සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවෙයි

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවෙයි
Spread the love

දේශීය වෙළෙඳපොලේ අසාමාන්‍ය ලෙස සහල් මිල ඉහළ යාම වැළැක්වීම සඳහා පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීම සඳහා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අද (21) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

සහල් සංචිතයක් ලෙස පොන්නි සම්බා මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීම සදහා දේශීය ආනයනකරුවන්ගෙන් ටෙන්ඩර් කැදවන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසනවා.

මේ වන විට වෙළෙද පොළේ නාඩු කිලෝවක මිල රුපියල් 120 – 130ත් අතර ද, සම්බා කිලෝවක මිල රුපියල් 160-170 අතර ද පවතින අතර කීරි සම්බා කිලෝවක මිල රුපියල් 240ක් පමණ වෙනවා. ව්‍යාපාරිකයින් පවසන්නේ මෙම මිල ගණන් ලංකා ඉතිහාසයේ වාර්තාව වූ ඉහළම මිල ගණන් වන බවයි. මේ අතර පොන්නි සම්බා මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණයට ගැන විවිධ අදහස් පළ වෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා අද (21) බදුල්ලේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී විමසා සිටියේ මේ ආනයනය කරන පොන්නි සම්බා සහල් කාබනික ඒවාද ? කියයි.

සමාජ මාධ්‍ය තුළ ද මේ තීරණය ගැන හාස්‍යජනක තත්ත්වයක් දැකගත හැකියි. ‘වාර්තාගත සහල් අස්වැන්නක් ලැබුණ බව කිව්වා. වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් අරගෙන මොල් මාෆියාව පාලනය කරන බව කිව්වා. ඒත් අන්තිමේදී තමන්ගේ ව්‍යාපාරික මාෆියාවට මේ සියල්ල යට වුණා ‘‘යැයි ඔවුන් කියනවා.