ඉල්ලා අස්වෙන්න ගිය අලි සබ්රිට මොකද වුණේ ?

ඉල්ලා අස්වෙන්න ගිය අලි සබ්රිට මොකද වුණේ ?
Spread the love

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ඉල්ලා අස්වීම ජනපතිවරයා විසින් පිළිනොගත් බව වාර්තා වේ. ඒ ජනපතිවරයා සහ අධිකරණ ඇමතිවරයා අතර පැවති විශේෂ සාකච්ඡාවකින් පසුවය.

එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිධූරයට  ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කිරීමට  විරුද්ධත්වය පළ කරමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා  සිය අමාත්‍ය ධුරයෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන්  ඉල්ලා අස්වන බව  දැනුම්දෙමින්  ඊට අදාළ අස්වීමේ ලිපි දෙකක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ (5) බාර දුන්නේය. මෙම ලිපි භාර දීමෙන් පසු අලි සබ්රි මහතා සහ ජනපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් සිදුව ඇති අතර එහි දී අධිකරණ ඇමතිවරයා විසින් තම ඉවත් වීමට බලපෑ කරුණු ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කර ඇත.

අදාළ පත් කිරීම සම්බන්ධයෙන් තමාට පැහැදීමක් නැති බවත් නීති සකස් කිරීමට  රටේ නිශ්චිත ක්‍රමවේදයක් පවතිද්දී මෙවැනි කාර්යසාධක බලකා මාර්ගයෙන් නීති සකස් කිරීමට යෑම  අනවශ්‍ය ගැටළු මතු වන්නක් බව ඔහු එහිදී ජනපතිවරයාට පෙන්වාදී ඇත. මෙහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය තමා පත්කළේ  තමාට එම  කාරණයට අදාළව උපදෙස් ගැනීමට  විනා අන් දෙයකට  නොවන බවයි. එසේම   නීති සකස් කිරීමේ  කටයුතුවලදී  අනිවාර්යෙන්ම අධිකරණ ඇමැතිවරයාගේ  දායකත්වය ලබා ගන්නා බවද ජනපතිවරයා අධිකරණ ඇමැතිවරයාට සහතික වී ඇත.

ඉහත  පත් කිරීම සම්බන්ධයෙන් සමහරුන් තුළ පවතින්නේ වැරදි අවබෝධයක් බවද වහාම එය නිවැරදි කිරීමට පියවර ගන්නා බවද  ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත්  පවසා ඇත.