‘අපේ ඉරණම තීරණය වෙන්නේ ඉදිරි සති කිහිපයේදී’ – GMOA

‘අපේ ඉරණම තීරණය වෙන්නේ ඉදිරි සති කිහිපයේදී’ – GMOA
Spread the love

‘අපේ ඉරණම තීරණය වන්නේ ඉදිරි සති කිහිපය තුළ බවත් එනිසා සෞඛ්‍ය අංශ, රජය සහ ආරක්ෂක අංශ ලබා දී ඇති උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය විසින් අද (23) කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී කොළඹගේ මහතා මේ බව පැවසුවේය.

මෙහිදී වත්මන් තත්ත්වය ගැන කරුණු පැහැදිලි කළ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා, ‘ ලංකාවේ අපි අතිෂය තීරණාත්මක කඩඉමකට පැමිණ තිබෙනවා. ඉදිරි සති කිහිපය වසංගතය සම්බන්ධයෙන් අතිෂය තීරණත්මයි. අපේ ඉරණම තීරණය වන්නේ ඒ අනුවයි. ඔබ මේ ගැන තැකීමක් නොමැතිව කටයුතු කළහොත් ඉතා භයානක තත්ත්වයක් ඇති වියහැකියි. රජය, සෞඛ්‍ය හා ආරක්ෂක අංශ මෙන්ම ජනතාවද එකාමෙන් මේ මොහොතේ සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව ක්‍රියාකළ යුතුයි.මේ පාර්ශව තුනෙන් කවුරු හෝ ක්‍රියකාරිත්වය අඩු කළොත් එය බරපතළ තත්ත්වයකට ඇදගෙන යාමක් විය හැකියි‘‘

“මේ වන විට ආසාදිතයින් විශාල වශයෙන් වාර්තා වෙනවා. මේ වෙද්දී රෝහල් ධාරිතාවය ඉක්මවා යමින් තිබෙන්නේ. සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉතා අපහසුවෙන් කටයුතු කරන්නේ. එම නිසා මේ තත්ත්වය තේරුම් ගෙන වැඩකරන්න‘‘

මේ වෙද්දී වසංගතයේ දරුණු බව එන්න එන්නම පෙනෙන්න තිබෙනවා. ආසාදිතයින් මෙන්ම මරණ වැඩි වෙලා තියෙනවා. මරණ 40 සීමාව ඉක්මවා යාම කියන්නේ සුළුවෙන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා තමයි සෞඛ්‍ය උපදෙස්  අනුව කටයුතු කරන්න කියන්නේ. විශේෂයෙන් නාගරික ප්‍රදේශවල සිට ග්‍රාමීය ප්‍රදේශ දක්වාම දැන් මෙය පැතිරෙමින් තිබෙනවා. මේ වෙලාවේ විශේෂයෙන් දරුවන් කෙරෙහි වැඩි අවදානයක් යොමුකරන්න. ඒවගේම දරුවන්ගේ මානසික සෞඛ්‍ය ගැන සිතා දවසම රූපවාහිනිය හෝ දුරකථන ඉදිරියේ නොසිට ඵලදායී ලෙස වැඩ කරන්න. මේ වසංගත තත්ත්වයත් එක්ක ආර්ථික අර්බුද, ආහාර අර්බුද වගේ තත්ත්වයන් මතු වෙන්න පුළුවන්. ඒ නිසා කාලය ඵලදායී ලෙස යොදවන්න.“

‘නිසි උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් මෙම වසංගතය පාලනය කරගත හැකියි. ඒ නිසා පවතින දැඩි සංචරණ සීමා අතර දවසකට එය ඉවත් කිරීමෙන් තම තමන්ට අවශ්‍ය පරිදි හැසිරීමට ඉඩක් ලබාදී නොමැති බව ජනතාව වටහා ගත යුතුයි. අත්‍යවශ්‍ය දෙයක් සඳහා පමණක් නිවසින් බැහැරව යන්න ඒ ගියත් දැඩිව සෞඛ්‍ය උපදෙස් පිළිපදන්න වගබලා ගන්න. වගකීම තිබෙන්නේ ඔබ අතේම තමයි.