ඇත්ත පොල් කට්ටෙන් වහලා කොරෝනා පාලනය කරන්න බැහැ

ඇත්ත පොල් කට්ටෙන් වහලා කොරෝනා පාලනය කරන්න බැහැ
Spread the love

ඇත්ත පොල් කට්ටෙන් වහලා, කොරෝනා පාලනය කළ නොහැකි යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

එම සංගම මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඊයේ නිකුත් කළ ලිපියකට පිළිතරු වශයෙනි.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේ සදහන් වේ.

‘‘ සෞඛ්‍ය ලේකම් වරයා සෞඛ්‍ය කාර්ය මණඩලයේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට තහංචි පනවලා. කොරෝනා වසංගතයේ සැබෑව සහ වසංගත පාලනයේ අඩුපාඩු සැඟවීමට උත්සාහ දරමින් සිටිනවා. අනේකවිධ ගැටළු සහ අවශ්‍යතා රැසක් තිබියදී බිම් මට්ටමේ සිට අතිශය කැපවීමෙන් කටයුතු කරන සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ වුවමණාවන් පිළිබඳ සොයා බැලීම සහ එකී උවමනාවන් සලසා දීම වෙනුවට, අඩුම තරමින් ඒවාට ඇහුම්කන් දීම සඳහා සාකච්චාවක් පවා  සිදු නොකර, මෙවන් තහංචි පැනවීම මඟින් සේවාවේ බරපතල අතෘප්තිකර තත්වයක් ගොඩනැඟීම නොවැළැක්විය හැකිය.

මෙතෙක් කිනම් අඩුපාඩු මධ්‍යයේ වුවද සිය වගකීම නොපිරිහෙලා ඉටු කරමින් සිටින සෞඛ්‍ය කාර්යමණඩලය, පරිපාලනය සමග කෙතරම් ගැටළු පැවතියද, වර්ජන තර්ජනයක් පවා සිදු නොකොට සේවය සැපයීම  “දරමිටිවලට බැඳීමට”  හේතුවක් කරගතහොත්, ඉදිරියේදී සියල්ල පසෙකලා වෘත්තීය ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීමට සිදු වන බවද අවධාරණය කරමු.

අතිශය විශාල වරප්‍රසාද රැසක් ලබමින් මහජන බදු මුදලින් යැපෙන සෞඛ්‍ය පරිපාලනයේ වැරදි පෙන්වා දීම මහජනතාවගේ අයිතියක් බවත්, ඊට නිලධාරීන් වගවියයුතු බවත් අප අවධාරණය කරන අතර, නිවැරදිව වැඩ කරන නිලධාරීන් කිසිසේත්ම ඊට බිය නොවන බවත් පෙන්වා දෙමු.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කළ ලිපිය පහත දැක්වේ.