අගමැතිගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුවේ නායකයෝ හමුවෙති

අගමැතිගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුවේ නායකයෝ හමුවෙති
Spread the love

ශ්‍රී ලංකා පොදුජන සන්ධානයේ පක්ෂ නායක රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

කොවිඩ්-19 වසංගතය හමුවේ රජයේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම, 2021 අය-වැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන පනත් කෙටුම්පත් එලෙස ඉදිරිපත් කිරීමට පෙර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් සැකසීම  පිළිබඳව මෙහි දී මූලික අවධානයට ලක් විය.

යුගදනවි බලාගාරය ක්‍රියාත්මක වීමෙන් විදුලි පාරිභෝගිකයන්ට ලැබෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන් ද මෙහි දී අවධානය යොමු විය.

පක්ෂ නායකයන්ගේ අදහස් හා යෝජනා සහිතව පැය දෙකකට ආසන්න කාලයක් මෙම හමුව පැවතිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, මහජන එක්සත් පෙරමුණේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් අමාත්‍ය වාසුදේව නානායක්කාර, ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ, ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ලංකා කම්කරු පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.රාමේෂ්වරන්, එක්සත් මහජන පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් සහ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  වීරසුමන වීරසිංහ මහත්වරු මෙම හමුවට එක්ව සිටියහ.