අවසාන කාලය පැමිණි විට පාලකයින් සාංඝීක දේපොළවලට බැල්ම හෙළනවා- පූජ්‍ය අක්මීමණ දයාරතන හිමි

අවසාන කාලය පැමිණි විට පාලකයින් සාංඝීක දේපොළවලට බැල්ම හෙළනවා- පූජ්‍ය අක්මීමණ දයාරතන හිමි
Spread the love

ජන බලයෙන් පිරිහුණු පාලකයින් තම අවසාන කාලය පැමිණි විට සාංඝීක දේපොළවලට බැල්ම හෙළන බවත් වත්මන් ආණ්ඩුව මෙතරම් ඉක්මනින් එවැනි පරිහානියක් කරා පැමිණෙනු ඇතැයි ජාතික ව්‍යාපාරය කිසිලෙසවත් අපේක්ෂා නොකළ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සිංහල රාවය පක්ෂයේ නායක පූජ්‍ය අක්මීමණ දයාරතන හිමියෝ කියති.

උන්වහන්සේ පැවසුවේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් රුපියල් මිලියන 1500ක් වැය කොට කොළඹ ඩීඑස් සේනානායක විදුහලේ හා යාබද  ශ්‍රී බෞද්ධාලෝක විහාරයට අයත් ඉඩම් කොටසක් රජයට පවරාගෙන වාහන අංගණයක් ගොඩනැගීමට ගත් පියවර සම්බන්ධයෙන් සිංහල රාවය පක්ෂය දැඩි කම්පනයටත් අපේක්ෂාභංගත්වයටත් පත් වූ බවයි.

එම සැලකුම හකුළා ගත් බව නාගරික සංවර්ධන අධිකාරිය පැවසුව ද අනතුර පහව ගොස් නැති බවත් කොළඹ පමණක් නොව නාගරික ප්‍රදේශවල පිහිටි බෞද්ධ සිද්ධස්ථානවලට අලුත් අනතුරක් නිර්මාණය වී ඇති බවත් අක්මීමණ දයාරතන හිමියෝ පැවසූහ.

උන් වහන්සේ මේ බව පැවසුවේ අද (04) සිංහල රාවය පක්ෂ මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීය. මේ සදහා සිංහල රාවය පක්ෂයේ මහ ලේකම් ශාලික පෙරේරා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මෙහිදී පූජ්‍ය අක්මීමණ දයාරතන හිමයෝ මෙසේද පැවසූහ.

‘‘අපි දැක්කා පහුගිය යහපාලන ආණ්ඩුව කාලේදී පමණක් නොවෙයි ඊට පෙරත් බලයේ සිටි පාලකයෝ තමන්ගේ ව්‍යාපාරික මිතුරන් සහ අවස්ථාවාදී නිලධාරීන් සමග කල්ලී ගැසී සාංඝීක දේපොළවලට බැල්ම හෙළන ආකාරය. ඒත් ඒ සියලු දෙනාගේම අවසානය කවුරුත් විශ්වාස නොකළ ආකාරයට අවසාන වුණා. අතැමුන් දේශපාලනයෙන් චුලවෙලා ගියා. නන්නත්තාර වුණා. මහජන බලයෙන් පිරිහෙන, බලයට පත්වීමට ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි පාලයෝ අවසානයේ යන යකා කොරහත් බිදගෙන යනවා වාගේ සාංඝික දේපොළ පවා කොල්ල කාලා තමන්ගේ ගජ මිතුරන් පිනවීමට පියවර ගන්නා නිර්ලජ්ජිත ඉතිහාසයක් අපට තිබෙනවා.

ඒත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා, 99%ක් සිංහල බෞද්ධයින් සහ බෞද්ධ ජාතික ව්‍යාපාරය විසින් බලයට පත් කළ ආණ්ඩුවක්, ජනාධිපතිවරයෙක් යටතේ අපි මෙවැනි පියවරක් කිසිසේත් බලාපොරොත්තු වුණේ නැහැ. අපි බලාපොරොත්තු වුණේ අන්‍යාගමිකයින්, අවස්ථාවාදී දේශපලනඥයින් විසින් විනාශ කරන ලද, කොල්ලකන ලද සිංහල බෞද්ධ උරුමය යළි තහවුරු කරන, සුරක්ෂිත කරන පාලනයක්. ඒකයි සිංහල බෞද්ධයින් ලෙස, ජාතික ව්‍යාපාරය ලෙස අපේ උතුම්ම, එකම අරමුණ වුණේ. අපිට කලු සල්ලි සුදු කරන්න, රාජ්‍ය දේපොළ කොල්ල කන්න, තනතුරු තාන්නමාන්න ගන්න, වරප්‍රසාද ගන්න වුවමනාවක් තිබුණේ නැහැ. අපේ එකම අරමුණ වුණේ සිංහල ජාතික ව්‍යාපාරය දිවිහිමියෙන් රැකගත් සිංහල බෞද්ධ උරුමය රැක ගැනීමයි. එය සුරක්ෂිත කර දියුණු කර අනාගත පරපුරට උරුම කිරීමයි. ඒත් දැන් අපේ ඒ අපේක්ෂාව විනාශ වෙමින් තිබෙනවා.

දැන් ආණ්ඩුවට පවසන්න පුළුවන් අපි ශ්‍රී බෞද්ධාලෝක විහාරයට අයත් ඉඩම අත්පත් කර ගැනීමට ගත් තීරණය ඉවත්කර ගත්තා කියලා. ඒත් ඒක වුණේ ආණ්ඩුවේ අවංක කම නිසා නොවෙයි. සමාජමාධ්‍ය සහ ජාතික ව්‍යාපාරය කළ දැඩි බලපෑම නිසයි. ඒ නිසා අපි ආණ්ඩුවට, විශේෂයෙන් ආණ්ඩුවේ රැකවරණය ලබමින් සිංහල බෞද්ධ උරුමය විනාශ කරන්න මාන බලන සියලුම දෙනාට දැඩි අනතුරු ඇගයීමක් කරනවා. සිංහල බෞද්ධ උරුමයට අති තියන්න ආවොත්, සාංඝීක දේපොළවලට කෑදරකම් කළොත් ඒක බලයේ රස බලන අවසාන මොහොත බව සිතා ගන්න කියලා.

පසුගිය ජනාධිපතිවරණයේදී 69 ලක්ෂයක් සිංහල බෞද්ධයින් ජනාධිපතිවරයාට ඡන්දය දුන්නේ ව්‍යපාරික මාෆියාව පිනවන්න නොවන බව අපි අවධාරණය කරනවා. අපි ඉල්ලන්නේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන, මේ රටේ සිංහල බෞද්ධයින් වඩාත් උනන්දුවෙන් සිටින පොරොන්දු ඉටුකරන්න කියලා. ඒවා ඉටුකරන්න ප්‍රමුඛතාව දෙන්න කියලා. එසේ නොකර, කොළඹ වරාය නගරය වාගේ ජනතා ද්‍රෝහී ව්‍යාපෘති ඉදිරියට ගෙනාවොත් එදා යහපාලන ආණ්ඩුවට, රනිල් – මංගල හවුලට අත් වුණ ඉරණමට වඩා නරක ඉරණමකට වත්මන් පාලකයින්ට මුහුණදීමට සිදුවෙන බව පැහැදිලියි‘‘

නෞකා අනතුරට සම්බන්ධ සියලු දෙනාට කොන්දේසි විරහිතව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – ශාලික පෙරේරා, මහ ලේකම්, සිංහල රාවය

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සිංහල රාවය පක්ෂයේ මහ ලේකම්, ශාලික පෙරේරා මහතා කියා සිටියේ වත්මන් ආණ්ඩුව සිය වගකීම පමණක් නොව වගවීම පවා ඉටු නොකරන රට විනාශයට පත්කරමින් සිටිනු දැකීමට ජාතික ව්‍යාපාරයට දැන් සිදුව තිබෙන බවයි.

ශාලික පෙරේරා මහතා මෙසේද කීවේය,

‘‘අපේ නායක හාමුදුරුවෝ අවධාරණය කළා වාගේ සිංහල බෞද්ධ උරුමය සුරක්ෂිත කිරීම වෙනුවට වත්මන් පාලනය එය අහිමි කිරීමට සැලසුම් කිරීම ගැන මේ රජය බලයට පත් කිරීමට සියලු කැප කිරීම් කළ ජාතික ව්‍යාපාරයේ තරුණ නියෝජනය ලෙස අපි බලවත් කණස්සල්ලට පත්ව සිටිනවා. අපි හිතන්නේ ශ්‍රී බෞද්ධාලෝක විහාරය හරයා ප්‍රකාශයට පත් වුණේ මේ අපේක්ෂාභංගත්වය කියලයි.

මෙහිදී අපි ඉතාම වැදගත් කරුණක් ගැන, මුළු ලෝකයේම පරිසරවේදීන්, පරිසරයට ආදරය කරන මිනිසුන් දැඩිව සැලකිල්මත් වන කරුණක් ගැන සිංහල රාවය පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කරන්න කැමතියි. ඒ තමයි කොළඹ වරාය පෙනි පෙනී මුහුදුබත් වුණ විස ද්‍රව්‍ය පිරවූ නෞකාව  ගැන.

මේ වන විට මේ නෞකාවට රටට ඇතුළු වීමට ඉඩ දුන්නේ කවුද ? කාගේ නියෝගයකට ද යන්න නොවිසදුණු අභිරහසක් වෙලා තිබෙනවා. ඒ වගේම නැව විනාශ වෙන බව පෙනි පෙනී, එසේ වුවහොත් දැවැන්ත පරිසර විනාශයක් සිදුවන බව දැන දැනගත් නිසි පියවර නොගත්තේ ඇයි කියන එක අද පොදු ප්‍රශ්නයක් බවට පත්වෙලා තිබෙනවා.

මීට පෙර ඉතිහාසය පුරාම සිදු වුණ ආකාරයට අද මේ වගකීම භාර ගන්න ඇමැතිවරයෙක්, ආයතන ප්‍රධානියෙක් නැහැ. ඒකියන්නේ මේ සියලු දෙනා, රටත් – ජනතාවත්, ඔවුන් ජීවත්වන පරිසරයත් ආරක්ෂා කරන බවට දිවුරා පොරොන්දු වෙමින් මහජන ඡන්දයෙන් බලයට පත් වුණ ඇමැතිවරුන් වගේම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරියේ දිවුරුම් දුන්, ජනතා මුදලින් වැටුප් ලබන නිලධාරීන් පවා තමන්ගේ වගකීම හා වගවීම පැහැර හැරලා කසාය බීපු ගොළුවන් සේ ඉන්නවා. නැතිනම් කිතුලට නැග්ග මිනිහා වාගේ කතා කියනවා. හිතට එන එන හිතළු කියනවා.

ඒත් මේ කිසිවකින් ජනතාවට යුක්තිය ඉටු වෙන්නේ නැහැ. සිදු වුණ පරිසර විනාශය සමහන් වන්නේ නැහැ. ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන් දැඩිව ඉල්ලා සිටින්නේ මේ සිදුවීමට සම්බන්ධ සියලු දෙනාටම එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ඒසේ නොවුණහොත් ජනතාව තමන්ගේ බලය ක්‍රියාත්මක කළ විට අගතියට පත්වන්නේ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ සමස්ත ආණ්ඩුවයි.

අපි එසේ කියන්නේ පසුගිය යහපාන ආණ්ඩුවට සිදු වුණ දේ ගැන හිතලයි. විල්පත්තුව වනසන විට ඒක ගැන අබමල් රේණුවක තැකීම් නොකළ යහපාලන ආණ්ඩුවට ජනතාව දුන් දඩුවම ගැන වත්මන් ආණ්ඩුවේ පාලකයින් දන්නවා. ඒ නිසා අපි කියන්නේ, අවධාරණය කරන්නේ විස ද්‍රව්‍ය රැගත් නෞකාවට ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වීමට අවසර අනුබල දුන් සියලු පාර්ශ්වයන් කොන්දේසි විරහිතව නීතිය හමුවට ගේන්න. දෙන්න පුළුවන් උපරිම දඩුවම දෙන්න.

අපි දක්කා පසුගිය කාලේ ලංකාවට කුණු කන්ටේනර් සිය ගණනක් ගෙනවා. ඒත් ඒක ගෙනාව කිසිවෙකුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. මීතොටමුල්ල කුණු කන්ද නාය ගිහින් තිස් ගණනක් මැරුණා. ඒකට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. මහ බැංකු බැදුම්කර සිද්ධියට, පාස්කු ප්‍රහාරයට, සීනි බදු වංචාවට සම්බන්ධ වුණ කිසිම කෙනෙකුට මේ දක්වා නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ.

අද ජනතාවට බයක් තිබෙනවා ඉන්දියානු සාගර කලාපයේ සිදු වූ දැවැන්තම පරිසර විනාශයට වගකිව යුතු කිසිවෙකුට නීතිය ක්‍රියාත්මක වන එකක් නැහැ කියලා. ඒකට හේතුව ජනතාව අතීතියෙන් පාඩම් ඉගෙන ගෙන තිබීමයි. අපි කියන්නේ අපිට, ජාතික ව්‍යාපාරයට කැකිල්ලේ තීන්දු අවශ්‍ය නැහැ, අපිට අවශ්‍ය ‘එක රටක් – එක නීතියක්‘ ක්‍රියාත්මක වනු දැකීමටයි. ඒක තමයි මේ ආණ්ඩුව, ජනාධිපතිවරයා බලයට පත් කිරීමට හේතු වුණ ප්‍රධාන ඉල්ලීම. අපි කියන්නේ විස නෞකා අනතුරට සම්බන්ධ සියලු දෙනාට තනතුරු ආදිය බලන්නේ නැතිව නිසි දඩුවම් දෙන්න කියලයි. ඒක තමයි ජාතික ව්‍යාපාරය ලෙස අපි රජයෙන් කරන ප්‍රධාන ඉල්ලීම‘‘

‘ආණ්ඩුවේ ප්‍රබලයින්, නිලධාරීන් කියනවා නෞකාවෙන් සිදු වුණ පරිසර විනාශයට වන්දි ගන්න පුළුවන් කියලා. මේ ප්‍රකාශවලින්ම පේනවා ඔවුන් මොනතරම් නරුමයෝද, වගකීම් පැහැර හරින්නන්ද කියලා. එසේ නම් අපි අහනවා පසුගිය කාලේ ත්‍රිකුණාමලය මුහුදු තීරයේදී අනතුරට පත් වුණ නිව් ඩයමන්ඩ් නැවෙන් ලංකාවට වන්දි කීයක් ලැබුණ ද කියලා.

සමෘද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර කියන්නේ නිවු ඩයමනඩ් නෞකාවේ සිදු වූ හානිය සම්බන්ධයෙන් මෙරටට ලැබී ඇත්තේ රුපියල් මිලියන 454ක් පමණක් බවයි. එම මුදල ලැබී ඇත්තේ ගින්න නිවීම සඳහා ලංකාව දරන ලද වියදම් ආවරණය කරගැනීම සඳහා පමණක් බවයි ඔහු කියන්නේ.

එසේ නම් දැන් තත්ත්වය පැහැදිලියි. මේ කලාපයේ ධීවරයින්ට, මාළු ව්‍යාපාරිකයින් සිදු වුණ විනාශයට වන්දි ලැබෙන්නේ නැහැ. ධීවරයින්ට ලැබුණත් ඒවායේ කුලියට රස්සාව කළ, මාළු විකුණපු මිනිස්සුන්ට කිසිවක් ලැබෙන්නේ නැහැ. මේ විනාශය නිසා මාළු හිගයක් නිර්මාණය වුණ විට එහි මිල ඉහළ යාම නිස පාරිභෝගිකයින්ට සිදුවන හානියට වන්දි ලැබෙන්නේ නැහැ.

අපි පැහැදිලිව කියනවා මේ පූර්වාදර්ශ දැන් නතර කළ යුතුයි. මුහුද රකින්න, පරිසරය රකින්න කියලා රාජ්‍ය වැටුප් ලබන, වරප්‍රසාද ලබන නිලධාරීන් දහස් ගණනක් ඉන්නවා. ඔවුන්ට මේ කිසිම දේකින් අබමල් රේණුවකවත් අගතියක් නැහැ. මාසේ පඩිය, වාහන දීමනාව ලැබෙනවා. ඒ නිසා ඔවුන් ඔවුන්ගේ වගකීමවත්, වගවීමවත් ඉටුකරන්නේ නැහැ. අවසානයේ සියලුම වන්දි සහ හානි ගෙවීමට සිදුවන්නේ ජනතාවටයි. මේ තත්ත්වය වෙනස් කිරීම වෙනුවෙන් සිංහල රාවය පෙරට එනවා. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ වගකීම් විරහිතභාවයට තිත තියන්න කියලා. ඒ වගේම අපි මේ මොහොතේ විපක්ෂයට අනතුරු ඇගයීමක් කරන්න කැමැතියි. බොරදියේ මාළු බාන්න සූදානම් වෙන්න එපා. ඔබලාගේ අතීතය අමතක කරන්න තරම් ජනතාව මෝඩ නැහැ‘‘ යැයි ද ශාලික පෙරේරා මහතා කීවේය.