ඉන්ධන මිල ඉහළට ?

ඉන්ධන මිල ඉහළට ?
Spread the love

2019 සහ 2020 වර්ෂවලට සාපේක්ෂව ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල මේ වනවිට සීඝ්‍රයෙන් ඉහළ යාම පිළිබඳව අද (20) දින පාර්ලිමේන්තුවේ කමිටු ශාලා 08 හි රැස්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ  ප්‍රධානත්වයෙන් පත්කළ අමාත්‍ය අනුකමිටුවේ අවධානය යොමු විය.

භූමිතෙල් සහනාධාරය ප්‍රතිපූර්ණය කිරීම, බොරතෙල් සඳහා වන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බද්ද (PAL) නැවත සකස් කිරීම හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය ගැටලු පිළිබඳව පත් කළ අමාත්‍ය අනුකමිටුවේ තෙවැනි සාකච්ඡාව මෙලෙස පැවැත්විණි.

ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල 2019-2020 වර්ෂ වලට සාපේක්ෂව 2021 වසරේ මේ දක්වා විශාල වශයෙන් ඉහළ යෑම  අවධානය යොමු කරමින් උද්ගතව ඇති තත්ත්වය හමුවේ ජනතා සහන අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව අමාත්‍යවරු මෙහි දී අදහස් පළ කළහ.

විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මේ වන විටත් පියවමින් ඇත්තේ 2019  වර්ෂයට අදාළ ණය මුදල් බව මෙහි දී හෙළිවිය.

පසුගිය වසරේ මුදල් අමාත්‍යංශය මැදිහත්වී ඉන්ධන මිල ස්ථායි කිරීම යටතේ රුපියල් බිලියන 50ක මුදලක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවා ඇතත් තවත් රුපියල් බිලියන 79ක ණය ලැබීමට නියමිතව ඇති බව මෙහි දී අනාවරණය විය. ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දෛනිකව ලබන පාඩුව විශාල වශයෙන් ඉහළ ගොස් ඇත.

ජනතා සහන ලබාදෙමින් විදුලි ඒකකයක් පාරිභෝගික ජනතාවට ලබා දීම වෙනුවෙන් මේ වනවිට ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් 10ක පමණ පාඩුවක් ලබන බව ද නිලධාරීන් පෙන්වා දුන්නේය.