‘කාබනික පොහොර ගැන‘ කෘෂිකර්ම ඇමතිගෙන් සහතිකයක්

‘කාබනික පොහොර ගැන‘ කෘෂිකර්ම ඇමතිගෙන් සහතිකයක්
Spread the love

පරිසර හිතකාමි කාබනික පොහොර භාවිතයෙන් වසවිස නැති රටක් ගොඩනැගිමේ අසීරු කාර්යය කුමන අභියෝගය පැමිණිය ද ජයගන්න බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

අද (09) කෘෂිකර්ම අමාත්‍යාංයේ දී විශේෂ මාධ්‍ය හමුවකදි අමාත්‍යවරයා ඉදිරියේදි කාබනික පොහොර බෙදා දීම හා ගැටළු විසදිම පිළිබඳව කරුණු පැහැදිලි කළා. මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ කෘෂිකර්ම අමාත්‍යවරයා,

‘‘ දේශීය තාක්ෂණය, දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන රටට අවශ්‍ය කාබනික පොහොර අපි නිෂ්පාදනය කරනවා. සාමාන්‍ය කොම්පොස්ට් අර්ථයෙන් මේ ගැන හිතන්න එපා. තාක්ෂණයෙන් යුතු ශාක වලට අවශ්‍ය සංඝටක ඇතුළත් ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොර ලබාදෙන්නෙ. රටේ නිෂ්පාදනය සැලකිමේදි කාබනික පොහොර ආනයනය අවශ්‍ය වන එකක් නැහැ.ඒ ගැන අපි දැන් සාකච්ඡා කිරිම් කර ගෙන යනවා.

ලබන සඳුදා සිට සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදකයින් ලියාපදිංචි කරනවා. එසේම ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර සියල්ල රාජ්‍ය පොහොර සමාගම හරහා මිලට ගන්නවා. පොහොර සහනාධාරය ගොවින්ට දීපු මුදල් සතයක්වත් අඩුකරන්නේ නැහැ. එලඹෙන මාස් කන්නයේ සිට සහනාධාර ක්‍රමය යටතේම කාබනික පොහොර සෑම ගොවියෙකුටම අපි ලබාදෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විජිත හේරත් කියලා තිබුණා අපි කාබනික පොහොර කියලා ජරාව ගේන්න යනවා කියලා. කාබනික පොහොර ගේන්න අවශ්‍ය වන එකක් නැහැ. ගෙනාවත් සම්පූර්ණයෙන්ම ජීවානුහරණය කළ ප්‍රමිතියෙන් උසස්ම පොහොර ගෙනෙන්නේ විශය පිළිබඳ විද්වතුන්ගෙන් සැදුම්ලත් තාක්ෂණික කමිටුවක අනුමැතිය සහිතවයි.

පොහොර ආනයනය කරනවා කියලා බිල්ලෙක් මවන්න හදනවා. ගොවි ජනතාවට අපි කියනවා කිසිසේත්ම බියක් ඇති කරගන්න එපා නියමිත පරිදි සහනාධාරය ඒ විදිහටම ලබා දෙමින් අපි ගොවින්ට කාබනික පොහොර එළඹෙන මහ කන්නයේ සිට ක්‍රමවත්ව ලබා දෙනවා‘‘

මෙම මාධ්‍ය හමුවට එක්වු සබරගමුව විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යාපිඨයේ මහාචාර්ය ප්‍රියන්ත යාපා මහතා මෙසේ සදහන් කළේය,

‘‘1965 න් පස්සේ අපි මේ පරිසර හිතකාමි කාබනික වගාවට යොමුවන්නේ. අවුරුදු 57 ක්ම අපි රසායන පොහොර මත පදනම් වුණේ. ලෙඩරෝග, ජිවිත හානි , රසායනික කාෂිකර්මය නිසා සිදු වුණා. තාවකාලිකව බඩ පිරවීමට එහාගිය සෞඛ්‍ය සම්පන්න ජාතියක් ගොඩ නැගිමයි අපි මේ කරන්නේ. සම්පුර්ණ තිබුණු තත්ත්වය කණපිට පෙරලන්නයි මේ උත්සහය. ලෝකයේ අර්බුදයක් ඇවිත් ආනයනය අත්හිටවුවොත් අපිට බඩගින්නේ මැරෛන්න වෙන්නෙ මේ සියළු අභියෝග වලට උත්තරය අපේ රටේ පොහොර හදාගෙන අපේ රටට අවශ්‍ය පරිදි කෘශිකර්මය ගොඩනැගිම.

ජනාධිපතිතුමාගේ අරමුණ හෙට රටට ගොඩක් වැදගත්. විනාශ වු පස් ප්‍රකෘතියට ගන්න ගමන් ඉතිරි වු පස හෝ ආරක්ෂා කර ගන්න අපි කඩිනමින් පරිසර හිතකාමි කාබනික වගාවට යොමුවිය යුතුයි. හදිසි වුණේ ඉතිරි පසත් රසායන තුලින් විනාශ නොකර රැක ගත යුතු නිසා . 

මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්යන : – ඇයි හදිසියේම මේ තීරණය ක්‍රියාත්මක කළේ ? 

කෘෂිකර්මාන්ත අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා : – හදිසියේ නෙමෙයි.සෞභාගයේ දැක්මේ පැහැදිලිව පරිසර හිතකාමි කාබනික කෘශිකර්මයෙන් හරිත රටක් හදන්න පියවර ගන්න බව කියලා තියෙනවා. ජනවරම ලැබුණේ මේ දේවල් කරන්න. මේ ජනතා අපේක්ෂාවන් ඉටුකරන්නේ.  ජනප්‍රිය නොවුනට මේ තීන්දු හෙට රටට අනාගත පරපුරට වැදගත්.