ඇමතිවරු පාරිභෝගික අධිකාරිය නටවන්න හදද්දී හෘදය සාක්ෂියක් ඇති නිලධාරීන් ඉල්ලා අස්වෙනවා

ඇමතිවරු පාරිභෝගික අධිකාරිය නටවන්න හදද්දී හෘදය සාක්ෂියක් ඇති නිලධාරීන් ඉල්ලා අස්වෙනවා
Spread the love

ඇමතිවරු පාරිභෝගික අධිකාරිය නටවන්න හදද්දී හෘදය සාක්ෂියක් ඇති නිලධාරීන් ඉල්ලා අස්වෙමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි ඔහු මේ බව සඳහන් කළේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (22) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් හදුන්නෙත්ති මහතා,

“පසුගිය කාලයේ රාජ්‍ය ආයතන ගණනාවක ප්‍රධාන නිලධාරීන් ගණනාවක් ඉල්ලා අස්වුණා. තවත් පිරිසක් ආණ්ඩුව විසින් හේතු නොදක්වා ඉවත් කරනු ලැබුවා. අද වනවිට පාරිභෝගික කටයුතු අධිකාරියේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා ඉල්ලා අස්වී තිබෙනවා. පාරිභෝගික කටයුතු අධිකාරිය කියන්නේ මෑත කාලීනව සහල් මෝල් වටලෑම, සතොස සුදුළුෑණු වංචාව, අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩිවීම වැනි කාරණාවලදී වැඩි මැදිහත්වීමක් කළ ආයතනයක්.

මේ ආණ්ඩුව රජයේ තනතුරුවලට පත්වීම් ලබා දෙද්දී දේශපාලන මැදිහත්වීම්වලින් තොරව කරගෙන යාමට දෙන බවත් සුදුසුකම් අනුව, විද්‍යාත්මක ක්‍රමවේද අනුව තනතුරු ලබා දෙන බව කිවුවා. නමුත් ඒ ආයතනවලට සිදුවූ දේශපාලන මැදිහත්වීම් නිසා නිලධාරීන් ගණනාවකගේ ඉල්ලා අස්වීම සිදුවුණා. සුසන්ත රත්නායක මහතා ආයෝජන මණ්ඩල සභාපති ධුරයෙන්, මහින්ද විදානපතිරණ මහතා කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයෙනුත්, ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති ධුරයෙනුත්, ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙනුත්, නාලක කළුවැව මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙනුත්, අනිල් කොස්වත්ත මහතා ලිට්‍රො සමාගමේ සභාපති ධුරයෙනුත්, ආචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා මහ බැංකු අධිපති ධුරයෙනුත්, රේණුක පෙරේරා මහතා නිවාස අධිකාරියේ සභාපති ධුරයෙනුත් ආදී වශයෙන් නිලධාරීන් ගණනාවක් ඉල්ලා අස්වුණා. විශේෂඥ වෛද්‍යවරුන් කොවිඞ් කමිටුවලින් ඉල්ලා අස්වුණා. තානාපතිවරුන් ඉල්ලා අස්වුණා.

දැන් අද දිනයේ තුෂාන් ගුණවර්ධන මහතා පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා ලිපිය භාර දී තිබෙනවා. ආණ්ඩුව තමන්ට අවශ්‍ය ලෙස මේ ආයතන නටවන්න හදද්දී ඊට එරෙහි වන නිලධාරීන් තමන්ගේ හෘදය සාක්ෂියට අනුව වැඩ කිරීමට නොහැකි නිසා ඉල්ලා අස්වී යනවා. මෙවැනි අස්වී යන නිලධාරීන්ගේ සිත් වේදනාව හිටපු මහ බැංකු අධිපතිතුමා වැනි කෙනෙකුගේ ප්‍රකාශවලින් අපට දැනගන්න ලැබුණා. විශේෂයෙන් තුෂාන් ගුණවර්ධන මහතාට ඉල්ලා අස්වීමට සිදු වන්නේ සතොස වංචාව හෙළිදරව් කිරීම සහ කිරිපිටි, තිරිඟු පිටි හා සිමෙන්ති මිල වැඩි කිරීමේ ගිවිසුම්වලට අදාළ ඔහුගේ විරෝධය නිසයි.

පසුගිය කාලයේ රේගුවේ සිරවී ඇති භාණ්ඩ ආනයනය කරන ලද මිලට නිදහස් කර ගෙන සතොසට ලබා ගැනීමේ තීරණයක් ගනු ලැබුවා. ඒ අනුව රේගුවේ සුදුළුෑණු කිලෝග්‍රෑම් 54,860ක් සතොස මගින් නිදහස් කරගත්තා. ඒ කිලෝ එකක් රු. 117ක මුදලකටයි. එය වෙළඳපොළේ තොග මිල ලෙස රු. 445ක් පමණ මුදලකට අලෙවි කළ හැකිව තිබුණා. කිලොවක සිල්ලර මිල 540ක් වුණා. නමුත් මෙම සුදුළුෑණු තොගය සතොස ඉහළ නිලධාරීන්ගේ අනුදැනුම යටතේ සතොස ලියාපදිංචි සුදුළුෑණු සැපයුම්කරුවෙකුටම කිලෝවක් රු. 135ක් වැනි අඩු මුදලකට වැලිසර සතොස ගබඩාවෙන් හොර රහසේ විකුණා තිබෙනවා. ඔවුන්ට එය නැවත සතොසටම විකිණීමට හැකියි. මෙම සිදුවීම පාරිභෝගික කටයුතු අධිකාරියට වාර්තා වීමෙන් පසුව අද ඉල්ලා අස්වන විධායක අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය ඇතිව කණ්ඩායමක් ගොස් මෙම වංචාව හසුකර ගත්තා. ඔවුන් පසුගිය 09වැනිදා ලබා ගත් වැලිසර ගබඩාවේ ලොග් සටහන් අනුව මේ ගනුදෙනුව රාත්‍රියේ සිදුවී ඇති ආකාරය සොයා ගත්තා.

රේගුවෙන් ලබා ගත් උඳුවලටත් සිදු වූයේ මෙම වංචාවමයි. උඳු කිලෝග්‍රෑම් 13,975ක් සතොස විසින් ලබා ගත්තා. මේ වන විට උඳු කිලෝවක සිල්ලර මිල 1100යි. නමුත් සතොස ඒවා ලබා ගත්තේ කිලෝවක් රු. 300ටයි. ඒ සඳහා වැය වුණේ රු. 41,92,500ක මුදලක්. සතොස මෙය ලක්ෂ 1,53,72,500කට මිල කළා. එය සතොස වෙළඳසල් මගින් විකිණීමට අදහස් කළා. ඒත් ඒවා වෙන සමාගම්වලට විකුණුවේ කිලෝව රු. 425ටයි. එයින් කිලෝවකින් ලාභ තිබුණේ රු. 125යි. නමුත් එමගින් සතොසට හැම කිලෝ එකකින්ම රු. 675ක පාඩු වුණා. ඒවා විකුණා තිබුණේත් සතොස සැපයුම්කරුවන්ටමයි. මේ අහිමි වූ රු. 94,33,125ක මුදල සතොසටත් පාරිභෝගිකයාටත් නැතිවුණා. ඒ මුදල ගියේ සමාගම්වලටයි. එයින් ජනතාවට සහන දෙන්න තිබුණා. අත්‍යාවශය භාණ්ඩ සාධාරණ මිලකට හිඟයකින් තොරව දෙන බව කියමින් සිදු කර තිබෙන්නේ යාළු මිත්‍රයින් අතරේ බෙදා ගැනීමයි. මේ සියලු කූට ගනුදෙනුවලදී පෙනෙන්නේ මේ තත්වයයි. එදා සීනි ගනුදෙනුවේදීත් සිදු වූයේ මෙයයි. රටේ අර්බුදයක් නිර්මාණය වන විට ඒ මැද පිනුම් ගහන ජාවාරම්කාර වළල්ලක් හැදෙනවා. ඒ ජාවාරම්කාර වළල්ල දේශපාලකයින්, ඇමතිවරුන් සමග එකතු වී ජනතාවට ලැබිය යුතුව තිබෙන සහන අතරමැදින් කොල්ලකනවා. මෙවැනි වංචාවලට එරෙහි වන, හෘදය සාක්ෂියක් ඇති නිලධාරීන්ට එළියට බැසීමට සිදු වී තිබෙනවා. අද ආණ්ඩුව ඉන්නේ කුමන පැත්තේදැයි අප අසන්නට සිදුවනවා.

තවත් සිදුවීමක් වන්නේ ආණ්ඩුව, පාරිභෝගික අධිකාරිය සහ සමාගම් අතර කිරිපිටි, තිරිඟු පිටි හා සිමෙන්ති නිෂ්පාදනවල මිල වැඩි කිරීමේ ගිවිසුම්වලට යාමට උත්සාහ කරමින් සිටීමයි. මේ යෝජනාව පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට පැමිණි අවස්ථාවේ භාණ්ඩාගාරයේ නියෝජිතයාත් අද ඉල්ලා අස්වූ තුෂාන් ගුණවර්ධන මහතාත් විරෝධය පළ කළා. පාරිභෝගික අධිකාරියේ බලතල අනුව සමාගම් සමග තනි තනි ගිවිසුම්වලට යාමේ අවශ්‍යතාවක් නොමැති බව ඔවුන් පෙන්වා දී තිබුණා. මිල වැඩි කිරීම සඳහා සමාගම්වලින් යෝජනා ඉදිරිපත් වූ විට දෙපාර්ශ්වය සාකච්ඡා කර එකඟතාවන්ට එළඹී තිබුණා. කොන්දේසි පැනවීමේ බලය පාරිභෝගික අධිකාරියට තිබුණා. පාරිභෝගික අධිකාරිය සිටියේ පාරිභෝගිකයාගේ පැත්තෙනුයි.

නමුත් අද පාරිභෝගික අධිකාරිය පෙනී සිටින්නට යන්නේ සමාගම් වෙනුවෙනුයි. වෙළඳ මාෆියාව තොග සීමා කර, භාණ්ඩ හිඟයක් නිර්මාණය කර, විදේශ විනිමය අර්බුදය පෙන්වා මිල ඉහළ දාන්න අවසර ඉල්ලනවා. අද පාරිභෝගික අධිකාරිය තමන්ට පනතෙන් තිබෙන බලතල ගිවිසුම් අත්සන් කර තමන් විසින්ම අහිමි කර ගන්න හදනවා. නිලධාරීන් විරෝධය පළ කර තිබෙන්නේ එම තත්වයටයි. මේ ගිවිසුම් ගතවීම් සඳහා තීරණය කළේ කවුද? ඇමතිවරයා සිටින්නේ පාරිභෝගියා පැත්තෙද? නැත්නම් සමාගම් පැත්තෙද? ඔහු මේවාට මැදිහත් වුණාද නැද්ද ඔහු රටට කිව යුතුයි. අද ඇමතිවරු මේ නියාමන ආයතන නටවන්න හදනවා.

ආනයනය සීමා කළ භාණ්ඩ සියල්ල සතොස මගින් ලබා දිය හැකි බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පහුගිය දවසක කිවුවා. රෙදිත් දෙන්න පුළුවන් කිවුවා. යට ඇදුම් දෙන්න කතා කරපු අය සුදුළුෑණු බිකටත් වැඬේ දෙන්න හදනවා. ඔවුන් දන්නේ ඇත්ත ප්‍රශ්නෙ යට ගහන්න මැජික් පෙන්නන්නයි. නමුත් ඇත්ත ප්‍රශ්න අළු යට ඇති ගිනි වගේ මතු වෙනවා. අද ආණ්ඩුව විවිධ ස්වරූපයෙන් ජනතාව පීඩාවට පත් කර තිබෙනවා. අපි දකින්නේ ඒවායේ ප්‍රතිඵලයි.

අද නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කරගෙන යාමට නොහැකි වී තිබෙනවා. ජනතාව රාජපක්ෂ ආණ්ඩුව බලයට ගෙන ඒමේදී ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන බව කීවා. නමුත් අද ආණ්ඩුව ඒවාට පයින් ගසා තිබෙනවා. ජනතාව වසංගතයකින් පීඩා විඳින මොහොතක, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යමින් ඇති අවස්ථාවක ඒවා නියාමනය කරන ආයතනවල මෙවැනි තත්වයක් නිර්මාණය වීම අතිශය ඛේදජනක තත්වයක් වනවා. ඊට ආණ්ඩුව සහ ඇමතිවරුන් සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. මේවා හුදකලා සිදුවීම් ලෙස නොදැක ඊට එරෙහිව තමන්ගේ අදහස් පළ කිරීමට පෙර එන ලෙස ජනතාවගෙන් ඉල්ලනවා.”