ඉක්මනින් රට විවෘත නොකළහොත් ‘රටට වෙන දේ ගැන‘ ජනපති කියයි

ඉක්මනින් රට විවෘත නොකළහොත් ‘රටට වෙන දේ ගැන‘ ජනපති කියයි
Spread the love

ඉක්මනින් රට විවෘත නොකළහොත් ආර්ථිකය ඉදිරියට ගෙන යා නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. එන්නත් මිලියන 9ක් මේ මාසයේ රටට ලැබෙන බවත්  මේ තත්ත්වය යටතේ සැප්තැම්බර් මාසය වන විට රට සම්පූර්ණයෙන් විවෘත කළ හැකි බවත් ජනපතිවරයා පැවසීය.

ලොව පුරා රටවල් 112ක සමූපකාර ව්‍යාපාරය ඉතා සාර්ථකව පවත්වාගෙන යන අතර සෑම වසරකම ජූලි මස පළමුවන සෙනසුරාදා “ජාත්‍යන්තර සමූපකාර දිනය” ලෙස නම් කර තිබේ. ඒ නිමිත්තෙන් අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති “99වන ජාත්‍යන්තර සමූපකාර දින” සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ගොවියාටත් පාරිභෝගිකයාටත් සහන සැලසෙන පුළුල් වැඩකොටසක් සමූපකාර ව්‍යාපාරයට කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි. ගොවි නිෂ්පාදන සෘජුව මිලදී ගෙන ලාභයක් ද තබාගනිමින් සහන මිලට පාරිභෝගිකයාට ලබාදීමට සමූපකාරයට මැදිහත් විය හැකි බවයි ජනපතිවරයා සදහන් කළේ.

එමඟින් විවෘත ආර්ථිකය සමඟ කඩා වැටුණු සමූපකාර ව්‍යාපාරය නඟා සිටුවීමටත් ආපදා අවස්ථාවකදී විශාල සමාජයීය කාර්ය භාරයක් ඉටු කිරීමටත් හැකියාව ඇතැයි ජනාධිපතිවරයා පෙන්වා ‍දුන්නේය.

ලෝකයේ රටවල් රැසක නිෂ්පාදන බෙදාහැරීමේ ජනහිතකාමී යාන්ත්‍රණයක් ලෙස සමූපකාරය ක්‍රියාකරයි. පොදු ජන හිතකාමී ආණ්ඩුවක් පැවති සෑම අවස්ථාවකදීම මෙරට සමූපකාර ව්‍යාපාරය ද ශක්තිමත්ව පැවතිණ. ජනතා කේන්ද්‍රීය ආර්ථික දැක්ම තුළ සමූපකාරය ශක්තිමත් කිරීමට “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඉදිරිපත් කළ නව වැදෑරුම් යෝජනාවලිය ක්‍රියාවට නංවන බව ජනාධිපතිවරයා පැවසීය.

රජය සැලසුම් කර ඇති කාබනික පොහොර සහ සූර්ය බලශක්ති වැඩසටහන් සාර්ථකව ජය ගැනීමට සමූපකාරයට පුළුල් දායකත්වයක් ලබාදිය හැකි බව ජනාධිපතිවරයා සඳහන් කළේය.