අපට දෙවැනි මාත්‍රාව දෙන්න ‘ඇස්ට්‍රාසෙනිකා නොලැබුණ හේතු’ නිල වශයෙන් එළියට !

අපට දෙවැනි මාත්‍රාව දෙන්න ‘ඇස්ට්‍රාසෙනිකා නොලැබුණ හේතු’ නිල වශයෙන් එළියට !
Spread the love

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබා දුන් ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව ලබා දීම සදහා අදාළ එන්නත ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි රජය පැවසුව ද ඉන්දියාව විසින් පසුගිය ජනවාරී මස 21 වැනිදා සිට අප්‍රේල් මස 16 වැනිදා වන විට කොවිශීල්ඩ් එන්නත් ලක්ෂ 663.698ක් ලෝකය පුරා බෙදා හැර ඇති බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය විසින් පසුගිය මැයි 29 වැනිදා නිකුත් කළ වාර්තාවක සදහන් වෙයි. https://www.mea.gov.in/vaccine-supply.htm?fbclid=IwAR0aIMdyfoscRW12xedUtCQvDI6CdvSUd3IAjeyIOExG428jIZw-vhHmwDw

එම වාර්තාව අනුව ඉන්දියාව විසින් 2021 වසරේ ජනවාරී 21 වැනිදා (බංග්ලාදේශයට) සිට අප්‍රේල් මස 16 වැනිදා (සිරියාවට) දක්වා අසල්වැසි බංග්ලාදේශය, නේපාලය සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 95කට සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සංවිධාන රැසකට කාණ්ඩ තුනක් යටතේ එන්නත ලබාදී තිබෙනවා. එය පහත දැක්වෙනවා.

  • පරිත්‍යාග, Grant එන්නත් මාත්‍රා ලක්ෂ 107.15
  • වෙළෙද Commercial – එන්නත් මාත්‍රා ලක්ෂ 357.92
  • COVAX – එන්නත් මාත්‍රා ලක්ෂ 198.628
  • එකතුව – 663.698

ඒ අනුව 2021 ජනවාරී 28 වැනිදා පරිත්‍යාග වශයෙන් ශ්‍රී ලංකාවට එන්නත් මාත්‍රා ලක්ෂ 05ක්, පෙබරවාරි 24 වැනිදා ව්‍යාපාරික වශයෙන් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් සහ මාර්තු 06 වැනිදා COVAX වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා ලක්ෂ 2.64ක් වශයෙන් එන්නත් මාත්‍රා ලක්ෂ 12.64ක් ලබාදී තිබෙනවා.

මෙම වාර්තාව අනුව එන්නත් කලින් ඇණවුම් කළ රටවලට ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මස අවසානය දක්වා මුදලට එන්නත් ලබාදීමට ඉන්දියාව කටයුතු කර තිබෙනවා. ඒ අනුව බංග්ලාදේශය එන්නත් ලක්ෂ 70ක්, මියන්මාරය එන්නත් ලක්ෂ 20ක්, නේපාලය ලක්ෂ 10ක්, බ්‍රසීලය ලක්ෂ 40ක් සහ මොරොක්කෝව ලක්ෂ 70ක් ඉන්දියාවෙන් එන්නත් මිලදී ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව පසුගිය පෙබරවාරී මස 24 වැනිදා එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් මිලදී ගත්ත ද ඊට පසුව ශ්‍රී ලංකාව විසින් ඇනවුම් ලබා නොදීම නිසා දෙවැනි මාත්‍රාව ලබා දීමට එන්නත් මිලදී ගැනීමට නොහැකි වූ බව ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ වාර්තාව අනුව පැහැදිලි වෙනවා.

ඊට හේතුව වන්නේ, මාර්තු 02 වැනිදා කැනඩාව (එන්නත් ලක්ෂ 5ක්), මාර්තු 5 වැනිදා මහා බ්‍රිතාන්‍ය (එන්නත් ලක්ෂ 50ක්) මාර්තු 10 ඝනාව, මාර්තු මස 24 වැනිදා සෞදි අරාබිය (එන්නත් ලක්ෂ 15ක්) මාර්තු 10 ඉරානය, මාර්තු 29 වැනිදා මාලදිවයින හා පලස්තීනය යන රටවල් විසින් ඉන්දියාවෙන් එන්නත් මිලදී ගෙන තිබීමයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ විශේෂඥයින් කිහිප දෙනකුම සදහන් කළේ කොවිඩ් වසංගතය ගැන ආණ්ඩුවට තිබූ අධි තක්සේරුව හෝ විවිධ ආයතනික අර්බුද නිසා ඉන්දියාවෙන් එන්නත් ඇනවුම් කිරීම අඛණ්ඩව ප්‍රමාද වීම නිසා එහි දෙවැනි මාත්‍රාව මෙරට ජනතාවට ලබාදීම අර්බුදයට ගිය බවයි.

මෙම වාර්තාව ගැන අප කළ විමසීමකදී අදහස් දැක්වූ සෞඛ්‍ය වෘත්තීය සමිති ප්‍රබලයෙක් සදහන් කළේ, ‘‘ඉන්දියාවට බලපෑ ව්‍යසනකාරී දෙවැනි රැල්ල නිසා අප්‍රේල් 16 වැනිදායි පසු ඔවුන් එන්නත අපනයනය නතර කළා. ඒක අපි දන්නවා. ඒත් අපිට ඇති ප්‍රශ්නය තමයි පෙබරවාරී 24 වැනිදා සිට අප්‍රේල් 16 වැනිදා දක්වා අපේ ආණ්ඩුව තමන්ගේ පුරවැසියන්ට ඉන්දීය එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීමට කිසිම සැලකිල්ලක් නොදැක්වීම. මෙය සතිවලින් ගණන් බැලූ විට සති 08කට ආසන්න කාලයක්. ඒ නිසා ඉන්දීය එන්නත යළි ලබා ගැනීම ගැන ආණ්ඩුව සහ සෞඛ්‍ය අංශ දැන් කියන කතා සම්පූර්ණයෙන් අසත්‍ය බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය විසින් පසුගිය දා නිකුත් කළ වාර්තාව මගින් පැහැදිලිව සනාථ වෙනවා. අපි මේ වාර්තාව ගැන රජයේ ස්ථාවරය ගැන ප්‍රශ්න කරන්න කැමැත්තෙන් සිටිනවා‘‘

මේ ගැන වැඩි තොරතුරු අවශ්‍ය අයට අදාළ සම්පූර්ණ වාර්තාව https://www.mea.gov.in/vaccine-supply.htm?fbclid=IwAR0aIMdyfoscRW12xedUtCQvDI6CdvSUd3IAjeyIOExG428jIZw-vhHmwDw ඔස්සේ පරිශීලනය කළ හැකියි.