‘කාබනික ගොවියෙකු වීමේ‘ සුපිරි වාසි සහ ප්‍රතිලාභ 08ක්

‘කාබනික ගොවියෙකු වීමේ‘ සුපිරි වාසි සහ ප්‍රතිලාභ 08ක්
Spread the love

ශ්‍රී ලංකාව කාබනික කෘෂිකර්මාන්තය වෙත ගමන් කිරීමට සූදානම් වන විට බොහෝ පිරිසක්, (ගොවීන් ද ඇතුළුව) එහි ප්‍රතිලාභ ගැන විමසනවා. මෙහිදී ඔවුන් සැසදීම කරන්නේ රසායනික පොහොර සහ කෘත්‍රීම පළිබෝධනාශක භාවිතා කරන, දෙමුහුන් බීජ භාවිතා කරන කෘෂිකර්මාන්තය සමගයි.

මෙම ප්‍රශ්නයට පිළිතුරු දීමට ලංකාවේ කාබනික කෘෂිකර්මාන්තය යොදා ගැනීමට තවම කල් වැඩියි. ඒ නිසා මෙහිදී ඇමෙරිකා එක්සත් ජනපදය වැනි අති දැවැන්ත කෘෂිකාර්මික ක්ෂේත්‍රයක් ඇති, අති නවීන තාක්ෂිණික පහසුකම් භාවිතා කරන රටක් වෙත යාම වඩාත් සුදුසුයි.

රසායනික පොහොර සහ කෘත්‍රිම පළිබෝධනාශක භාවිතා කරන සාම්ප්‍රදායික වගාකරුවන්ට නොලැබෙන බොහෝ වාසි කාබනික ආහාර නිෂ්පාදකයින් අත්විඳිනවා. කාබනික නිෂ්පාදන ඉල්ලුම ගෝලීය වශයෙන් පුළුල් වන අතර ඒ සදහා සතුටුදායක මිලක් ද තිබෙනවා. ඊට අමතරව කාබනික ගොවිතැනට තවත් වාසි කිහිපයක් තිබෙනවා. 

වෘත්තීය ආරක්ෂාව

එක්සත් ජනපද කම්කරු සංඛ්‍යා ලේඛණ කාර්යංශයේ මාර්ගෝපදේශවලට අනුව කුඩා ගොවි වෙළඳපොළවල් වැඩි සාර්ථකත්වයක් සහ ලාභයක් අත්විඳිනවා. එහි මාර්ගෝපදේශය සංග්‍රහය මෙසේ කියනවා, “බොහෝ [ගොවීන්] කාබනික ආහාර නිෂ්පාදනයේ අවස්ථා සොයා ගනී.”

එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආර්ථික සමීක්ෂණ සේවයට අනුව  “කාබනික ගොවිතැන එක්සත් ජනපද කෘෂිකර්ම ක්ෂේත්‍රයේ වේගයෙන්ම වර්ධනය වන අංශයකි. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට සහාය වීම සඳහා බොහෝ පාරිභෝගිකයින් කාබනික නිෂ්පාදන වෙත යොමුවී ඇති හෙයින්, සාම්ප්‍රදායික වගාකරුවන්ට වඩා කාබනික ගොවීන්ට පාරිභෝගිකයින්ගේ ආහාර වෙනුවෙන් වැය කරන මුදලින් වැඩි කොටසක් එකතු කර ගත හැකි බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

කාබනික ගොවියෙකු වීමේ අමතර වරප්‍රසාද අතර, කාබනික ගොවිතැන කිරීමට අමතරව ඒ ගැන තවත් ගොවීන් පිරිසකට අධ්‍යාපනය ලබාදීමට අවස්ථාව උදාවීම හා පුහුණු කිරීමේ අවස්ථා ලැබීම, ගොවිපළ කළමනාකරණය, සහතික කිරීමේ නියෝජිතයෙකු වීම (certifying agent) සහ තවත් බොහෝ කාබනික කෘෂිකාර්මික වෘත්තීය අවස්ථා උදාකර ගත හැකියි. 

අඩු ආරම්භක ආයෝජනය

කාබනික නිෂ්පාදන මෙහෙයුමක් ආරම්භ කිරීම පිරිවැය රහිතව නොවේ. සාම්ප්‍රදායික ගොවිතැනට වඩා අමතර වියදම් වන්නේ ‘කාබනික සහතික කිරීමේ පිරිවැය (organic certification costs) සහ වඩා  හොඳ ඉඩම් සහ විශේෂ උපකරණ සඳහා ආයෝජනය කිරීමේ අවශ්‍යතාවයයි. එසේ වුවද, කාබනික ගොවිතැනට සාම්ප්‍රදායික ගොවිතැනට සමාන ඉහළ ප්‍රාග්ධන ආයෝජන අවශ්‍ය වන්නේ නැහැ. විශේෂයෙන් රසායනික පොහොර, පළිබෝධනාශක සහ ජානමය වශයෙන් වෙනස් කරන ලද බීජ තොග  සඳහා වන වියදම  සාධකගත වූ විට. කාබනික ගොවියෙකු ලෙස, ඔබ මුල සිටම මෙම වියදම් මග හරිනු ඇති අතර වගා කටයුතු ආරම්භ කිරීම සඳහා වැඩි මුදලක් ණයට ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ.

කාබනික නිෂ්පාදන සඳහා ගෙවීමට ඉහළ ඉල්ලුමක් හා කැමැත්තක් ඇත

එක්සත් ජනපද කාබනික වෙළඳ සංගමය Organic Trade Association (OTA) 2018 දී කාබනික කර්මාන්තයේ විකුණුම් ඩොලර් බිලියන 50 ඉක්මවා ඇති බව වාර්තා කළේය. සෞඛ්‍යය කෙරෙහි ඇති උනන්දුව මෙන්ම පරිසරය කෙරෙහි දක්වන සැලකිල්ල බොහෝ කාබනික පාරිභෝගිකයින් (Organic consumers) කාබනික නිෂ්පාදන වෙත මාරු වීමට හේතු වෙනවා. කාබනික පාරිභෝගිකයින්  ආරක්ෂිත, උසස් තත්ත්වයේ කාබනික නිෂ්පාදන සඳහා වැඩි මිලක් ගෙවීමට කැමති බව පර්යේෂණවලින් පෙනී ගොස් තිබෙනවා.

කාබනික ආහාර නිෂ්පාදන අලෙවිය දේශීය ගොවි වෙළඳපොළෙන් හෝ සිල්ලර වෙළඳසැලෙන් ඔබ්බට අවන්හල් ඇතුළත් කර පුළුල් කළ හැකි අතර කාබනික ගොවියෙකුට ඉලක්ක කිරීමට විශාල වෙළඳපොළක් ලබා දෙනවා. වර්තමාන සෞඛ්‍යය, පරිසරය සහ සත්ව ප්‍රතිකාර පිළිබඳ කරුණු අනුව කාබනික ප්‍රවණතාවය අඛණ්ඩව පවතිනු ඇති අතර එය දුර්වල ආර්ථිකයකට ඔරොත්තු දිය හැකි ස්ථානයක් බවට පත් කරනවා.

පාරිසරික ප්‍රතිලාභ

කාබනික නිෂ්පාදනය කිසි විටෙකත් පරිසර හිතකාමී නිෂ්පාදනය සමඟ පටලවා නොගත යුතුයි. පරිසරය හා කාබනික කෘෂිකර්මාන්තය එකම දෙයක් නොවෙයි. කාබනික ගොවිතැනේ වාසියක් වන්නේ පාරිසරික ප්‍රතිලාභය. එනම්:

  • ජල සංරක්ෂණය හා ආරක්ෂාව
  • පරිසරයට හානියක් විය හැකි හෝ ජල සැපයුමට කාන්දු විය හැකි ඩීසල් සහ පොහොර වැනි පසෙහි විෂ භාවිතය අඩු කිරීම
  • වැඩි දියුණු කළ හා ආරක්ෂා කළ ජෛව විවිධත්වය
  • ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ අවදානම අඩු වීම

නියඟයට ඔරොත්තු දෙන බෝග

‘නියඟය‘ යනු කාබනික හෝ සාම්ප්‍රදායික බොහෝ වගාකරුවන් අවධානය යොමු කරන ප්‍රධාන කරුණකි. නියඟය බෝග විනාශ කරයි. අපේක්ෂිත ආදායම අහිමි කරන අතර ආහාර සුරක්ෂිතභාවය අවදානමේ හෙළයි.

කාබනික භෝගවල වාසිය නම් ඒවා සාම්ප්‍රදායික භෝගවලට වඩා නියඟයට ඔරොත්තු දීමයි. මෙය විද්‍යාත්මකව තහවුරු වූ කරුණකි. මෙයට ප්‍රධානතම හේතුව බොහෝ රසායනික පොහොර ජලයේ ද්‍රාව්‍ය වීමයි. එයින් අදහස් කරන්නේ බෝග වගා කිරීමට වැඩි ජලය අවශ්‍ය බවයි.

නරකම දේ සිදුවී ජලය සීමිත නම්, කාබනික වගාකරුවන් සාමාන්‍යයෙන් ඔවුන්ගේ සාම්ප්‍රදායික කෘෂිකාර්මික ගොවි මිතුරන්ට වඩා සුරක්ෂිතය. වායුගෝලීය පර්යේෂණ පිළිබඳ ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යයනයකින්  පෙනී යන්නේ අනාගතයේ දී අප දැඩි නියඟයකට මුහුණ දෙන බවයි, එයින් අදහස් වන්නේ ප්‍රජාවන්ට ඔවුන්ගේ ආහාර සඳහා කාබනික ගොවිපළවල් මත දැඩි ලෙස රඳා සිටීමට සිදුවනු ඇති බවයි. 

සෞඛ්‍ය සම්පන්න පසක් බිහි කරයි

නිරෝගී පස තාක්‍ෂණිකව කාබනික ගොවිතැනේ පාරිසරික හෝ පරිසර හිතකාමී වරප්‍රසාදයක් ලෙස සලකනවා. නමුත් නිරෝගී පස සැලකිය යුතු කාරණයක් බැවින් එය කාබනික ගොවිතැනේ ප්‍රධාන වාසියක් ලෙස සැලකිය යුතුයි. 

වගාකරුවෙකු ලෙස පාංශු සෞඛ්‍යය (soil health) ප්‍රධාන කරුණක් විය යුතු අතර පාංශු සෞඛ්‍යය සම්පන්න භෝගවලට වඩා එය බොහෝ සෙයින් වැදගත් වෙනවා. පාංශු සෞඛ්‍ය මුළු ලෝකයටම බලපාන අතර එයින් අදහස් කරන්නේ ඓන්ද්‍රීයව වගා කරන ලද භෝග සමස්ත පාංශු සෞඛ්‍යයට සහාය වන බවයි. 

පළමුවෙන්ම, සෞඛ්‍ය සම්පන්න ආහාර ආරම්භ වන්නේ සෞඛ්‍ය සම්පන්න පසකින්. හානිකර පළිබෝධනාශක, රසායනික ද්‍රව්‍ය සහ වෙනත් විෂ ද්‍රව්‍ය සමඟ වගා කරන පස එතරම් සෞඛ්‍ය සම්පන්න නැහැ. එක්සත් ජනපද කෘෂිකාර්මික පර්යේෂණ සේවය (USDA Agricultural Research Service (ARS) විසින් කරන ලද අධ්‍යයනයකින් කියැවෙන්නේ “කාබනික ගොවිතැන සාම්ප්‍රදායික නොවන ගොවිතැනට වඩා කාබනික පාංශු ද්‍රව්‍ය නිපදවන” බවයි. 

කොම්පෝස්ට් බහුල කාබනික පස් එක් තේ හැන්දක පමණක් විශේෂ 15,000කට අයත් බැක්ටීරියා මිලියන 600 සිට බිලියනය දක්වා ප්‍රමාණයක් රඳවා ගත හැකි අතර රසායනිකව පොහොර භාවිත කරන පසෙහි ඇත්තේ ප්‍රයෝජනවත් බැක්ටීරියා 100ක් පමණක් බව එම වාර්තාව වැඩි දුරටත් කියනවා.

කාබනික ගොවිතැන ඛාදනය වැනි බරපතළ පාංශු හා ඉඩම් ගැටලුවලට එරෙහිව සටන් කිරීමට උපකාරී වෙනවා. ( පාංශු ඛාදනය සාමාන්‍යයෙන් කිසිවෙකුගේ කනස්සල්ලට පත්වන ලැයිස්තුවේ ඉහළින්ම නැහැ) පාංශු ඛාදනය මගින් ගොවිබිම්, තෙත්බිම්, වාසස්ථාන, ඇළ දොළ සහ සමස්ත පරිසර පද්ධතිම විනාශ කළ  හැකි අතර, පැතිරෙන රෝග ගැන සඳහන් නොකොට ආහාර සුරක්ෂිතතාව ද විනාශ වෙනවා.

වර්ධනය වන අලෙවිකරණ අවස්ථා

කාබනික නිෂ්පාදකයෙකු ලෙස, ඔබට ‘හරිත (හෝ කළු) යූඑස්ඩීඒ කාබනික මුද්‍රාව‘ (green (or black) USDA organic seal) වැනි විවිධ අලෙවිකරණ මෙවලම් වලින් ප්‍රයෝජන ගත හැකියි. පාරිභෝගිකයින් මෙම  මුද්‍රාව ගැන වැඩි විස්තර ඉගෙන ගන්නා අතර සාප්පු ආහාර මිලදී ගැනීමේ දී එය සොයා බලනවා.

කාබනික ගොවීන් සිය නිෂ්පාදන අලෙවිය ගැන බියවිය යුතු නැහැ. දේශීය ගොවීන්ගේ වෙළඳපළ, සමූපකාර, ආපනශාලා, පාසල් සහ මාර්ගගතව ඇතුළුව  කාබනික නිෂ්පාදන අලෙවි කිරීම සඳහා පහසු සහ අඩු වියදම් ක්‍රම රාශියක් තිබෙනවා. පරිසරය, සත්ව ප්‍රතිකාර හා වෙනත් හේතූන් ගැන සැලකිලිමත් වන පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා එම අපේක්ෂාවන් ද භාවිතා කළ හැකියි.

අමතර වරප්‍රසාද

එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සිය ගොවි සේවා ඒජන්සිය හරහා හරහා කාබනික ගොවීන්ට විවිධ මූල්‍ය වරප්‍රසාද ලබා දෙනවා. එනම් සහතික ප්‍රතිපූරණය, සංරක්ෂණ ආරක්ෂිත කලාප නිර්මාණය කිරීම සඳහා මූල්‍යාධාර සහ ස්වාභාවික විපත් හේතුවෙන් අහිමි වූ භෝග සඳහා මූල්‍ය ආධාර ලබාදීම ආදියයි.

මේ එක්සත් ජනපදයේ කාබනික වගාකරුවන්ගේ ඇත්ත තත්ත්වය. ලංකාව තබා ඇත්තේ ආරම්භක පියවරක් පමණයි. යම්කිසි වෙනසකට ආරම්භයේ සිටම එරෙහිවීම ලංකාවේ සුලභ නොව පොදු තත්ත්වයක්. මහවැලි ව්‍යාපාරය, ආයෝජන ප්‍රවර්ධන කලාප, අධිවේගී මාර්ග, වගේම කණ්ඩලම හෝටලයටත් අපි දැවැන්ත ලෙස විරෝධය පෑවා. ඒත් අද ඒවායින් කිසිම මැසිවිල්ලක් නැතිව සමස්ත ජාතියම ප්‍රයෝජන, වාසි ලබනවා. කාබනික කෘෂිකර්මාන්තය ගැනත් අපට කීමට ඇත්තේ එයයි. මේ අවස්ථාවාදී සහ පටු දේශපාලන, ව්‍යාපාරික න්‍යාය පත්‍ර මත ක්‍රියාත්මක වන විරෝධතා නිසා ඉදිරියට ගත් පය පසුපසට නොගත යුතුයි.

ලාබෙට කන බත් පතට වඩා නිරෝගීකම සහ පරිසරය වැදගත් බව අපි වටහා ගත යුතුයි. ධම්ම පදයේ අවධාරණය කරන ‘ආරෝග්‍යා පරමා ලාභා‘ යන්න යළි මතක් කර ගැනීම වැදගත් මේ නිසයි.

https://www.thebalancesmb.com/organic-farming-advantages ඇසුරිණි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ