‘අස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාවට‘ මොකද වෙන්නේ ? පවිත්‍රා අවුල ලිහා ගන්නා හැටි කියා දෙයි

‘අස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාවට‘ මොකද වෙන්නේ ? පවිත්‍රා අවුල ලිහා ගන්නා හැටි කියා දෙයි
Spread the love

කොරෝනා මර්දන  අස්ට්‍රාසෙනිකා එන්නතේ  දෙවෙනි මාත්‍රාව සඳහා ෆයිසර් එන්නත  පාවිච්චි කිරීම සඳහා සෞඛ්‍ය විද්වත් මණ්ඩලයේ සහ බෝවන රෝග පිළිබඳ විද්‍යා  කමිටුවේ නිර්දේශ ඉදිරි දෙසතියේදී ලබා ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (23) පාර්ලිමේන්තුවේදී හෙළි කළාය.

සෞඛ්‍ය ඇමැතිවරිය මෙසේ පැවසූවේ  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොරෝනා පරීක්ෂණ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

අමාත්‍යවරිය මෙසේද පැවසුවාය, ‘‘අස්ට්‍රාසෙනිකා  එන්නත ලබා ගැනීමට නොහැකි වුවහොත් දෙවෙනි මාත්‍රාව ලෙස  ෆයිසර්  එන්නත ලබාදීමට හැකියාව ඇත්දැයි සෞඛ්‍ය විද්වත් මණ්ඩලය සහ බෝවන රෝග පිළිබඳ විද්‍යා  කමිටු කරුණු විමර්ශනය කරමින් සිටිනවා. පළමු මාත්‍රාව ලෙස වෙනත් එන්නත් ලබා ගත් අවස්ථාවලදී ලෝකයේ බොහෝ රටවල් දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර්  එන්නත භාවිතා කරන බවයි අපට වාර්තා වී තිබෙන්නේ. ෆයිසර් එන්නත  එලෙස පාවිච්චි කිරීම සම්බන්ධයෙන් ලෝකයේ බොහෝ රටවලින් සාධනීය ප්‍රතිඵල ලැබී තිබෙනවා.

ඉන්දියාවේ අස්ට්‍රාසෙනිකා එන්නත්  නිෂ්පාදකයා එන්නත්  අපනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමීම නිසා තමයි මෙම ගැටලුකාරී තත්ත්වය උද්ගත වුණේ. ශ්‍රී ලංකාව පමණක් නවෛයි පළමු මාත්‍රාව ලෙස අස්ට්‍රාසෙනිකා එන්නත්  ලබාගත් තවත්  රටවල් බොහොමයක් මේ ගැටළුවට මුහුණදී සිටිනවා. මේ තත්ත්වය තුළ අස්ට්‍රාසෙනිකා  එන්නත ලබා ගැනීමට අපි රාජ්‍ය රාජ්‍යතාන්ත්‍රික වශයෙන් උපරිම උත්සාහයක් ගන්නවා. කොවැක්ස් වැඩපිළිවෙළ යටතේ එම එන්නත් දෙලක්ෂ හැට හතර දහසක් ඉදිරියේදී ලංකාවට ලැබීමට නියමිත තිබෙනවා‘‘ යැයි ද අමාත්‍යවරිය කීවාය.