ඕනෑම අභියෝගයක් භාර ගන්න සූදානම් – අගමැති මහින්ද

ඕනෑම අභියෝගයක් භාර ගන්න සූදානම් – අගමැති මහින්ද
Spread the love

වසංගත තත්ත්වය වේවා, ආපදා තත්ත්වය වේවා, මේ හැමදේකදිම ජනතාව සමඟ ඒ අභියෝගය භාරගන්න රජයක් විධියට අපි සූදානම් යැයි  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07) දින අරලියගහ මන්දිරයේ දී පැවසීය.

සංචරණ සීමා පැනවීමේ දී මහජනතාවට විවිධ දුෂ්කරතා ඇතිවන බව දන්නා නමුත් සෑම ජීවිතයකම වටිනාකම තේරුම් ගනිමින් රජය ගෙන යන වැඩපිළිවෙලට සහය දෙන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහි දී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුලුනු මත ඉදිවෙන කිලෝමීටර් 16.4ක අධිවේගී මාර්ගයේ හා ගැටඹේ, කොහුවල, කොම්පඤ්ඤවීදියේ විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත, බාලදක්ෂ මාවතා හා චිත්තම්පලම් ඒ ගාඩ්නර් මාවත යන ස්ථානවල ඉදිවන නව ගුවන් පාලම් 6ක වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

අරලියගහ මන්දිරයේ සිට  අදාළ ව්‍යාපෘතිවල ආරම්භය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදුවිය.

එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

මිත්‍රවරුනි,

අද අපි මේ මුලපුරන්නෙ කොළඹ සහ මහනුවර අධික රථවාහන තදබදයට විසඳුම් ලැබෙන ව්‍යාපෘති කිහිපයකට බව ඔබ දන්නවා.

මේ ස්ථානවල තිබෙන රථවාහන තදබදය ගැන බොහෝ අය ඉතිහාසයේ මොනතරම් සංවාද කළා ද ? කියලා ඔබ දන්නවා. වාහන පෝලිම දිනෙන් දින දිගු වුණා මිසක් කවුරුවත් ප්‍රායෝගික විසඳුමක් මේවාට දුන්නෙ නැහැ.

මිත්‍රවරුනි,

කාලය කියන දේ අපි හැමෝටම වටිනවා. මහජනතාවට වගේම අවසානයේ එය රටටත්, රටේ අනාගතයටත් එක සේ වටිනව බව ඔබ දන්නවා. වාහන තදබදයෙන් මහජනතාව මහ මගට ගෙවා දමන කාලය අඩු කරලා, ඒ කාලය යම් ප්‍රයෝජනවත් කාර්යකට ඉතිරි කරලා දෙන්න පුළුවන්නම් ඒක අප ලබන ජයග්‍රහණයක් වශයෙන් මා දකිනවා. 

අද මේ ආරම්භ කරන ව්‍යාපෘති අතරට සම්පූර්ණයෙන්ම කුලුනු මතින් ඉඳිවන මේ රටේ 8වැනි අධිවේගී මාර්ග ව්‍යාපෘතියත් ඇතුළත්.  එම අධිවේගී මාර්ගය නව කැලණි පාලමේ ඉඳන් අතුරුගිරිය දක්වා ඉදිවෙනවා.

මන්තීරු හතරකින් ඉදිවෙන මේ අධිවේගී මාර්ගය අපේ රටේ පළමු හා දෙවැනි අධිවේගී මාර්ග එකිනෙකට සම්බන්ධ කිරීම විශේෂත්වයක්. ඒ වගේම දෙමටගොඩ, රාජගිරිය, කොස්වත්ත සහ හෝකන්දර අන්තර් හුවමාරු ඉදිවනවිට, කොළඹ රථවාහන තදබදයෙන් සැලකිය යුතු ප්‍රමාණයකින් එමගින් අවම කර ගන්නට අපට හැකියාව ලැබෙනවා.

මෙම අධිවේගී මාර්ගයේ වසර 15ක මෙහෙයුම් හා නඩත්තු ඇතුළත් ඉදිකිරීම් වෙනුවෙන් සීමා සහිත චයිනා හාබර් ඉංජිනේරු සමාගම රුපියල් බිලියන 135කට ආසන්න මුදලක් වැය කරනවා. ඔවුන්ටත් මගේ ස්තුතිය මේ අවස්ථාවේ පිරිනමන්න කැමතියි.

මිත්‍රවරුනි,

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් අපි රට හදන්න ජනතාවට ප්‍රතිඥාවක් දුන්නා. කොවිඩ් වසංගතය හමුවේ වුවත් රටේ සංවර්ධන ව්‍යාපෘති නතර නොකරන්න යැයි ජනාධිපතිවරයා අපි හැමෝටම උපදෙස් දුන්නා.

ජනතාවට මතක නම්, මේ එක වසංගතයක් වත් නැතිව තමයි අද ඉන්න විපක්ෂෙ එදා කිසිම වැඩක් නොකර හිටියෙ. අද ඒ අයම අපෙන් අහනවා, අපි මොනවද කරන්නෙ කියලා.

මිත්‍රවරුනි,

වගකිවයුතු රජයක් විධියට අපි ජනතාවට එන්නත් ගෙනල්ලා දෙනවා කියලා සහතිකයක් දුන්නා. එන්නත් කරලා අපේ ජනතාව ආරක්ෂා කරන වැඩපිළිවෙල අපි අදටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. යම් යම් අඩුපාඩු නිවැරදි කරගනිමින් අපි ඉදිරියට ඇවිල්ලා තිබෙනවා. වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩල, ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ ඊට සහය වන ජනතාව මේ වසංගත තත්ත්වය පාලනය කරන්න විශාල කැප කිරීමක් කරනවා කියලා ඔබ දන්නවා.

සමහරුන්ට ඒක බලාගෙන ඉන්න බැහැ. අතන මෙහෙමයි මෙතන මෙහෙමයි කියලා ඒක කඩාකප්පල් කරන්න හදනවා. වැරදි ප්‍රචාරයන් කරනවා. එන්නත ගත්තම මැරෙනවා කියල එහෙමත් කිව්වා ජනතාව බය කරන්න හැදුවා. ඒ වගේ බොරු ප්‍රචාර කරලා ජනතාවගෙ ජීවිත බිල්ලට දාලා දේශපාලන වාසි හොයන්න එපා කියලා තමයි අපි විපක්ෂයට කියන්නේ. මේ වසංගතය අපි හැමෝම ඉදිරියේ තියෙන අභියෝගයක්. අපි එකට එක්වෙලා මේ අභියෝගය ජයගත යුතුයි.

හොඳ දේ හොඳ විධියට දකින විපක්ෂයේ ම ඇතැම් මන්ත්‍රීවරු තමන්ගෙ සමාජ මාධ්‍යවල රජයේ එන්නත්කරණ වැඩපිළිවෙල අගය කරනවා මම දැක්කා. රටේ ජනතාවත් මේ වෙලාවේ බලාපොරොත්තුවෙන්නෙ රට හමුවේ තියෙන මේ අභියෝගයට එකට එකතුවෙලා මුහුණදෙන්න.

 සංචරණ සීමා පැනෙව්වාම මහජනතාවට විවිධ දුෂ්කරතා ඇතිවන බව අපි දන්නවා. නමුත් ඔබ සියලු දෙනාගේ හැම ජීවිතයක්ම අපට වටිනවා. ඒ නිසා රජය ඒ ගෙන යන ඒ වැඩපිළිවෙලට ඔබේ සහය ලබාදෙන්න කියන ඉල්ලීම අපි ජනතාවට කරනවා. ඔබ ආරක්ෂාවන ගමන් ඔබේ ආදරණීයන් ආරක්ෂා කරගන්න. එවිට මුළු රටම ආරක්ෂා වෙනවා.

වසංගත තත්ත්වය වේවා, ආපදා තත්ත්වය වේවා, මේ හැමදේකදිම ජනතාව සමඟ ඒ අභියෝගය භාරගන්න රජයක් විධියට අපි සූදානමින් සිටිනවා. ජනතාවට ක්‍රමවත් මාර්ග පහසුකම් ලබාදීමට අප කටයුතු කරන්නෙත් අදට වඩා එහි ඇති අනාගත ප්‍රතිඵලය දිහා බලලයි.

මිත්‍රවරුනි,

දුෂ්කරතා හමුවේ වුවත් මහා මාර්ග අමාත්‍යංශය විශාල වැඩපිළිවෙලක් දැනට ක්‍රියාත්මක කරනවා. අපේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමා ඊට නායකත්වය දෙනවා.  ඒ කටයුත්ත හොඳින් ඉටුකරනවා. නිමල් ලාන්සා රාජ්‍ය ඇමතිතුමත්, අමාත්‍යංශයේ ලේකම්තුමාත්, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමාත්, මාර්ග සංවර්ධන අධිකාරියේ සියලුම දෙනාත්  ඊට හොඳ ශක්තියක් ලබාදෙන බව අපි දන්නවා. පසුගිය දා  මධ්‍යම අධිවේගී මාර්ගයේත්  රුවන්පුර අධිවේගී මාර්ගයේත් වැඩකටයුතු ආරම්භකරන්න අපට හැකියාව ලැබුණෙ ඒ නිසයි.

ඒ විතරක් නෙමෙයි අද වැඩ ආරම්භ කළ කොම්පඤ්ඤවීදියේ ගුවන් පාලම් ත්‍රිත්වයත්, කොහුවල සහ විනිසුරු අක්බර් මාවතේ ගුවන් පාලම් දෙක සහ මහනුවර ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් ඉතා කඩිනමින් අවසන් කරන්න බලාපොරොත්තු වෙන බව ජොන්ස්ටන් ඇමතිතුමා අපි  සමඟ කිව්වා.

මේ සඳහා මූල්‍ය ආධාර දෙන හංගේරියානු රජයටත්, ඊට ක්‍රියාකාරීව සම්බන්ධවී ඉතා කෙටි කලෙකින් මෙම ව්‍යාපෘති අවසන් කිරීමට සැළසුම් කළ  දේශීය ඉංජිනේරුවන් සහ කොන්ත්‍රාත් සමාගම්වලටත් මාගේ සුබ පැතුම් මේ අවස්ථාවේ පුද කරනවා.

ඒ වගේම ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමා සහ එම අමාත්‍යංශය මේ සඳහා කැප වෙලා කරන වැඩපිළිවෙල අපි අගය කරන බව මා මේ අවස්ථාවේ නැවත වරක් මතක් කරමි යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.