙසයි. පසුදිනෙක නැවතත් ඔහුගේ ආයතනයට පැමිණි නිලධාරියෙකු භුක්තිය බාරදෙන ලෙස තර්ජනය කිරීම හේතුවෙන් ‘නීත්‍යානුකූලව ගන්නා පියවරකට අගතියක් නොවෙන ලෙස’ යන්න (without Prejudice) සටහනක් යොදා ජීවිත අවදානම හේතුවෙන් අත්සන් කර තිබේ. එම සිදුවීමෙන් පසුව 2013.08.01 දින නාගරික සංවර්ධන අධිකාරිය වෙත එන ලෙස දන්වා තිබේ. ඒ අනුව බිරිඳත්, වික්‍රමරත්නත් එහි ගොස් ඇති අතර ඔවුන්ව ගිනි අවි සහිත යුද හමුදා නිලධාරීන් සිටින කාමරයකට කැඳවා එම අධිකාරියේ සිටි ප්‍රදාන නීති නිලධාරිනිය බලහත්කාරයෙන් හිස් කොළයක් ලබා දී එහි තම අත් අකුරින් චෙක් පත් තුනක අංක සඳහන් කරවා

    ‘මා මේ ඉඩමෙන් කැමැත්තෙන් ඉවත්ව යන බවත්, කිසිඳු වන්ඳි මුදලක් නොඉල්වන බවත් හා කිසිඳු නීති මගකට නොයන බවත්’ සටහන් කරවාගෙන අත්සන ලබාගෙන තිබේ.

    මෙම සිදුවීම් හමුවේ තම ඉඩමත්, ව්‍යාපාරික ස්ථානයත් බලහත්කාරයෙන් ලබාගැනීම හේතුවෙන් එහි වූ තම දේපල සියල්ල හා ලබා දී තිබූ ලක්ෂ 116ක මුදලද සේවක වන්ඳි ලෙස බෙදා දී එයින් පිටව ගොස් තිබේ.

    ස්ටේෂන් පැසේජ් ව්‍යාපෘතිය

    කොම්පඤ්ඤ වීදිය ප්‍රතිසංවර්ධන ව්‍යාපෘතිය අදියර දෙක ලෙස රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අංක 12/1581/503/105-1 ලෙස කැබිනට් පත්‍රිකාවක් 2012.11.12 දින යොමුකර තිබේ. ඒ අනුව කොම්පඤ්ඤවීදිය ස්ටේෂන් පැසේජ්හි දුම්රිය දෙපාර්තුමේන්තුවට අයත්ව තිබූ නිල නිවාසත්, වෙනත් පදිංචිකරුවන්ගේ නිවාස 119කුත් මෙම ව්‍යාපෘතිය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් පවරාගෙන තිබේ. දුම්‍රිය දෙපාර්තුමේන්තුව සතුව තිබූ ඉඩමෙහි භුක්තිය නාගරික සංවර්ධන දෙපාර්තුමේන්තුවට නිදහස් දීමනාවක් ලෙස ලබාගෙන ඒ සඳහා මහල් නිවාස වලින් නිවාස 38ක් ද, අනෙකුත් පදිංචිකරුවන්ට එම ස්ථානයේම ඉදිකරන මහල් නිවාසවල නිවසක්ද ලබාදෙන පොරොන්දුව මත පවරාගෙන තිබිණි. එලෙස පවරාගත් ඉඩම් ‘මහජන කටයුත්තක්’ ලෙස සඳහන් කර ලබාගෙන තිබේ. ඒ අනුව පුනස්ථාන මහල් නිවාස හා වානිජ්‍ය ඒකක ඉදිකරදීම සඳහා වැයවන පිරිවැය පියවා ගැනීම සඳහා පුද්ගලික ඉඩම් හිමියන්ගෙන් පවරා ගන්නා ඉඩම්වලින් අක්කර 1ක ප්‍රමාණයක් ‘ඉම්පීරියල් බිල්ඩර්ස් සමාගමෙන්’ පියවා ගැනීමට මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා අවුරුදු 50ක කාළයකට බදු ප්‍රතිෂ්ඨාවක් රහිතව ලබාදීමට එවක දී කැබිනට් අනුමැතිය ලබාගෙන තිබේ. එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරියට අත්විය යුතු ප්‍රතිලාභ ලෙස අධිකාරිය සතු පර්චස් 108ක මුළු ඉඩමෙන් මාර්ග හා පොදු භූ දර්ශන කොටස් හැර ඉතිරිවන පර්චස් 54 සඳහා රජයේ තක්සේරුව මත ගණනය කළ රුපියල් මිලියන 320ක බදු ප්‍රතිෂ්ඨාවක් සමාන වාරික 5කින් වසර දෙකක කාළයක් තුළ අයකර වසර 50කට බදු දීමටත් එමගින් එකඟ වී තිබේ.

    වික්‍රමරත්නට වූ අසාධාරණය

    නමුත් එලෙස පවරාගත් මුළු ඉඩම් ප්‍රමාණයෙන් පර්චසස් 15.2ක කොටසක නීත්‍යානුකූල අයිතිය 1980 සිට තිබුණේ ගාමිණී වික්‍රමරත්නටය. 99 අවුරුදු බදු ගිවිසුමක් යටතේ ලබා තිබූ ඉඩමක් එලෙස පවරා ගැනීමට නාගරික සංවර්ධන අධිකාරියට නොහැකිය. බලහත්කාරයෙන් මිලිටරි බලය යොදවා ලබාගත් අත්සන් තිබුණද අදටත් එම ලියැවිල්ල ඉඩම් ලියාපදිංචි කාර්‍යාලයේ නිවැරැදිව ලියාපදිංචි කරද නැත. 1964 අංක 28 සංශෝධන පනත අනුව මහජන කටයුත්තක් සඳහා පවරාගත් ඉඩමක් විදේශීය සමාගමකට ලබාදීමට නොහැකි බව වික්‍රමරත්න විසින් ජනාධිපතිවරයාටද පැමිණිලි කර තිබේ. එමෙන්ම වික්‍රමරත්න එම ස්ථානයෙන් නික්ම යෑමට සූදානම් වුවද ඒ සඳහා ඔහුට වෙනත් විකල්ප ඉඩමක් ලබා දී හෝ තම හිමිකම වෙනුවෙන් නිවැරදිව ගණනය කළ වන්දියක් හෝ ලබා දී නොමැත.

    සාධාරණයක් නොමැත

    මෙම අසාධාරණය සහ අනීතික ක්‍රියාවන් පිළිබඳව වික්‍රමරත්න අවස්ථා ගණනාවකදී මෛත්‍රිපාල ජනාධිපතිවරයාටත්, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාටත්, කොම්පඤ්ඤ වීදිය පොලීසියටත් ඇතුළු වගකිව යුතු අංශ වෙත පැමිණිලි කර තිබේ. කිසිඳු පැහැදිලි ප්‍රතිචාරයක් තවමත් ඔහුට නොලැබී ඇත. ඔහු ඒ වෙනුවෙන් මේ වනවිට තනිවම නඩුවක් ගොනු කර තිබේ.2015 නොවැම්බර් 17 වැනිදා පුවත්පත් සාකච්ඡාවකදී යහපාලන රජයේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර කීවේ පසුගිය සමයේ සිදු වූ ඝාතන සහ පැහැර ගැනීම්, බරපතල වංචා 725කට රාජපක්ෂවරුන්ගේ සම්බන්ධතා ඇති බවයි. ඉන් 25කට ඍජුවම රාජපක්ෂවරු සම්බන්ධ බවට හෙළිව ඇති බවයි. යහපාලන ආණ්ඩුවේම ප්‍රබලම අමාත්‍යංශයක් වන බස්නාහිර පළාත් සහ මහා නගර සංවර්ධන අමාත්‍යවරයා වන්නේ පාඨලී චම්පික රණවකයි. රාජපක්ෂලාගේ මෙවැනි වංචා දූෂණ සහ මිලිටරි බලය අත්තනෝමතික ලෙස භාවිතා කිරීම් ගැන මැතිවරණ වේදිකා දෙවනත් කළද සාක්ෂි සහිතව ඇති මෙවැනි කාරණාවලට අදවනතුරු නීතිය ක්‍රියාත්මක කිරීමක් හෝ අගතියට පත් පාර්ශ්වයන්ට සාධාරණයක් ඉටු නොකර තිබේ. මහජනතාව ජන්දයෙන් මේවාට පිළිතුරු දුන්නා විය යුතුය. ජනමාධ්‍ය ගැනද යමක් ලිවිය යුතුය. මෙවැනි දෑ පිළිබඳව ලියන්නෝද අල්පය. රාවයේ ලසන්ත රුහුණගේ මේ පිළිබඳව මීට පෙර ලියා තිබුණි. නමුත් ඒ සඳහා මාධ්‍ය පෙළ නොගැසිනි. ඒ වෙනුවට ගුවන්තොටට දුවන මාධ්‍යකරුවන් ගෝඨාභයලාගෙන් අසන්නේ ඊලඟ අගමැතිවනවාද යන්නය.

    හිස් කොළයකට බලහත්කාරයෙන් අත්සන් ගත්තා

    මගේ නිවසත්, ව්‍යාපාරයත් තිබුණ ඉඩම තිබුණෙ කොල්ලුපිටියේ සයිමන් හේවාවිතාරණ පාරෙ. ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව, 1980 දි ගාමිණී දිසානායක ඇමතිවරය මහජන කටයුත්තකට ඒ ඉඩම පවරගත්තා. ඒ වෙනුවට මට කොම්පඤ්ඤ වීදියෙ ස්ටේෂන් පැසේජ් ඉඩම 99 අවුරුදු බදු පදනම මට ගිවිසුමකින් ලබාදුන්නා. මම එතන මගේ ව්‍යාපාරය දෙක අවුරුදු 29ක් නිවැරදිව රජයට බදු ගෙවමින් පවත්වාගෙන ගියා.

    2012 අවුරුද්දෙ දවසක නාගරික සංවර්ධන අධිකාරියෙන් අපිට ලියුමක් ආවා එතනින් ඉවත් වෙන්න කියලා. අපේ නීත්‍යානුකූල අයිතිය අපි කිව්වා. නමුත් අපිට සුදු වෑන්වලින්, ඩිෆෙන්ඩර් වලින් ආව අය නිතර තර්ජනය කළා. මගේ කාර්‍යාලයටත්, වැඩපලටත් ආව නිලඇඳුම් ඇඳගත්ත අය නිතර ඇහුවෙ කවදද එතනින් යන්නෙ කියලා. පස්සෙ මම ශ්‍රේශ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකළා. ඒකෙන් කිව්වෙ නීත්‍යානුකූලව මාව ඉවත් කරන්න කියලා. රජයේ තක්සේරුකරු ඇවිත් ලක්ෂ 700කට මගේ ඉඩම තක්සේරු කළා. නමුත් පස්සේ දැනගත්තා ලක්ශ 116කට ඒක අඩුකරලා වෙනත් නිලධාරිනියකගෙන් තක්සේරු කරගෙන කියලා. පර්චසයක් ලක්ෂ 7කට තක්සේරු කරලා තිබුණේ. පස්සේ මට ගෝඨාභය රාජපක්ෂ හමුවෙන්න එන්න කිව්වා. ගියාට ඔහුව හමුවුණේ නෑ. ආයෙ රතුපස්වල සිදුවීම වුණු දවසෙ මට නාගරික සංවර්ධන අධිකාරියට එන්න කියලා කිව්වා. එදා මම මගේ නෝනත් එක්ක ගියාම හිටපු නීති නිලධාරිනිය අපිව කාමරයකට යැව්වා. ඒකෙ ඇතුළෙ හිටියෙ යුධ හමුදා නිලධාරීන්, ඒ අයගෙ ගිනි අවි එක්ක. හිස් කොළයක් දීලා, චෙක්පත් තුනකුත් දීල ඒකෙ ලියන්න කිව්වා කිසිම නීතිමය පියවරක් ගන්නෙ නෑ, වන්ඳියක් ඉල්ලන්නෙ නෑ කියලා පොරොන්දු වෙනවා කියලා. අපි ජීවිත අවදානම නිසා ඒකට අත්සන් කළා. පස්සේ ආයතනයට කෙනෙක් ඇවිත් බලහත්කාරයෙන්ම ඉඩමේ භුක්තියට අත්සන් ගත්තා. නමුත් මම ඒකෙ සටහනක් දාලායි අත්සන් කළේ. අදටත් ඒ ඉඩම නිවැරදිව ලියාපදිංචි කරලා නෑ. මම නඩුවක් පවරලා තියෙනවා. මට සාධාරණ වන්ඳියක් අවශ්‍යයි. මට දුක මහින්ද රාජපක්ෂ බලයට එද්දි හෙළ උරුමයේ සහෝගය රාජපක්ෂ ආණ්ඩුවට ගන්න සාකච්ජා කළේ මම. එහෙම බලයට ඇවිත් ඒ අය මගේ සියල්ල බලහත්කාරයෙන් ගත්තා. අද නාගරික සංවර්ධන අමාත්‍යංශය අයිති පාඨලී ඇමතිවරයාට. ඔහු බලයට ආවෙත් හෙළ උරුමයෙන්. ඔහුත් අදටත් මේ ගැන නිහඬයි. ජනාධිපතිවරයාට, අගමැතිවරයාට මම මේ ගැන පැමිණිලි කළා. නමුත් විසඳුම් නෑ.

    ගාමිණී වික්‍රමරත්න
    ඉන්ජිනේරු,
    සභාපති යුරෝ කාර් මාට් සහ රෝඩ් බිල්ඩර්ස්
    නිව් ටෙක්නොලජි ප්‍රයිවෙට් ලිමිටඩ්

    – මේ පිළිබඳ විමසීම සඳහා මහා නගර සංවර්ධන හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක අමතන ලදී. එහිදි ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු මෙම තොරතුරු සටහන් කර ගත් අතර පුවත්පත මුද්‍රණයට යන තෙක් ඒ සම්බන්ධයෙන් පිළිතුරක් ලබා නොදෙන ලදී.-

  • එජාපය සහ නිදහස් පක්ෂය පළාත් පාලන ආයතනවලදීත් එක්වෙන්න යයි

    එජාපය සහ නිදහස් පක්ෂය පළාත් පාලන ආයතනවලදීත් එක්වෙන්න යයි

    එක්‌සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එකතුවී බහුතරය ලබාගත හැකි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.

    පාර්ලිමේන්තුවේදීත් ඉතිහාසයේ මෙවැනි බලය පිහිටුවීම් සිදුවී ඇති නිසා පළාත් පාලන ආයතනවලට එය සාමාන්‍ය තත්ත්වයක්‌ බවද ඇමැතිවරයා කීය.

    ආණ්‌ඩුව පිහිටුවා ඇත්තේද මෙම ප්‍රධාන පක්‍ෂ දෙක නිසා පළාත් පාලන ආයතනවලද බලය පිහිටුවීම ප්‍රධාන පක්‍ෂ දෙකට ගැටලුවක්‌ නැති බව හෙතෙම කියා සිටියේය.

    පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළත් බහුතරයක්‌ නැතිනම් විපක්‍ෂයට බහුතරය පෙන්වා බලය පිහිටුවිය හැකි බවද මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  (21) පැවැති කැබිනට්‌ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා පැවැසීය.

  • තුවක්කු, බෝම්බ සමග හසුවූ එජාප මන්ත්‍රීට වරෙන්තු

    තුවක්කු, බෝම්බ සමග හසුවූ එජාප මන්ත්‍රීට වරෙන්තු

    සිය නිවසේ නීතිවිරෝධී ලෙස ගිනිඅවි තොගයක් ගබඩා කරගෙන සිටි බවට චෝදනා ලැබ සිටින පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වලිමුනි ශාන්ත සිසිර කුමාර අබේසේකර අත්අඩංගුවට ගැනීමට හලාවත මහාධිකරණ විනිසුරු එම්.සී.බී.එස්.මොරායස් ඊයේ (22) වරෙන්තුවක් නිකුත් කළා.

    2004 මැයි මස 30 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී නිසි බලපත්‍රයක් හෝ වෙනත් කිසිදු ලියවිල්ලක් නොමැතිව ගිනි අවි කිහිපයක් සහ ඒවාට යොදන උණ්ඩ තොගයක් හා ජීව අත්බෝම්බයක් තම නිවසේ තබාගැනීමේ චෝදනාව මත සැකකරු ඇතුළු හයදෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.

    හලාවත පොලීසිය විසින් මෙම ආයුධ තොගය සමග සැකකාර මන්ත්‍රීවරයා ඇතුළු හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණත් ඉන් පස්දෙනෙකු වරද පිළිගත් නමුත් සැකාකර මන්ත්‍රීවරයා තමන් නිවැරදිකරු බව පැවසීම නිසා ඔහුට එරෙහිව නඩු විභාගයට නියම කර තිබෙනවා.

  • අධිකරණ ඇමතිනි තලතා ඇමතිකම් අතහරින්න සූදානම්

    අධිකරණ ඇමතිනි තලතා ඇමතිකම් අතහරින්න සූදානම්

    අවශ්‍යතාවක් මතුවුවහොත් අධිකරණ අමාත්‍යාංශයෙන් තමන් ඉවත්වීමට සූදානම් බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට තමා දැනුම් දුන් බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.

    විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කොන්ත‍්‍රාත් පදනම මත සේවය කළ නිලධාරීන්ට ස්ථිර පත්වීම් ලබාදීමේ අවස්ථාවට එම කාර්යාංශයේදී එක් වෙමින් අමාත්‍යවරිය මෙසේ පවසා සිටියාය.

  • මහරගම පාලනය මාමයිට් බඩල්ගමට? මැතිවරණ සභාපති කියන කතාව

    මහරගම පාලනය මාමයිට් බඩල්ගමට? මැතිවරණ සභාපති කියන කතාව

    මහරගම නගර සභාව ජයග‍්‍රහණය කළ ස්වාධීන කණ්ඩායමේ අපේක්ෂකයින්ගේ පදිංචිය සම්බන්ධයෙන්, අද (22) පැවති මාධ්‍ය හමුවේදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගෙන් ප්‍රශ්න කළා. ස්වාධීන කණ්ඩායම් වලට තරග කර ජය ගත් අපේක්ෂකයින් අදාළ ප‍්‍රාදේශීය බල ප‍්‍රදේශයේ තාවකාලික පදිංචිය අධිකරණය හමුවේ තහවුරු කිරීමට හැකිනම් ඔවුන්ගේ මන්තී‍්‍රධුරයට ගැටළුවක් නොවන බවයි මෙහිදී ප‍්‍රකාශ කළේ.

    මහරගම නගර සභාවේ බහුතර බලය හිමිකරගත් ස්වාධීන කණ්ඩායමේ බහුතර සභික පිරිසකගේ ලිපිනයන් ලෙස සටහන්ව තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ බඩල්ගම, මාමයිට් ජනපදයේ ලිපිනයන්ය.

  • දිවයිනට කැඳවූ බි‍්‍රගේඩියර් ප්‍රියන්තට බ්‍රිතාන්‍යයේ ශී‍්‍ර ලංකා මහකොමසාරිස්ධුරය

    දිවයිනට කැඳවූ බි‍්‍රගේඩියර් ප්‍රියන්තට බ්‍රිතාන්‍යයේ ශී‍්‍ර ලංකා මහකොමසාරිස්ධුරය

    දිවයිනට කැඳවූ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු (23) දිනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණිම ඒ, අමාත්‍යාංශයෙන් කරන ලද කැදවීමකට අනුවයි. ඒහිදී  මතභේදාත්මක සිද්ධිය සම්බන්ධයෙන් වූ කරුණු සාකච්ඡා කිරිමක් සිදු වූ අතර විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරන්නේ ප්‍රියංක ප්‍රනාන්දු හට බ්‍රිතාන්‍යයේ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස්ධුරය ලබාදීමේ සුදානමක් ඇති බවයි.
    ඔහු මහා කොමසාරිස්  කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශකවරයෙකු ලෙස සිය රාජකාරී ආරම්භ කරන්නේ 2017 වසරේ මැයි මස 08වනදායි. එතැන් සිට මේ දක්වා ඔහු එම ධුරයේ අඛණ්ඩව රාජකාරී සිදු කළා.

     

  • ලංකාවේ නිතිය හෑල්ලුවට ලක්කළ උදයංගට ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදන

    ලංකාවේ නිතිය හෑල්ලුවට ලක්කළ උදයංගට ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදන

    රුසියාවේ හිටපු ශී‍්‍ර ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදනයක් නිකුත් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. 2006 වසරේ ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිළදී ගැනීමේදී සිදුව ඇති මූල්‍ය අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙනුයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ. එය පාදක කර ගනිමින් කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයද සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා විවෘත වරෙන්තුවක් නිකුත් කළා. එය ජාත්‍යන්තර පොලීසිය මගින් කි‍්‍රයාත්මක කිරීමට කළ ඉල්ලීමට අනුව ජාත්‍යන්තර පොලිස් මූලස්ථානය විසින් නිල නිවේදනයක්ද පසුව රතු නිවේදනයක්ද නිකුත් කර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

    පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ මෙසේ තිබියදී උදයංග වීරතුංග සමාජ ජාලා වෙබ් අඩවි මගින් විවිධ මාධ්‍ය නිවේදන නිකුත් කරමින් මෙරට යුක්තිය පසිදලීමේ කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් වැරදි ප‍්‍රතිරූපයක් ඇති කිරීමේ උත්සාහයක නිරත වන බවයි. ඔහු කළ යුත්තේ අධිකරණය වෙත ඉදිරිපත් වී තම නිර්දෝශීභාවය ඔප්පු කිරීම බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවා.

    විමර්ශන කිරීම සදහා යුක්රේනයට පැමිණි නිලධාරීන් තමාගෙන් කිසිදු ප‍්‍රකාශයක් ලබානොගත් බව උදයංග වීරතුංග ඉකුත්දා ප‍්‍රකාශ කළා. කෙසේවෙතත් පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ විමර්ශන කණ්ඩායම රාජකාරියේ නියැලෙන අවස්ථාවේ උදයංග වීරතුංග යුක්රේනයේ සිට නොමැති බවයි. එම විමර්ශන කණ්ඩායම් වෙත විදේශ ගතවීමේදී රාජකාරී සදහා සාමාන්‍ය රජයේ නිලධාරියෙකුට කරන ගෙවීම්වලට අමතරව වෙනත් කිසිදු මුදලක් ගෙවා නොමැති බවද මෙහිදී තහවුරු කෙරුණා.