ඉහළ අධිකරණවල පුරප්පාඩු රැසක් පුරවයි

ඉහළ අධිකරණවල පුරප්පාඩු රැසක් පුරවයි
Spread the love

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කර තිබූ යෝජනාවට පාර්ලිමේන්තු සභාව සිය එකඟතාවය පළ කළ බව බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද ආබෘ මහතා විශ්‍රාම ගැනීමෙන් ඇති වූ පුරප්පාඩුව සදහා මෙසේ ඔබේසේකර මහතා නම් කොට තිබේ..

මේ අතර ‍අභි‍යාචනාධිකරණ විනිසුරු කේ.පී ප්‍රනාන්දු  මහතා අභි‍යාචනාධිකරණයේ සභාපති ලෙස පත් කිරීම සඳහා එවා තිබූ යෝජනාවට පාර්ලිමේන්තු සභාවේ එකඟතාවය හිමිවූ බවද මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

විනිසුරු කේ.පී ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයේ සභාපති ලෙස  පත් කිරීම නිසා ඇතිවන අභියාචනාධිකරණ විනිසුරු ධුරයේ පුරප්පාඩුව සදහා  මහාධිකරණ විනිසුරු සසි මහේන්ද්‍රන් මහතා පත් කිරීමට ද පාර්ලිමේන්තු සභාව එකඟ වූ බව ද මහලේකම්වරයා පැවසීය.

එයට අමතරව හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද ආබෘ මහතා විශ්‍රාම ගැනීමෙන් ඇති වූ අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරයේ  පුරප්පාඩුව සදහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී දෙහිදෙණිය මහතා  පත් කිරීමට ද පාර්ලිමේන්තු සභාව සිය එකගත්වය පළකොට තිබේ.

මෙම තීරණය ගනු ලැබුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රමුඛත්වයෙන් ඊයේ (08) පාර්ලිමේන්තුවේදී පැවති පාර්ලිමේන්තු සභාවේදීය. මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ධීවර කටයුතු පිළිබඳ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යන මහත්වරු සහභාගී වූහSharing is caring!