ඇමති සජිත් නිම නොකළ නිවාස හදන්න රජයෙන් මුදල් ඉල්ලයි.. වැඩියෙන් හැදූ බව කියන්න මුල් ගල් රැසක් තියලා..

ඇමති සජිත් නිම නොකළ නිවාස හදන්න රජයෙන් මුදල් ඉල්ලයි.. වැඩියෙන් හැදූ බව කියන්න මුල් ගල් රැසක් තියලා..
Spread the love

වත්මන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයා වශයෙන් සිටියදී දිවයින පුරා අවිධිමත් ලෙස වැඩ ආරම්භ කර අවසන් නොකළ ඉදිකිරීම් අතරමඟ නතරවී ඇති නිවාස 44,053ක වැඩ අවසන් කිරීම සඳහා රුපියල් මිලියන 15,244.58 ක මුදල් ප්‍රතිපාදන ලබා දෙන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා රජයෙන් ඉල්ලයි.

මෙම ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව පවසන ඇමතිවරයා එම නිවාසවල ඉදිකිරීම් මේ වසර තුළ අවසන් කිරීමට අපේක්ෂා කරන බවද අවධාරණය කරයි.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස විෂයභාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2015-2019 කාලසීමාව තුළ නිවාස වැඩසටහන් 07ක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කර තිබේ.

ආදර්ශ ගම්මාන වැඩසටහන, විසිරි ණය (ආධාර) වැඩසටහන, ග්‍රාම ශක්ති විසිරි ආධාර, විසිරි ණය වැඩසටහන, විරු සුමිතුරු, වකුගඩු ආධාර, ගංවතුරෙන් හානි වූ උතුරේ නිවාස ඉදිකිරීම මෙම ව්‍යාපෘති 07 වෙයි.

මෙම වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා වෙන්වූ මුදල් ප්‍රතිපාදන සීමාව ඉක්මවා නිවාස ඉදිකිරීමට එවකට නිවාස ඇමතිවරයා වූ සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර ඇත. අවශ්‍ය මුදල් නොමැතිවීම නිසා මෙම නිවාස ඉදිකිරීම තාවකාලිකව නතර කෙරුණු බවද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසන්නේ එක් උදාගම්මාන වැඩසටහනක් සඳහා වෙන් කළ මුදල කොටස් වශයෙන් උදාගම්මාන කිහිපයක් සඳහා වෙන්කිරීම මෙයට හේතුව බවයි.

තමන් අමාත්‍යධූරය දැරූ සමයේදී නිවාස ගම්මාන රැසක් ඉදිකළ බව පෙන්වීමේ අරමුණින් ඔහු මෙලෙස කටයුතු කර ඇති බවද එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙම නිවාස ඉදිකර අවසන් කරන තුරු නව නිවාස ව්‍යාපෘති ආරම්භ නොකිරීමට තීරණය කළ අතර ඒ අනුව මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා ඇත.

ඒ අනුව ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය යටතේ නිවාස 28,537ක්, විසිරි ණය ව්‍යාපෘතිය යටතේ නිවාස 7,063ක්, විසිරි ණය ආධාර ව්‍යාපෘතිය යටතේ නිවාස 1,036ක්, ග්‍රම ශක්ති ව්‍යාපෘතිය යටතේ නිවාස 1,318ක්, විරු සුමිතුරු ආධාර ව්‍යාපෘතිය යට‍තේ නිවාස 53ක්, වකුගඩු ආධාර ව්‍යාපෘතිය යටතේ නිවාස 1,416ක්, ගංවතුර ආධාර ව්‍යාපෘතිය යටතේ නිවාස 4,630ක් වශයෙන් නිවාස 44,053ක වැඩ අවසන් කිරීමට නියමිතය.