‘ඉන්දීය ව්‍යසනය දැක දැක අවශ්‍ය තීන්දු නොගැනීමෙන් ආණ්ඩුව රට විශාල අනතුරකට දැම්මා’

‘ඉන්දීය ව්‍යසනය දැක දැක අවශ්‍ය තීන්දු නොගැනීමෙන් ආණ්ඩුව රට විශාල අනතුරකට දැම්මා’
Spread the love

ඉන්දීය ව්‍යසනය දැක දැක අවශ්‍ය තීන්දු නොගැනීමෙන් ආණ්ඩුව රට විශාල අනතුරකට දැම්මා යැයි ජාතික විද්වත් සංවිධානයේ ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා රජයට චෝදනා කරයි.

ජාතික විද්වත් සංවිධානය අද (17) බත්තරමුල්ලේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී අබේසිංහ මහතා මේ බව අවධාරණය කරනු ලැබීය. ජාතික විද්වත් සංවිධානය වෙනුවෙන් මහාචාර්ය චන්දන අබේරත්න, වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සහ නීතිඥ හර්ෂණ නානායක්කාර මෙම මාධ්‍ය හමුවට එක්වී සිටිය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා, ‘‘කොවිඩ් 19 වසංගත තත්වය පිළිබඳවත් මේ වනවිට සමාජයට විශේෂයෙන් බලපාන කරුණු කිහිපයක් පිළිබඳවත් ජාතික විද්වත් සංවිධානය හැටියට අපි දරන අදහස් මා මෙහිදී පැහැදිලි කරන්නම්. ගෝලීය වසංගතය පසුගිය මාස 16ක විතර කාලයකදී පැතිරී යනවා. අපේ රටත් මාස 14ක විතර පැතිරී යමින් තිඛෙනවා. විශේෂයෙන්ම මේ කලාපයේ මාස 2ක පමණ සිට වේගවත් වෙමින් තිඛෙනවා. ඉන්දියාව මේ ව්‍යසනයෙන් ඉතාම බරපතළ තත්වයකට පත්වෙනවා දැක දැකත් අපේ රටෙ කළ යුතුව තිබූ සූදානම් කිරීම් සිදු නොකර මේ වනවිට රට බරපතළ අනතුරකට ඇද දාලා තියෙන්නේ. වසංගතය කළමනාකරණය කිරීම පැත්තෙන් මූලිකව බැලූවාම අදාල තීන්දු-තීරණ ගැනීම ඉතාමත් බරපතළ ලෙස ප්‍රමාදයි. අනික් පැත්තෙන් වසංගතය පාලනය කිරීමේ මූලික වගකීම කා සතුද? මේ වගකීම ගන්නේ කවුද? කියන එක ගැන කිසිම පැහැදිලිකමක් නැහැ. විවිධ අමාත්‍යවරු, විවිධ නිලධාරීන් විවිධ ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශවල ඒකමතියක් පෙන්නේ නැහැ.

මෙය බරපතළ සෞඛ්‍ය ප්‍රශ්නයක්. ඒ නිසා සම්පූර්ණ වගකීම රට තුළ තිඛෙන්නේ සෞඛය අමාත්‍යාංශයට. නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ වගකිව යුතු නිසි බලධාරියා සෞඛ්‍ය සේවා අධ්‍යක‍ෂ ජනරාල්වරයායි. කවුරු තීරණ ගත්තත් අවසන් බලධාරියා වෙන්නේ ඔහු බව සෞඛ්‍ය සේවා අධ්‍යක‍ෂ ජනරාල්වරයා බව අපි මතක් කළ යුතුයි. ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වසංගතයට මුහුණ දීමේදී ගත් තීරණ ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා මැතිවරණයෙන් පරාජය වුණා. බ්‍රසීලයේ ජනාධිපතිටත් සාපරාධී ඝාතන චෝදනා මේ වසංගතය සම්බන්ධයෙන් එල්ල වී තිඛෙනවා. ඉන්දියාවේ මෝදි අගමැතිවරයාට, බ්‍රිතාන්‍යයේ ලන්සට් සඟරාවෙන් කෙලින්ම චෝදනා කර තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳ තීන්දු-තීරණ ගැනීම තීරණාත්මකයි. අපේ රටේ මහජන සෞඛ්‍ය සහ රෝග වැළැක්වීම පිළිබඳව වසංගතවේදය පිළිබඳව ඉතිහාසයේ කීර්තිනාමයක් තිබුණු රටක්. අවම වියදමකින් මහජන සේවාවක් හැටියට සෞඛ්‍යය පවත්වාගෙන ගිය රටක්. මේ වසංගතය පාලනය කිරීමේ විශේෂ වගකීමක් අපි සියලූම දෙනාට මේ වෙලාවේ තියෙනවා.

අපේ රටේ ඉතිහාසයේදී මේ වගේ වසංගතයන් පාලනය කළේ “වසංගත රෝග පාලනය පිළිබඳ උපදේශක කමිටුවකින්”. ඒ උපදේශක කමිටුවේ මෙහෙයවීම මත සෞඛ්‍ය සේවා අධ්‍යක‍ෂ ජනරාල්වරයා කටයුතු කළා. මේ වෙලාවේ ඒ කමිටුව අකර්මණ්‍ය කරලා හෝ අකර්මණ්‍ය වෙලා. ඒ නිසා තව දුරටත් ඒ කමිටුව කෙරෙහි විශ්වාසය තියන්න බැරිවෙනවා. මේ ගොලීය අභියෝගයේ බැරෑරුම්කම ආණ්ඩුව තවමත් තේරුම් අරගෙන නැහැ. ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් පැනවූවා, විශේෂඥ අවබෝධයක් සහිත කණ්ඩායමක් මගින් වසංගතය පාලනය කරන්න ක්‍රියාමාර්ග ගත යුතු බවට. ඒ අනුව නවදිල්ලිය ඒ වෙනකොට ලොක්ඩවුන් කරලා. සිංගප්පූරුව මාසයක් රට ලොක්ඩවුන් කරලා. මේ වෙලාවේ අපේ කලාපය තුළ බී.11 ප්‍රභේදය සහ බී.167 කියන ප්‍රභේදය ව්‍යාප්ත වෙමින් තිබෙනවා. ඒ නිසා අපේ රටට ඉතාමත් තීරණාත්මකයි. මේ වෙනකොට දෛනිකව 2,000කට වැඩි ආසාධිතයින් සහ මරණ 20කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙනවා. දිනකට පී.සී.ආර්. පරීක‍ෂණ 25,000කට සීමා වෙලා නිසා ආසාධිතයින් වැඩිවීම සංඛ්‍යාත්මකව පේන්නේ නැහැ. පී.සී.ආර්. කරන ප්‍රමාණයට සාපේක‍ෂව ආසාධිතයින් හඳුනාගන්නා ප්‍රමාණයේ ප්‍රතිශතය විතරයි ඉදිරියේදී දකින්න ලැබෙන්නේ.

දවසකට එක ආසාධිතයෙක් හඳුනාගන්නකොට ඔහුගේ පවුලේ සහ සමීපතමයන් අනිවාර්යයෙන්ම අඩුම තරමෙන් දෙදෙනෙකුවත් ඉන්න ඕනෑ කියලා හිතන්න පුළුවන්. ඒ අනුව 6,000ක් ඉන්න තැනක හඳුනාගන්නේ 2,000ක් වගේ සංඛ්‍යාවක් පමණයි. මේ අයගෙනුත් 80%ක් රෝග ලක‍ෂණ නොපෙන්වන ආසාධිතයෝ. 15%කට වෛද්‍ය උපදෙස් අවශ්‍ය වෙනවා. ඒ වගේම 5%කට රෝහල්ගත වෙන්න සිදුවෙනවා. ඒ වගේම 1%ක්වත් අඩුම තරමෙන් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කරන්න වෙනවා. මේ දැඩිසත්කාර ඒකක අවශ්‍යතාවය සැලකූවත් දිනකට 60ක් විතර වෙනවා. මේ එක් අයෙක් අඩුම තරමින් දින 10ක්වත් රෝහල් තුළ රැකබලාගන්න වෙනවා. ඒ නිසා ඇතිවෙමින් තිබෙන්නෙ බරපතළ තත්වයක්. රෝහල්වලට ඇතුළත් කර ගන්නා ප්‍රමාණය සීමා වෙලා. ඒ නිසා අපි හැමෝටම බලපාන තීරණාත්මක තත්වයකට රෝහල් පද්ධතියට දරාගන්න බැරි තත්වයක් තියෙන්නේ. මේ වෙලාවේ නිවැරදි පියවර නොගත්තොත් බරපතළ ඛේදවාචකයකට පත්වෙනවා.

අපිට තියෙන එක බලාපොරොත්තුවක් වන්නේ එන්නත්කරණය මගින් රෝගය පාලනය කර ගැනීමයි. වසංගත රෝග විද්‍යාඥවරයෙක් හැටියට අවුරුදු 30කට අධික කාලයක් රාජකාරී කර, අවුරුදු 38ක් මහජන සෞඛ්‍ය සේවයේ යෙදී සිට ලබාගත් අත්දැකීම් අනුව අපි එන්නත් කරන්නේ ඇයි කියන ප්‍රශ්නය අද ඇතිවෙලා තිඛෙනවා. එන්නත් කරන්නේ වසංගතය අවම කර ගන්නද, රෝගීන් අවම කර ගන්නද? එහෙම නැත්නම් වෛරසය තුරන් කරන්නද කියලා කිසි දෙයක් පැහැදිලි නැහැ. රජයේ තීන්දු-තීරණ ගන්නා අය විශේෂඥ කරුණු දැක්වීමක් කරන්නේ නැහැ. ඒ නිසා අපිටත් මේක තේරුම් ගන්න බැහැ. මේ වෙනකොට තියෙන එන්නත් 100%ක් සාර්ථකභාවය ඔප්පු කළ ඒවා නෙවෙයි. එන්නත් වාර දෙක ලබාගත්ත රටවල නැවත ආසාධනය වී මියගිය තත්වයන් වාර්තා වෙනවා. සියලූ ප්‍රශ්න විසඳන එන්නත් අපිට නැහැ. අලූත් එන්නත් සඳහා පර්යේෂණ යුරෝපයේ සිදුකරනවා. මේ අවුරුද්ද අන්තිම වෙනකොටත් අපිට ප්‍රමාණවත් එන්නත් ලබාගන්න වෙන්නේ නැහැ. ධනවත් රටවල් එක්ක තරඟකරලා එන්නත් ලබාගන්න හැකියාවක් අපේ රටට නැහැ. එන්නත්වලින් අප කළ යුත්තේ මරණ සංඛ්‍යාව අවම කිරීම සහ සංකූලතා ඇතිවීම අවම කිරීමයි. අපිට ඒ වැනි ඉලක්කයක් පේන්නේ නැහැ.

රෝගයට වැඩි වශයෙන් නිරාවරණය වන අය එන්නත්වල ප්‍රමුඛතාවය ගත යුතුයි. ඒ වගේම අපනයන ආදායම උපයා දෙන ක්ෂේත්‍රවල අයටත් ප්‍රමුඛතාවය දිය යුතුයි. රට ආර්ථීක වශයෙනුත් සමාජයීය වශයෙනුත් රැකගන්න හැකි වෙන්නේ එහෙම කළොත් විතරයි. ලැබී තිබෙන සුළු එන්නත් ප්‍රමාණය නිසි පරිදි කලමණනාකරණය කරගත යුතුයි. රට තුළ සංචරණ සීමා පනවා ඉක්මනින් පාලනය කරගත යුතුයි. වෛරසයට නිරාවරණය වුණු පුද්ගලයින් සංචරණයේදීම වළක්වන්න ක්‍රියාමාර්ග ගත යුතුයි. අත්‍යාවශ්‍ය සේවාවලට ඉඩ තියාගෙන සංචරණ සීමා සිදුකළ යුතුයි. වෛද්‍ය වෘත්තිකයින් සහ සෞඛ්‍ය අංශයේ සියලූම දෙනා රජයට යෝජනා කරන්නේ සංචරණ සීමාව තුළින් ක්‍රමිකව වසංගතය පාලනය කරන්නයි. නමුත් මෙතෙක් වගේම පමා වෙලා තීන්දු ගත්තොත් රට බරපතළ ඛේදවාචකයට ගොදුරු වෙනවා. අපි සියලූ දෙනාම මේ තීරණාත්මක මොහොතේදී සාමූහිකව කටයුතු කරමින් පෙළගැසෙන්න ඕනෑ. ජාතික විද්වත් සංවිධානය ඒ බව අවධාරණය කරනවා. ශ්‍රී ලංකාව විශාලා නුවරක් බවට පත්වීමට ඉඩ නොදී බේරාගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. හැකි සියලූ දෙනාම නිවෙස්වල රැඳී සිටිමින් තමන්ගෙත් අන් අයගේත් ආරක‍ෂා තහුවරු කරගන්න ඕනෑ.