ඇමරිකන් පුරවැසියෙක් වන ‘බැසිල් රාජපක්ෂ’ මේ රටේ තෙල් මිල අඩු කරන්නේ කොහොමද ?

ඇමරිකන් පුරවැසියෙක් වන ‘බැසිල් රාජපක්ෂ’ මේ රටේ තෙල් මිල අඩු කරන්නේ කොහොමද ?
Spread the love

”ලන්සයි ජගත් පුෂ්පකුමාරයි කියනවා බැසිල් හිටියනම් වැඩි වෙන්නේ නැහැ කියලා. අඩුම ගානේ මන්ත්‍රීවරයෙක් ලෙස පත්වෙන්න බැසිල් මේ රටේ පුරවැසියෙක්වත් නෙවෙයි. ඇමරිකන් පුරවැසියෙක් මේ රටේ තෙල් මිල අඩු කරන්නේ කොහොමද? ඒ කියන්නේ රටේ ජනාධිපතිගෙන් වැඩක් නැහැ. ගම්මන්පිලට එරෙහිව ලිපි නිකුත් කිරීම පිටිපස්සේ ඉන්නේ බැසිල්. බැසිල් තමන්ගේ ඉත්තෝ පාවිච්චි කරලා එක එක ජවනිකා පෙන්නලා ඇත්ත ප්‍රශ්නය යටගහන්න හදනවා” යැයි ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පවසයි.

ආණ්ඩුව තෙල් මිල වැඩි කරමින් ජනතාව මතට දැවැන්ත පීඩනයක් එල්ල කර තිබීම පිළිබඳව අද (17) දින පස්වරුවේ බත්තරමුල්ල පැලවත්ත මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසූවේ තෙල් මිල වැඩිකිරීම පිළිබඳව ඇමතිවරුන් කයිවාරු ගැසීම නවතා තෙල් මත පනවා ඇති බදු අඩු කර ජනතාව මේ විපතින් මුදා ගන්නා ලෙසයි.

එම මාධ්‍ය හමුවේදී ජවිපෙ ප්‍රචාරක ලේකම්වරයා පළකල සම්පූර්ණ අදහස් මෙසේය…

“ආණ්ඩුවේ තෙල් නාටකය සමග ජනතාව පත්වී තිබෙන පීඩාකාරී තත්වය පැහැදිලි කිරීමට බලපොරොත්තු වෙනවා. දැනට අවුරුදු එකහමාරක පමණ කාලය සිට කොරෝනා වසංගතය හේතුවෙන් රටේ ජනතාව මහත් ව්‍යසනයකට පත්ව සිටිනවා. කොවිඩ් තත්වය හේතුවෙන් ආර්ථික සහ සමාජීය වශයෙන් ජනතාව පීඩාවට පත් වෙමින් සිටිනවා. එන්නත් ලබා දීම සම්බන්ධයෙන් ආණ්ඩුවට මුල සිටම නිසි වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. අදටත් නිසි ක්‍රමවේදයක් නැහැ. අපි දන්නවා ඇස්ට්‍රාසෙනිකා එන්තට අදාළව මාත්‍රා දෙකක් ලබා දිය යුතුයි. නමුත් ආණ්ඩුව තමන්ගේ හිතවතුන්ට දේශපාලකයින්ට ඉවක් බවක් නැතිව එන්නත් ලබා දීමට යාම නිසා විශාල පිරිසකට අදටත් එහි දෙවැනි මාත්‍රාව නොලැබී තිබෙනවා. ආණ්ඩුව විවිධ රටවලින් එම එන්නත් ලැබෙන බව කියමින් සිටියත් දෙවැනි එන්නත නොලැබීම නිසා අද ඔවුන් විශාල බියකින් සිටිනවා.

ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය අසාර්ථක වී තිබෙනවා. එමගින් පාසල් යන දරුවන් සහිත විශාල දෙමව්පියන් පිරිසක් අපහසුතාවයට ලක්ව තිබෙනවා. දෙමව්පියන්ගේ දුරකථනයට ඩේටා දමාගෙන දරුවන් අධ්‍යාපනය ලැබීමට උත්සාහ කළත් බොහෝ තැන්වලට ප්‍රමාණවත් සිග්නල් ලැබෙන්නේ නැහැ. දරුවන්ට කඳු මුදුන්වලට, ගස්වලට නැගීමට සිදුව තිබෙනවා. දුරකථන අබලන් වීම නිසාත් දරුවන් කිහිපදෙනෙක් සිටින තැන්වල එකම දුරකථනය බෙදා ගැනීමට සිදුවීම නිසාත් නිවෙස්වල ගැටුම් ඇතිවෙමින් තිබෙනවා. මේ තත්වය තුළ දරුවන් හා දෙමව්පියන් විශාල පීඩාවකට ලක්ව සිටිනවා. අපි උදේ වරුවේ රූපවාහිනී නාලිකා අධ්‍යාපනය සඳහා යොදාගන්නා ලෙස යෝජනා කර තිබුණේ මේ නිසා තමයි. අවුරුදු එකහමාරක් ගත වුණත් ආණ්ඩුව එවැනි තීරණයක් ගැනීමට අසමත් වී තිබෙනවා.

කොරෝනා වසංගතය මැද වේගයෙන් බඩු මිල ඉහළ යමින් තිබෙනවා. රුපියල් 98-100ට දෙන බව කියූ සහල්, ගැසට් ගසා මිල පාලනය කළ බව කියූ සහල් වෙළඳපොළේ සොයා ගැනීමට නැහැ. පාරිභෝගික අධිකාරියේ සභාපති මේජර් ජනරාල් දිසානායක මහතා අද වන විට සොයාගැනීමටවත් නැහැ. වෙළෙන්දන් අල්ලා මට්ටු කරන බවට පුරසාරම් කී කිසිවෙක් අද දකින්න නැහැ. නාඩු කිලෝ එක රු. 125-130යි, රතු කැකුළු සුදු කැකුළු 120-130යි, සම්බා 160-175යි. මිනිස්සුන්ට හාල් මිලදී ගැනීමට නොහැකි තත්වයක් ඇතිවී තිබෙනවා. පොල්තෙල් බෝතලයක් රු.800-900යි. මාළු මිරිස් කිලෝ එක රු. 400යි, බෝංචි කිලෝ එක රු. 240යි. එළවළු මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. ආණ්ඩුව මිල අයාලේ යාමට ඉඩහැර තිබෙනවා. ජනතාව මහත්සේ බැටකෑමට ලක්වී සිටිනවා.

හෙට අනිද්දාට ගෑස් මිලත් වැඩි කරන්න හදනවා. සමාගම් ඉල්ලන නිසා මිල වැඩි කරන්න සිදු වන බව ආණ්ඩුව කියමින් සිටිනවා. ලිට්‍රො ගෑස් සමාගම කියන්නේ රජය සතු සමාගමක්. බන්දුල ගුණවර්ධන ඇමතිවරයා මුදල් ඇමතිවරයා සමග ඒකබද්ධව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණා. ලිට්‍රො ගෑස් සමාගම ගෑස් මෙ.ටො. 01ක් මිලදී ගෙන්නේ ඩො. 137ට නමුත් පෞද්ගලික ලාෆ් සමාගම එම ප්‍රමාණය වෙළඳපොළන් ගන්නේ ඩො. 83ට බව එහි කියා තිබුණා. රජයේ ගෑස් සමාගම වෙළඳපොළන් වැඩි මිලට ගෑස් ගැනීමේ ප්‍රශ්නය විසඳා ගන්නේ නැතිව එය ජනතාව මත පැටවීම වැරදියි. දැන් ගෑස් මිල රු. 700-800කින් වැඩි කරන්න හදනවා.

තෙල් මිල වැඩකිරීමටත් සමග සියලුම භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් ඉහළ යනවා. දැනටමත් බේකරි නිෂ්පාදනවල මිල වැඩි වී තිබෙනවා. ප්ලෙන්ටිය, බත් පැකට් එකේ සිට මිල ඉහළ යනවා. සමස්ත නිෂ්පාදන පිරිවැය වැඩිවීමත් එක්ක ඒවායේ මිල ඉහළ යනවා. තෙල් මිල වැඩි කිරීමේ අවසන් ප්‍රතිඵලය වන්නේ එයයි. දැනටමත් ධීවර ජනතාව මහත් ව්‍යසනයකට මුහුණ දී සිටිනවා. නැව විනාශ වීම නිසා රැකියාව කර ගැනීමට නොහැකිව ඔවුන් පීඩාවට පත්ව සිටියා. ඒ වගේම දැන් ඩීසල් මිල ඉහළයාම නිසා වැඩිම පීඩාවට ලක්ව සිටින්නේ ඔවුනුයි. ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීම සඳහා යන බහුදින යාත්‍රා අවම වශයෙන් වරකට ලීටර් 2500ක් පමණ තෙල් ලබා ගන්නවා. රු. 7කින් ඩීසල් මිල ඉහළ ගිය විට ඔවුන්ට රු. 17,500ක වැඩි වීමක් සිදුවනවා. දවසක ගමනකට සාමාන්‍ය බෝට්ටුවකට ඉන්ධන වියදම රු.600-700ක් වැඩි වී තිබෙනවා. මාළු මිලට මේ වියදම එකතු වෙනවා. අල්ල ගන්න මාළු අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව සිටිනවා.

ආණ්ඩුව ගත් පොහොර ආනයන තහනම පිළිබඳ තීන්දුව සමග ගොවීන් කබලෙන් ලිපට වැටී තිබෙනවා. තමන් වියදම් කර හෝ අස්වැන්න ලබා ගැනීමට ඔවුනට නොහැකි වෙලා. ඔවුන්ට ගොවිතැන එපා වන තත්වයට වැටී තිබෙනවා. පහුගිය දිනවල ඇතිවූ ගංවතුර තත්වය මෙම තත්වය දෙගුණ තෙගුණ කරවා තිබෙනවා. රටම කොරෝනා බිය පමණක් නොව බඩු මිල, අධ්‍යාපන ප්‍රහ්නය, ගංවතුර ගැටලු, පොහොර ගැටලු, පරිසර දූෂණය වැනි තත්වයන් සමග තුන් බියක් නොව අට අනූවක් දෝෂවලට මුහුණ දීමට ජනතාවට සිදුව තිබෙනවා. මෙවැනි මොහොතක ආණ්ඩුව තෙල් මිල ඉහළ දැමීමට පියවර ගත්තා. දැන් ඔවුන් ගිනිකෙළි සංදර්ශන පෙන්වමින් සිටිනවා. 2020 වසරේදී ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉතිහාසයේ කවරදාකටත් වඩා අඩු වුණා. එය ඍණ අගයක් සටහන් කළා. 2020 මහ බැංකු වාර්තාවේ 80 වැනි පිටුවේ 2020 අප්‍රේල් මාසයේ එක්සත් ජනපද තෙල් වෙළඳපොළේ එය ඍණ 37.63ක අගයක් සටහන් කළ බව සඳහන් වනවා. ඒ අඩුවීමේ ලාභය ආණ්ඩුව ජනතාවට ලබා දුන්නේ නැහැ. ඒ අඩුවීමේ වාසිය එකතු කර අරමුදලක් හදා ලෝක වෙළඳපොළේ තෙල් මිල වැඩි වූ අවස්ථාවක තෙල් මිල ස්ථායීව පවත්වා ගන්නා බව ආණ්ඩුව කිවුවා. මේ අරමුදලට කෝටි 20,000ක් එන බව ඔවුන් කිවුවා. ඒ නිසා කවදාවත් මිල වැඩි කිරීමට සිදු නොවන බවට සපථ කර කිවුවා.

වෙළඳපොළේ පහළ ගොස් ඇති මිල ගණන්වල ප්‍රතිලාභ ලබමින් කෝටි 20,000ක අරමුදල් පිහිටවනු ලැබූ බව මහ බැංකු වාර්තාවේ 25වැනි පිටුවේ පැහැදිලිව සඳහන් කරනවා. නමුත් ගම්මන්පිල ඛනිජ තෙල් ඇමතිවරයා එවැනි ස්ථායීකරණ අරමුදලක් පිහිට වූයේ නැතැයි කියනවා. එය ජනතාව රැවටීම සඳහා කියන ලද සම්‍යප්‍රලාපයක් බව කියනවා. එවැනි අරමුදලක් පිහිට වූ බව සත්‍යයක්. මහ බැංකු වාර්තාවේ 83වැනි පිටුවේ ඛනිජ තෙල් සංස්ථාව රු. කෝටි 3300ක මෙහෙයුම් ලාභයක් ලැබූ බව කියනවා. එසේම මිල ස්ථායීකරණ අරමුදලේ රු. කෝටි 6920ක මුදලක් එකතු වූ බවත් එයින් කෝටි 480ක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට තිබූ ණය පියවූ බවත් තවත් කෝටි 2100ක් මහ බැංකුවේ බැඳුම්කර ණය පියවීමට යොදා ගත් බවත් 82වැනි පිටුවේ සඳහන් කරනවා. නමුත් ඇමතිවරයා එවැනි අරමුදලක් නැති බව කියනවා. මේ අරමුදල හැදුවේ විදුලි බල මණ්ඩලයෙන් ලැබිය යුතු ණය පියවන්න නෙමෙයි. භාණ්ඩාගාර බිල්පත් ගෙවන්නත් නෙමෙයි. ලෝක වෙළපොළේ තෙල් මිල ඉහළ ගියාම ඊට අනුව මිල වැඩි නොකර මිල ස්ථාවරව පවත්වා ගන්නයි. දැන් කර තිබෙන්නේ මේ රටේ ජනතාව අමු අමුවේ රැවටීමට ලක්කිරීමයි. ආණ්ඩුව ජනතාවට කියා ඇත්තේ අතේ පත්තු වෙන බොරුවක්. ජනතාව රවටා අඩු වූ තෙල් මිලේ වාසියත් අරගෙන වැඩි වූ විට එයත් ජනතාව කරපිට දමා තිබෙනවා.

අවශ්‍ය නම් ආණ්ඩුවට තෙල් මිල අඩු කළ හැකියි. ඛනිජ තෙල් සංස්ථාව සකස් කළ මිල වාර්තාව අනුව පෙට්‍රල් 92 ගොඩබාන මිල රු. 92.70යි. ඒ මත ආණ්ඩුව රු. 39.33ක බද්දක් ගහනවා. පෙට්‍රල් 95 ලීටරයක් ගොඩබාන මිල 99.79යි. ආණ්ඩුව ඒ මත රු. 60.48ක ඍජු බද්දක් ගහනවා. ලංකා ඔටෝ ඩීසල් මත රුපියල් 7ක බද්දක් ගහනවා. සුපර් ඩීසල්වලට රු. 35.20ක බද්දක් ගහනවා. තෙල් මිල අඩු කළ නොහැකි බවට ආණ්ඩුව කියන කථාව පිළිගත නොහැකියි. 2020 වසරේ මිල අඩුවීම නිසා ලබා ගත් ලාභයක් තිබෙනවා, තෙල් සංස්ථාව ලාභ ලබා තිබෙනවා. ස්ථායීකරණ අරමුදලට කෝටි 6000 ගණනක් එකතු වී තිබෙනවා. එසේනම් කළ යුතුව තිබෙන්නේ බද්ද අඩු කිරීමයි. කොරෝනා වසංගතය මධ්‍යයේ දහසකුත් එකක් ප්‍රශ්නවලට මුහුණ දී සිටින ජනතාවට සහනයක් වීම සඳහා ආණ්ඩුවට තමන් අයකරන බදු මුදල් අඩු කළ හැකියි. එසේ කළේනම් පෙට්‍රල් ඩීසල් මිල වැඩි කිරීමට අවශය වන්නේ නැහැ.

ඒ නිසා බොරු සෙල්ලම් දාන්නේ නැතිව, ජනතාව තවත් රැවටීමට ලක් නොකර තෙල් මිල තිබූ තත්වයට අඩු කරන ලෙස අපි ආණ්ඩුවට අවධාරණය කරනවා. තෙල් මිල අඩු කර ජනතාව මේ විපතින් මුදා ගැනීමට කටයුතු කරන්න. ආණ්ඩුවේම ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් කොරෝනා තත්වය මැද තෙල් මිල වැඩි කිරීම අසාධාරණ යැයි තැන්තැන්වල විවිධ ප්‍රකාශ නිකුත් කරනවා නම් ආණ්ඩුවට සරල තීන්දුවකින් මෙය විසඳිය හැකියි. ආණ්ඩුවට බදු අඩු කර මිල පහළ දැමිය හැකියි. ස්ථායීකරණ අරමුදලට මොකද වුණේ කියලා මේ රටේ ජනතාව දැනගන්න කැමතියි. ඒ අනුව දැන් ජනතාවට තෙල් මිල අඩු කර පෙන්වන්න. ජනතාව නාඩගම්වලට රැවටෙන්න සූදානම් නැහැ. ඒ මුල් අවස්ථාවේ කියන ලද බොරු දැන් ආණ්ඩුව ඇතුලෙන්ම එළියට පැමිණ තිබෙනවා.

ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශකවරයෙක්, ජීවන වියදම් කමිටුවේ සාමාජිකයෙක් වෙන ගම්මන්පිල ඇමතිවරයා කියනවා තෙල් ගෙන්වන්න විදියක් නැහැ ඩොලර් හිගයක් කියලා. නමුත් ජනාධිපතිවරයා නිවේදනයක් දාලා කියනවා තෙල් මිල වැඩි කළේ දේශීය ආර්ථිකය නඟාසිටුවන්න කියලා. අපි ජනාධිපතිවරයාට කියනවා ඔබ දන්න ආර්ථික විද්‍යාව අනුව තෙල් මිල වැඩි කළාම දේශීය ආර්ථිකය නගින්නේ කොහොමද කියලා අපිට කියල දෙන්න. රටේ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නා ඉස්කොලේ යන ළමයි ජනාධිපතිගෙ සූත්‍රය ගැන දැනගන්න ආසයි. ජනතාව මේක පැහැදිලි කරගන්න කැමතියි. රටේ ඕනෑම පොඩි ළමයෙක් පවා දන්නවා තෙල් මිල වැඩි කළාම සියලුම බඩුවල මිල වැඩිවෙනවා කියලා. ආර්ථිකය වැටෙනවා කියලා. ඒක තේරෙන්නේ නැති නායකයෙක් තමයි රට පාලනය කරන්නේ.

තවත් සමහරු කියනවා බැසිල් හිටියනම් තෙල් මිල වැඩිවෙන්නේ නැහැ කියලා. කවුද මේ බැසිල්. එයා ජනාධිපතිට අගමැතිට ඉහළින් ඉන්න කෙනෙක්ද? ජනාධිපති අගමැති සහ තවත් කැබිනට් ඇමතිවරු ඉන්න කමිටුවෙන් තමයි වැඩි කරන්න තීරණය ගත්තේ. ලන්සයි ජගත් පුෂ්පකුමාරයි කියනවා බැසිල් හිටියනම් වැඩි වෙන්නේ නැහැ කියලා. අඩුම ගානේ මන්ත්‍රීවරයෙක් ලෙස පත්වෙන්න බැසිල් මේ රටේ පුරවැසියෙක්වත් නෙවෙයි. ඇමරිකන් පුරවැසියෙක් මේ රටේ තෙල් මිල අඩු කරන්නේ කොහොමද? ඒ කියන්නේ රටේ ජනාධිපතිගෙන් වැඩක් නැහැ. ගම්මන්පිලට එරෙහිව ලිපි නිකුත් කිරීම පිටිපස්සේ ඉන්නේ බැසිල්. බැසිල් තමන්ගේ ඉත්තෝ පාවිච්චි කරලා එක එක ජවනිකා පෙන්නලා ඇත්ත ප්‍රශ්නය යටගහන්න හදනවා. බැසිල් දන්නේ නැතුව සාගර කාරියවසම් ලිපි නිකුත් කරයිද? ප්‍රශ්නය වෙන පැත්තකට තල්ලු කරන්න තමයි මේ නාඩගම් පෙන්වන්නේ. මෙතන තීන්දුව ගත්තේ ජනාධිපති අගමැති ඇතුළු ජීවන වියදම් කමිටුව. ඉල්ලා අස්විය යුත්තේ කවුද කියලා පැහැදිලියි. ගම්මන්පිල එක්කෙනෙක් විතරයි. ආණ්ඩුව තමයි තීරණය ගත්තේ. මේ අයට ජනතාව රවට්ටන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ජනතාව අවදිවෙලා ඉන්නේ.

සමගි ජන බලවේගය විශ්වාසභංගයක් ගෙනල්ලා උදය ගම්මන්පිලට එරෙහිව. බැසිල්ගෙ උගුලේ හිරවෙලා. බැසිල්ට ඕන වෙලා තිබුණේ උදයගම්මන්පිලගේ පිටින් මේක යවන්න. සාගර කාරියවසම් දාලා ලියුමක් දැම්මා. දැන් සමගි ජනබලවේගය ලව්වා විශ්වාශභංගයක් දාලා ප්‍රශ්නය එතනට ලඝු කරනවා. අහක ඉන්න පෙත්තප්පු කෙනෙක්ට එරෙහිව විශ්වාශභංගයක් ගෙනල්ලා ආණ්ඩුවට එරෙහි විරෝධය යටගහන්න දෙන්න පුලුවන්ද? දැන් ආණ්ඩුවේම විශ්වාසය භංගවෙලා තියෙන්නේ. ජනතාවගේ අටඅනූවක් දෝෂ භංග කරගැනීමේ අභියෝගයට මුහුණ දීලා ඉන්නේ. ගිනිකෙළි සංදර්ශනවලින් මේවා යටපත් කරන්න දෙන්න බැහැ. ඇත්ත විරෝධය බැසිල්ගෙ උගුලේ අහුවෙන් දෙන්න බැහැ. උදය ගම්මන්පිලට තවත් චෝදනා එල්ල කරනවා ආණ්ඩු පාර්ශ්වයෙන්. ඒ තියෙන්නේ කොමිස් පිළිබඳ ප්‍රශ්නයක්. ආණ්ඩුවේම අය කොමිස් බෙදාගන්න චෝදනා එල්ල කර ගන්න එක ජනතාවගේ ඇත්ත ප්‍රශ්නය හෝ විරෝධය නෙවෙයි. ජනතා විරෝධය තියෙන්නේ මුළු ආණ්ඩුවටමයි.

ඒ නිසා ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණය වහාම හකුළාගන්න ලෙස අපි ආණ්ඩුවට බල කරනවා. ගොවි ජනතාව ධීවර ජනතාව මේ ලක්වෙලා ඉන්න පීඩනයෙන් මුදව ගන්න වහාම තෙල් මිල අඩු කළ යුතුයි. බොරු නාඩගම් පෙන්වන්නේ නැතුව ගිනිකෙළි සංදර්ශන පෙන්වන්න හදන්න එපා. ඇත්ත ජනතා ප්‍රශ්නයට උත්තර දෙන්න. ඒ වගේම කෝටි 20,000 තෙල් මිල ස්ථායිකරණ අරමුදලට වෙච්ච දේ ජනතාවට පැහැදිලි කළ යුතුයි. තෙල්වලට ගහලා තියෙන අසාධාරණ බද්ධ අඩු කරලා ජනතාවට සහන මිලට තෙල් ටික දෙන්න කියලා අපි ආණ්ඩුවට බලකරනවා.

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්…

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා කිව්වා ආණ්ඩුවට ඕන තරම් සල්ලි තියෙනවා කියලා. නාමල් රාජපක්ෂත් කිව්වා ආණ්ඩුවට සල්ලි නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ සල්ලි එලියට දාන්න. අනෙක් පැත්තෙන් කියනවා ආණ්ඩුවේ ආදායම බදුවලින් හොයන්න වෙලා කියලා. ගම්මන්පිල කියනවා ඩොලර් නැහැ තෙල් ගෙන්වන්න කියලා. මේ කතා පරස්පරයි. මහ බැංකු වාර්තාවේ තියෙනවා ඛනිජ තෙල් සංස්ථාව මෙහෙයුම් ලාබයක් ඉපයුවා කියලා. තෙල්වලට ගහපු අධිභාරය නිසා ආණ්ඩුව ලාභ ලැබුවා. ඒ ලාභයෙන් තමයි තෙල් මිල ස්ථායිකරණ අරමුදල හැදුවේ. ඒ මුදල්වලින් විදුලි බල මණ්ඩලයේ ණය ගෙවලා හරියන්නේ නැහැ. මොකද අපේ රටේ ජනතාව විදුලි බිල් ගෙවන්නේ නැතුව ඉන්නේ නැහැ. ණයට විදුලි පාවිච්චි කරලා නැහැ. තෙල් මිල වැඩි කරලා සල්ලි හොයලා විදුලි බල මණ්ඩලයේ ණය ගෙවලා හරියන්නේ නැහැ. විදුලි බල මණ්ඩලය හෝ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු වෙන්න බැහැ. 1980 දශකයේ තෙල් සංස්ථාවට නැව් තුනක් තිබුණා. පොහොර නිෂ්පාදනය කළා. පොලිතින්, තාර, ඉටි පන්දම් ඇතුළු අතුරු නිෂ්පාදනය කළා. තෙල් ආනයන වියදමෙන් 45%ක් අතුරු නිෂ්පාදනවලින් හෙව්වා. ඒ විදියට මේ ආයතනය මෙහෙයවන්න. විදුලි බල මණ්ඩලයත් පාඩු ලබන්නේ ඩීල් නිසා. වැඩි මිලට විදුලිය මිලට ගන්නවා. ඒවා නිවැරදි කරන්න. නිවැරදි වැඩපිළිවෙලක් නැහැ. ලෝක වෙළඳ පොලේ තෙල් මිල සෘණ වුනා. ඒ වෙලාවේ තෙල් ගේන්න ආණ්ඩුවට වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. දුරදක්නා විදියට පාලනය කරල නැහැ. ලාභ ලබපු තෙල් සංස්ථාව පාඩු කළේ කවුද. තෙල් විකුණන අයිඕසී සමාගම ලාභ ලබනවා. දූෂණ නාස්තිය අවධිමත් පාලනය තමයි පාඩු ලබන්න හේතුව. ඒවට උත්තර දුන්නොත් මේ ආයතන ලාබ ලබන්න පුළුවන්.

පිරිපහදු කරන ලද තෙල් වලට ගහන බද්ධ අඩු කළොත් තෙල් ලාබෙට දෙන්න පුළුවන්. බොරතෙල් ගෙනත් අපි පිරිපහදු කළොත් මීට වඩා ලාභදායක ලෙස තෙල් දෙන්න පුළුවන්. පිරිපහදුව ශක්තිමත් කළොත් අතුරු නිෂ්පාදන කරලා ආදායම ගන්න පුළුවන්. තෙල් සංස්ථාව ලාබ ලැබුනේ ආනයනය, ගබඩාකිරීම, පිරිපහදුව සහ බෙදාහැරීම කියන යාන්ත්‍රණය තෙල් සංස්ථාව විසින් මෙහෙයවලා.

දීර්ඝකාලීන වැඩපිළිවෙලවල් කරන්න වෙනවා කියමින් හැමදාම කරන්න ඕන දේ මඟහැරියා. හැම ආණ්ඩුවක්ම කළේ එකම දේ. අපිට තියෙන සම්පත් ටික විකුණලා දැම්මා. ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩියි කියනවා. ඩොලර් එක ඉහළ ගියා කියනවා. එහෙම කියන්න ආණ්ඩුවක් ඕන නෑ කියලා තමයි මේ ආණ්ඩුව බලයට ආවේ. දැන් මේ ආණ්ඩුවත් ඒ ටිකම කියනවා. කරල පෙන්වනවා කියලා තමයි බලයට ආවේ. දැන් කරල පෙන්වන්න. විෂයභාර ඇමති තමන්ගෙ ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත්කරන්න ඕනෑ. ජනාධිපති කිව්වා ඇමතිවරුන් නිරීක්ෂණය කරනවා කියලා. හරියට වැඩ කරන්නේ නැත්නම් ඇමතිකමෙන් ඉවත් කරනවා කිව්වා. දැන් වෙන්නේ තියෙන එකත් විකුණන් පනත් වෙනස් කරන එක.