එක පවුලක් හා ජාවාරම්කාර පන්තියක් රටේ දංකුඩ ටිකත් හූරා ගෙන කනවා – චම්පික රණවක

එක පවුලක් හා ජාවාරම්කාර පන්තියක් රටේ දංකුඩ ටිකත් හූරා ගෙන කනවා – චම්පික රණවක
Spread the love

‘ආණ්ඩුවට සම්බන්ධ ජාවාරම්කරුවන් සහ විදේශීය ජාවාරම්කරුවන් කිහිපදෙනෙක් මේ රාජ්‍යයම තමන් යටතට ගෙන සිටින අතර එක පවුලක් හා ජාවාරම්කාර පන්තියක් බංකොලොත් වෙමින් පවතින රටේ දංකුඩ ටිකත් හූරා ගෙන කන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (9) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

චම්පික රණවක මහතා මෙසේද පැවසුවේය, ‘බොරුවෙන් පාලන බලය ගත්තත් ආර්ථික අර්බුදය බොරුවෙන් ජයගත නොහැකි බව ආණ්ඩුව දවසින් දවස ඔප්පු කරමින් සිටිනවා. ජන දුක වෙනුවෙන් ඉදිරියට එන මහජනතාව, සමාජ ක්‍රියාකාරීන් සහ මාධ්‍ය ආයතන මර්දනය කිරීම සඳහා රජය නිරෝධායන නීතිත්, පොලීසියත් යොදාගෙන බරපතල වැඩපිළිවෙලක් දියත් කර තිබෙනවා. රජයේ අවනීතිය ක්‍රියාත්මක නොකරන්නැයි අපි යුක්තිගරුක රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

වත්මන් ජනාධිපතිවරයා, අගමැතිවරයා හා ආණ්ඩුව නිදහසින් පසු ඉතිහාසයේ පළමු වතාවට මූල්‍ය බංකොලොත්භාවයේ පළමු අඩිය තබා තිබෙනවා. වර්තමානයේදී ඩොලර් සොයාගැනීමට කළුකඩ පසුපසයාමට සිදුවීමෙන් ඉතිහාසයේ පළමු වතාවට බැංකු ක්‍රමය පරදවා ඩොලර් කළුකඩය ඉදිරිය එමින් තිබෙනවා. රටේ අරමුදල්, විදේශ මුදල් පිටරට යවන ප්‍රධාන මාධ්‍යය බවට නීති විරෝධී උණ්ඩියල් ක්‍රමය පත්වෙමින් තිබෙනවා. ආණ්ඩුව ඉන්නේ තමන් විසින්ම නිර්මාණය කරගත් බරපතල මූල්‍ය අර්බුදයක. ඩොලර් නැතිවීම හමුවේ රසායනික පොහොර, කෘමිනාශක ගෙන්වීම නැවැත්වීමෙන් ගොවි ජනතාවත්, වැටුප් වර්ධක නැවැත්වීමෙන් වැඩකරන ජනතාවත් අද අරගලයකට පිවිස සිටිනවා. ආණ්ඩුවට සම්බන්ධ ජාවාරම්කරුවන් සහ විදේශීය ජාවාරම්කරුවන් කිහිපදෙනෙක් මේ රාජ්‍යයම තමන් යටතට ගෙන සිටිනවා. එක පවුලක් හා ජාවාරම්කාර පන්තියක් බංකොලොත් වෙමින් පවතින රාජ්‍යයේ දංකුඩ ටිකත් හූරා ගෙන කනවා. ‘‘