ඇමතිවරයි පාසල් දැරියන්ට දුන් සුපිරි අවවාදය

ඇමතිවරයි පාසල් දැරියන්ට දුන් සුපිරි අවවාදය
Spread the love

“කකුල් පළල් නොකර, පොතපත බලාගන්නැ”යි දකුණු අප්‍රිකාවේ ප්‍රාදේශීය සෞඛ්‍ය අමාත්‍යවරියක් පාසල් දැරියන්ට පැවසීම සම්බන්ධයෙන් දැඩි විවේචනයට ලක්ව තිබේ.

ෆොෆී රමතූබා මෙම ප්‍රකාශය සිදුකළේ ද්විතීයික පාසලකට ගිය අවස්ථාවක දී, ලිංගික ක්‍රියාවන්ගෙන් වැළකීම හා නව යොවුන් වියේ ගැබ්ගැනීම් අනුපාතය අඩු කිරීමට පාසැල් දරුවන් උනන්දු කරවීමේ ක්‍රියාමාර්ගයක් ලෙස ය.

සමාජ මාධ්‍ය හරහා මෙම ප්‍රකාශය විවේචනය වූ අතර ගැහැණු ළමයින්ට පමණක් එසේ පැවසූයේ මන්දැ යි බොහෝදෙනෙක් විචාළහ.

එහෙත් ඇමැතිනී රමතූබා එම ප්‍රකාශය සාධාරණීකරණයට උත්සහ දරමින්, තමා එය පිරිමි ළමයින් ද ඉලක්කකර පැවසූවක් බව ප්‍රකාශ කළා ය.

ලිම්පෝපෝ පළාතේ සෞඛ්‍ය අමාත්‍යවරිය නව අධ්‍යයන වර්ෂයේ පළමු දිනය සනිටුහන් කිරීම සඳහා 12 වැනි දා සෙක්ගක්ගපෙන්ග් නගරයේ පිහිටි ග්වේනානේ ද්විතීයික පාසලට පැමිණ සිටියා ය.

“මම ගැහැණු ළමයින්ට කියන්නේ, දෙපය විවර නොකර පොතපත විවර කරන්න. යහන්ගත වෙන්න එපා, පොත් බලන්න. ‍බොහොම ස්තූතියි,” ඇය පවසා තිබුණි.

මිල අධික බොරු කොණ්ඩ, සහ ස්මාර්ට් ජංගම දුරකථන වැනි සුඛෝපභෝගී දේ යොදා ගනිමින් වැඩිහිටි පිරිමින් විසින් ගැහැණු ළමයින් ආකර්ෂණයකර ගන්නා බව ද ඇය පැවසුවා ය.

එම කතාවේ වීඩියෝවක් සමාජ මාධ්‍යවල හුවමාරුවීමෙන් පසු මෙම අදහස් විවේචනයට ලක් විය.

“මේක, අපයෝජනය, ලිංගිකත්වය, සහ කැමැත්ත ගැන ළමයි එක්ක කතා කරන්න ගැලපෙන විදියක් නෙවෙයි,” එක් සමාජ මාධ්‍ය පරිශීලකයෙකු ලියා තිබිණි. විපක්ෂ දේශපාලනඥයකු වන සිවිවේ ග්වාරුබේ මෙම ප්‍රකාශය “ඉතා ගැටලුසහගත” එකක් ලෙස හැඳින්වීය.

“මේක මේ දරුවන් එක්ක ලිංගිකත්වය සම්බන්ධයෙන් කැමැත්ත පළකිරීම ගැන අර්ථවත් සංවාදයක් පවත්වන්න අවස්ථාවක් වෙලා තිබුණේ… ඒත් ඔබ කළේ වින්දිතයන්ට දොස් නගන එක. ගැහැණු ළමයින්ට අනවශ්‍ය පීඩනයක් දෙන එක,” ඇය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියා ය.

ඇමැතිනී රමතූබා දකුණු අප්‍රිකානු ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන TimesLIVE වෙත පැවසුවේ ඇයගේ ප්‍රකාශය එහි සන්දර්භයෙන් පිටතට ගෙන විවේචනය කරන බව යි. එය පිරිමි ළමයින්ට ද අදාල වන සේ සිදුකළ ප්‍රකාශයක් බව ද ඇය සඳහන් කළා ය.

“මං පිරිමි ළමයින්ට කිව්වා ගැහැණු ළමයි එක්ක යහන්ගත වෙන්නේ නැතිව, අධ්‍යාපනයට යොමු වෙන්න කියලා,” ඇය කීවා ය.

ලිම්පොපෝහි ඇයගේ ඡන්දදායකයින් ද “එම පණිවිඩය අගය කළබව” ඇය වැඩිදුරටත් පැවසුවා ය.

“එයාලා මේ දේවල් [දරුවොත් එක්ක] කියන්න බයයි කියලත් කිව්වා. හරි දේ හරි විදියටම පෙන්නලා දුන්නාට මට ස්තුති කළා,” ඇය කියා සිටියා ය.

2020 වසර තුළ දී දකුණු අප්‍රිකාවේ වයස අවුරුදු 17ට අඩු ගැහැණු ළමුන් 33400ක් පමණ දරුවන් ප්‍රසූතකර ඇති බව රජයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

Save the Children සංවිධානය පෙන්වා දෙන්නේ, දකුණු අප්‍රිකාවේ නවයොවුන් වියේ ගැබ් ගැනීම් සඳහා දායකවන ප්‍රධාන සාධක වන්නේ පුළුල් ලිංගික අධ්‍යාපනයකටත්, මිළ අඩු සහ සෞඛ්‍ය සේවාත් සඳහා ප්‍රවේශය නොමැතිකම බව යි.

bbc sandesaya