එංගලන්තය ප්ලාස්ටික්වලට එරෙහිව යුධ ප්‍රකාශ කරයි !

එංගලන්තය ප්ලාස්ටික්වලට එරෙහිව යුධ ප්‍රකාශ කරයි !
Spread the love

“ප්ලාස්ටික් වලට එරෙහි යුද්ධය –war on plastic ” ලෙස හඳුන්වන ව්‍යාපෘතියේ එක් අංශයක් ලෙස ‘එක් වරක් පමණක් භාවිතා කරන‘ ප්ලාස්ටික් උපකරණ තහනම් කිරීමට එංගලන්තය සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව එක් වරක් භාවිතා කළ හැකි ප්ලාස්ටික් හැදි, ගෑරුප්පු, පිඟන් කෝප්ප සහ පොලිස්ටිරින් කෝප්ප තහනම් කිරීම එංගලන්තයේ සැලසුමයි.

රජය පැවසුවේ මෙම පියවර කසළ අවම කිරීමට සහ සාගර වල ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීමට උපකාරී වන බවයි.

මෙම ප්‍රතිපත්තිය පිළිබඳ උපදේශනයක් සරත් සෘතුවේ දී ආරම්භ කිරීමට නියමිතව තිබෙන නමුත් පරිසර ක්‍රියාකාරීන් පැවසුවේ වඩාත් හදිසි හා පුළුල් ක්‍රියාමාර්ගයක් අවශ්‍ය බවයි.

ස්කොට්ලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තය දැනටමත් එක් වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් ගෑරුප්පු සහ හැදි තහනම් කිරීමට සැලසුම් කර ඇති අතර යුරෝපා සංගමය පසුගිය ජූලි මාසයේදී එවැනිම තහනමක් ක්‍රියාත්මක කළේය. මේ තත්ත්වය හමුවේ එංගලන්තයේ ඇමතිවරුන්ට ද එවැනිම ක්‍රියාමාර්ගයක් ගැනීමට බලපෑම් එල්ල විය.

රජයේ සංඛ්‍යා ලේඛනවලට අනුව සාමාන්‍යයෙන් සෑම වසරකම එංගලන්තයේ සෑම පුද්ගලයෙක්ම එක් වරක් භාවිතා කළ හැකි ප්ලාස්ටික් පිගන් 18 ක් සහ එක් වරක් භාවිතා කළ ප්ලාස්ටික් ගෑරුප්පු 37 ක් භාවිතා කරයි.

2022 අප්‍රේල් මාසයේ සිට ප්ලාස්ටික් බෝතල් මත තැන්පතු ආපසු ලබා දීමේ යෝජනා ක්‍රමය වැනි ප්ලාස්ටික් දූෂණයට මුහුණ දීම සඳහා නව පරිසර පනත් කෙටුම්පත යටතේ දැනටමත් පියවර ගෙන ඇති අතර මෙම නව සැලැස්ම අතිරේක මෙවලමක් වශයෙන් සැලකේ.

මෙම යෝජනා තුළ ප්ලාස්ටික් කෝපි කෝප්ප ගැන සඳහනක් නැති නමුත් පසුවට තවත් භාණ්ඩ ඇතුළත් කළ හැකි බව පැවසේ.

පරිසර ලේකම් ජෝර්ජ් යුස්ටීස් පැවසුවේ, ප්ලාස්ටික් වලින් අපේ පරිසරයට වන හානිය කවුරුත් දැක ඇති බවයි.

“අපේ උද්‍යාන හා හරිත අවකාශයන් හරහා නොසැලකිලිමත් ලෙස විසිරී ඇති ප්ලාස්ටික් වලට මුහුණ දීමට සහ වෙරළ තීරය සුරක්ෂිත කර ගැනීමට මෙවැනි පියවරක් අවශ්‍ය බව අපගේ වැටහීමයි‘ පරිසර අමාත්‍යවරයා පැවසීය.

ඔහු තවදුරටත් මෙසේ ද පැවසීය: ” විවිධාකාර නීති හා ක්‍රමෝපායන් හා තිරසර විකල්ප හදුන්වාදීම මගින් අපි ප්ලාස්ටික් මත නැඹුරුවීම දැඩි සේ පාලනය කර තිබෙනවා. භාණ්ඩ රැගෙන යන මළු සදහා අතිරේක ගාස්තුවක් පැනවීම මගින් ප්‍රධාන සුපිරි වෙළඳ සැල් වල ප්ලාස්ටික් බෑග් භාවිතය 95% කින් අඩු කර ගෙන තිබෙනවා. අපේ ස්වාභාවික පරිසරය විනාශයට පත්කරන ප්ලාස්ටික් අනවශ්‍ය ලෙස භාවිතය මැඩපැවැත්වීමට මෙම සැලසුම් අපට උපකාරී වුණා”

නමුත් මෙම තහනම නීතියක් බවට පත්වීමට වසරක් පමණ ගත විය හැකිය. ඒ සදහා පාර්ලිමේන්තුව හරහා නීති සම්පාදනය කිරීම අවශ්‍ය වන අතර, එය බලාත්මක වීමට 2023 අප්‍රේල් පමණ කාලය ගත විය හැකිය.

මේ ප්‍රමාදකාරී තත්ත්වය හමුවේ උද්ඝෝෂකයින් රජයට බලකර ඇත්තේ කඩිනමින් පියවර ගන්නා ලෙසයි.

ප්ලාස්ටික් තහනම සදහා ක්‍රියාත්මක වන ප්‍රචාරක කණ්ඩායමක සාමාජිකාවක වන ජෝ මෝර්ලි පැවසුවේ ‘‘මම මෙම ප්‍රවෘත්තිය සාදරයෙන් පිළිගන්නවා. නමුත් එය “අයිස් කුට්ටියේ කෙළවරක්” පමණක් බවයි.

ඇය තවදුරටත් මෙසේ පැවසුවාය: “අපට බොහෝ දුරට රජය ඉදිරියට යාමට අවශ්‍යයි, අපි ප්ලාස්ටික් අර්බුදයකට මුහුණ දී සිටිනවා. අප මේ අර්බුදය අවසන් කළ යුතුයි. අපි ඇත්තෙන්ම පාරිසරික අර්බුදයකට මුහුණ දී සිටිනවා. අපේ සාගර ප්ලාස්ටික් වලින් පිරී ඇති අතර, ඒවා නිසා සාගර ජීවීන් විනාශයට පත් වෙනවා. ප්ලාස්ටික් අපේ පරිසර පද්ධතියට හානි කරන අතර ඒවා ඇත්ත වශයෙන්ම මිනිස් සෞඛ්‍යයට තර්ජනයක්” ඇය පැවසුවාය.

Friends of the Earth නම් සංවිධානයේ ප්‍රබල සාමාජිකාවක වන Kierra Box ද තම කනස්සල්ල පළ කළාය.

ඇය මෙසේ පැවසුවාය: “ සියලු ප්ලාස්ටික් දූෂණය අවසන් කරන බව පැවසීමට අපට සමස්ත ප්‍රවේශයක් ගැනීම අවශ්‍යයි. අපි කරන්න යන්නේ එක් වරක් භාවිතා කරන සියලුම නිෂ්පාදන ප්‍රමාණය විශාල ලෙස අඩු කිරීමයි. එයත් එක්තරා දුරකට සහනයක්. නමුත් මෙය අවසානය නොවේ. අපි තවත් බොහෝ දුර ගමන් කළ යුතුයි. එය ප්‍රමාද කිරීමට කාලයක් නැහැ. සියල්ල කඩිනමින් සිදුවිය යුතුයි‘‘

බී.බී.සී වාර්තාවක් ඇසුරිනි