ඇමති ගම්මන්පිලගෙන් යළිත් ‘සාගර කාරියවසම්ට‘ ප්‍රති ප්‍රහාරයක්

ඇමති ගම්මන්පිලගෙන් යළිත් ‘සාගර කාරියවසම්ට‘ ප්‍රති ප්‍රහාරයක්
Spread the love

ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන විෂය භාර ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු බවට නිකුත් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගැනීමට හෝ ඒ සම්බන්ධයෙන් කණගාටුව පළකිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා කටයුතු නොකරන්නේ නම් පාළු ගෙයි වළං බිඳීම නවතා තමා සමඟ විවාදයකට පැමිණෙන ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සාගර කාරියවසම් මහතාට අභියෝග කරයි.

ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ බලශක්ති අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (17) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ගම්මන්පිල මහතා, ‘‘මම සාගර කාරියවසම් මන්ත්‍රීතුමාට විකල්ප තුනක් ලබා දුන්නා. එක ඔහු තමා කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීම, දෙක ඒ සම්බන්ධව කනගාටුව ප්‍රකාශ කිරීම. තුන, ඒ දෙකම නොකරන්නේ නම් කළ චෝදනා ඔප්පු කිරීම සඳහා ප්‍රසිද්ධ විවාදයකට පැමිණීම. තව දුරටත් සාගර කාරියවසම් මහතා තමන්ගේ මුල් ස්ථාවරයේම සිටිනවා නම්, බලශක්ති අර්බුදයට වගකිවයුත්තේ විෂයභාර ඇමැතිවරයා බව සිතනවා නම් කළ යුත්තේ තැන තැන කටමැත දොඩ වන්නේ ද නැතිව මහත්වරුන් දෙදෙනෙක් වාගේ ප්‍රසිද්ධ විවාදයක් කර රටේ ජනතාවට සත්‍ය තේරුම් ගැනීමට අවස්ථාව ලබාදීමයි. එහෙම කළොත් බලශක්ති අර්බුදය ඇතිවූයේ කෙසේද ? එයට ගම්මන්පිලගේ දායකත්වය කුමක්ද යන්න එහිදී ජනතාවට වටහා ගත හැකි වේවි‘ යැයි ද ගම්මන්පිල මහතා කීවේය.