කාලකන්නි ගුරුවරුන්ද ? දේශපාලනඥයින් ද ? – චම්පික ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි

කාලකන්නි ගුරුවරුන්ද ? දේශපාලනඥයින් ද ? – චම්පික ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි
Spread the love

වාර්තා වෙලා තියෙන අන්දමට ඉතාමත් අඩුවෙන් තමයි ගුරුවරු මේ එන්නත් කරණයට යටත් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්නයට ප්‍රතිපත්තියක් නොමැති වීම බරපතළ ප්‍රශ්නයක්

මේ වනවිට දැඩි ගැටලුකාරී ප්‍රශ්නයක් වී ඇති ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ප්‍රශ්නයට නිසි විසදුමක් ලබානොදී ආණ්ඩුව තම කටකාර අනුවණ දේශපාලඥයන් ලවා දෙවිවරුන් වැනි ගුරුවරුන්ට “කාලකන්නි” යනුවෙන් හැදින්වීමට තරම් පහත් තැනට පත්ව ඇතැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

රණවක මහතා මේ බව ප්‍රකාශ කළේ අද (21) පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.

ආණ්ඩුව “තමන් වසංගතය ජය ගත්තා. දැන් වසංගතය ජය ගත්තා කිය කිය” තම දේශපාලන ගෝල බාලයන් ලවා බොරු කියමින් සිටින බවත් එන්නත් කරණයේදී ගුරුවරුන්ට ප්‍රමුඛතාවක් නොදී අධ්‍යාපන අමාත්‍යවරයා විසින් අගෝස්තු මාසයේ පාසල් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බවද චම්පික රණවක හිටපු අමාත්‍යවරයා පවසයි.

මෙම මාධ්‍ය හමුවේදී චම්පික රණවක මහතා පළ කළ සම්පූර්ණ අදහස් පහත පළ වේ.

වර්තමාන ආණ්ඩුවේ නිසි ආර්ථික ප්‍රතිඵත්තියක් නොමැතිවීම නිසාවෙන් රටේ අධ්‍යාපනයට, සිසු දරුවන්, ගුරුභවතුන්ට හා  උසස් අධ්‍යාපනයට සිදුව ඇති ඛේදවාචකය පිළිබඳව සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විශේෂ සාකච්ජාවක් සිදුකරනු ලැබිණි.

එහිදී 1943 සිට ලාංකිකයන් වශයෙන් අප සියලු දෙන භුක්ති විඳි නිදහස් අධ්‍යාපනය පසුගිය අවුරුදු එකහමාරක පමණ කාලය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්මේ අනුහසින් සම්පූර්ණයෙන්ම වැනසි ගොස් ඇති බව කණගාටුවෙන් උවද ප්‍රකාශ කිරීමට සිදුව ඇති බව ඒ මහතා පවසයි.

කොවිඩ් වසංගතය සමඟ දරුවන්ට හා ගුරුවරුන්ට එක විටම හිස මතට කඩා වැටුණු ඔන්ලයින් අධ්‍යාපනය සඳහා ආණ්ඩුව මෙන්ම අධ්‍යාපන අමාත්‍යංශයද කිසිදු සුදානමක් නොතිබූ බව මේ වනවිටත් ඔප්පු වී ඇති බව චම්පික රණවක මහතා පවසයි.

ඒ නමුදු 2010 සිට ලොව පුරා ප්‍රවණතාවයක් සේ නැගී ආ මෙම මාර්ගගත අධ්‍යාපනය ක්‍රමයට යහපාලන රජය පය තබමින් සුහුරු පන්ති කාමර සංකල්පය ඒ සඳහා අවශ්‍ය උපකරණ, නොමිලේ ලබාදෙන ටැබ් පරිගණක පන්ති කාමරයට අවශ්‍ය අධිවේගී අන්තර්ජාල පහසුකම් යනාදිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කලද නව රජය පත් වීමත් සමඟ ඒ සියලු ක්‍රියාමාර්ගයන් අවලංගු කරනු ලැබූ බව ඒ මහතා පවසා සිටියේය.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් පාඨලී චම්පික රණවක මහතා අවදාරණය කර සිටියේ ” අධ්‍යාපන අමත්යන්ශයෙන්ම ප්‍රකාශ වුණා නාගරික ප්‍රදේශ වල මේ අන්තර්ජාල අධ්‍යාපනය ලබන්නේ 60% ක් පමණ. ග්‍රාමීය ප්‍රදේශ වල 40% ක් පමණ කියලා.

මේකේ තේරුම තමයි මේ වනවිට නාගරික ප්‍රදේශවල ඉතිරි දරුවෝ 40%ත් අද ඔන්ලයින් අධ්‍යාපනයට හැරිලා ඉවරයි. ග්‍රාමීය ප්‍රදේශ වල ඉතිරි 60%ත් ඔන්ලයින් අධ්‍යාපනයට හැරිලා ඉවරයි.මේ නිසා ගුරුවරු තමන්ගේ ස්වෙච්ඡාවෙන් මේ කටයුත්තට බැස්සා.

මේ රටේ පාසල් යන වයස ඇති නමුත් පාසල් යන්නේ නැති සාමාන්‍ය පෙළ ළමුන්ගේ ප්‍රතිශතය තිබුනේ 40%යි. නමුත් දැන් අධ්‍යාපන අමාත්‍යංශය එම ප්‍රමාණය හරි අඩකටත් වඩා සිටින සේ ළමුන් පාසල් අධ්‍යාපනයෙන් එලියට ඇද දමා අවසන්.

සම්පත් තිබෙන පාසල් වල දෙමව්පියෝ, ගුරුවරු ආදි ශිෂ්‍ය සංගම් යම් යම් වැඩ පිළිවෙලවල් දියත් කළා මිසක් අධ්‍යාපන අමාත්‍යංශය මේ සම්පත් ලබාදීම ගැන හෝ ඒ වගේම මේ අධ්‍යාපනය නියාමනය කිරීම ගැන හෝ කිසිදු ප්‍රතිඵත්තියක් ඉදිරිපත් කලේ නෑ.

එම නිසා ගුරුවරු තම තමන්ගේ ස්වේච්ඡාවෙන් ඔන්ලයින් අධ්‍යාපනය සිදුකරගෙන යනවිට රජය විසින් ගුරුවරුන්ගෙන් ප්‍රගති වාර්තා ලබා ගත්තා.රජය කිවේ කුමක්ද? “අපි ඔබට පඩි වැටුප් ගෙවනවා. ඔබ මේක කළ යුතුයි කියලා.” යනුවෙන් ඒ මහතා පවසා සිටියේය.”

එමෙන්ම අධ්‍යාපන අමාත්‍යංශයට සහයට ලබාගත හැකි අමාත්‍යංශ හතරක් පැවතියද ඩිජිටල් අමාත්‍යංශය තරුණ තරුණ කටයුතු අමාත්‍යංශයට පැවරීම තුලින් එම සහයද විනාශ කල බවත් අධ්‍යාපන ක්‍රමයට සම්පත් ලබා නොදීම හා නියාමනය නොකිරීම නිසා අද ඒ අන්තර්ජාල පහසුකම් මත නිදහස් අධ්‍යාපනය වනසන ඇති හැකි අයට පමණක් සීමා වූ දරුවන් පාසලෙන් පන්නා දමන අධ්‍යාපන ක්‍රමයක් බවට පත්ව ඇති බව චම්පික රණවක මහතා පවසයි.

තවද ආණ්ඩුව “තමන් වසංගතය ජය ගත්තා. දැන් වසංගතය ජය ගත්තා කිය කිය” තම දේශපාලන ගෝල බාලයන් ලවා බොරු කියමින් සිටින බවත් එන්නත් කරණයේදී ගුරුවරුන්ට ප්‍රමුඛ තාවයක්වත් නොදී අධ්‍යාපන අමත්‍යවරයා විසින් අගෝස්තු මාසයේ පාසල් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බවද ඒ මහතා පවසයි.

නමුදු ආණ්ඩුවට එන්නත්කරණයේදී කිසිදු ප්‍රතිඵත්තියක් නොතිබුණු බවත් ආණ්ඩුවට අවශ්‍යව තිබුනේ සිදුවන මරණ සංඛ්‍යාත්මකව අඩුකොට පෙන්වීම පමණක් බවත් ඒ මහතා වධාරණය කරයි.

ආණ්ඩුව මිනිස් ජිවිත බිල්ලට දෙමින් ධම්මික පැණියා පස්සේ ගිය බවත් කළගෙඩි සෙල්ලම් සිදුකළ බවත් අවසානයේ එන්නත් කරණයට පැමිණෙන විට හාරදහසකට ආසන්න පිරිසක් කොරෝනා බිලිගෙන අවසන් බවත් මේ සියලු මරණයන් ආණ්ඩුව සිදුකල ඝාතන බවත් ඒවාට ඔවුන් වගකිවයුතු බවත් චම්පික රණවක මහතා අවධාරණය කරයි.

“මේක සාහසික අපරාධයක්. ජාතික අපරාධයක්. ඊළඟට අද මේ එන්නත පිළිබඳවත් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මේ එන්නත ලබා ගත්ත රටවල් විශේෂයෙන්ම තායිලන්තය ඉන්දුනීසියාව රටවල පිරිස් මිය යමින් ඉන්නවා. නිසා මේ එන්නතේ සාර්ථකභාවය පිළිබඳ බරපතළ ගැටලු පැන නැගිලා තියෙනවා. මේ එන්නත අනුමත කිරීම රට පිළිගත්ත විද්‍යාඥයෝ, වෛද්‍ය විශේෂඥයෝ ප්‍රතිෂේප කළහම, ඒගොල්ලෝ මේ වෛද්‍ය නියාමන මණ්ඩලයෙන්, එහෙම නැත්නම් NMR එකෙන් ඉවත් වෙලා යනවා. හැබැයි ව්‍යාපාරික අරමුණු මුල් කරගත්ත ඇමතිවරු, ඒ වගේම නිලධාරීන්, අද මේ එන්නත ඉදිරියට ගෙන යන්න උත්සාහ කරමින් ඉන්න බව කණගාටුවෙන් කියන්න ඕන.

ඒ නිසා එන්නත් ලබා දීමේ ප්‍රතිපත්තියක් තිබුනේ නෑ ආණ්ඩුවට. රටේ ජනතාවගේ ජීවිත ගලවා ගන්නවද? එහෙම නැත්නම් ආර්ථිකය ගලෝගන්නවද? කියන කාරණා ගැන රජයට ප්‍රතිපත්තියක් තිබුනේ නෑ. රජය මුලින්ම කළ යුතුව තිබුණේ පාසල් දරුවන්ට එන්නත ලබා දීම. එතෙන්දිත් වැඩිහිටි ගුරුවරුන්ට මුලින් එන්නත ලබා දීලා, ඊළඟට තරුණ ගුරුවරුන්ට එන්නත ලබා දීමට කටයුතු කිරීම. ඒ නිසා ඔය දැන් විවෘත කරලා තියෙන මධ්‍යස්ථාන වල දින කිහිපයක් ඇතුළත මේ එන්නත ගුරුවරුන්ට ලබාදීමේ ප්‍රතිපත්තියක් ඇති කිරීමයි කළ යුතුව තිබුණේ.

වාර්තා වෙලා තියෙන අන්දමට ඉතාමත් අඩුවෙන් තමයි ගුරුවරු මේ එන්නත් කරණයට යටත් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්නයට ප්‍රතිපත්තියක් නොමැති වීම බරපතළ ප්‍රශ්නයක්. වැදගත්ම දේ එන්නතට මේ සීග්‍රයෙන් පැතිරීගෙන යන ප්‍රභේදය ඔරොත්තු දෙන්නෑ කියන එක දැන් ලෝකය පුරාම වැඩි වැඩියෙන් ඔප්පු වෙමින් තියෙනවා.

එම එන්නත මෙහෙ ගෙනත් ප්‍රචලිත කිරීමට දරන උත්සාහයම ඇත්ත වශයෙන්ම ඉතාමත්ම භයානක ප්‍රතිඵල දෙන එකක් බව    වෛද්‍ය විශේෂඥයන්ගේ මතයයි. එමනිසා එම එන්නතට අවසර දීම හා විශේෂඥයන් ඉවත් වීම ගැන රජය වහාම ජනතාවට කරුණු පැවසිය යුතු බව ඒ මහතා පවසා සිටියේය.”

එහිදී අගෝස්තු මාසය වනවිට පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවානම්  ලක්ෂ දෙකහමාරක ගුරුභවතුන් සහ විශ්වවිද්‍යාල ගුරුවරු එන්නත් කර අවසන් කලයුතු බවත් එය ධම්මික පැණිය සේ හුරතල් කල නොහැකි කාරණයක් බව චම්පික රණවක මහතා පවසන ලදී.

එමෙන්ම මේ වනවිට දැඩි ගැටලුකාරී ප්‍රශ්නයක් වී ඇති ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ප්‍රශ්නයට නිසි විසදුමක් ලබානොදී ආණ්ඩුව තම කටකාර අනුවණ දේශපාලඥයන් ලවා දෙවිවරුන් වැනි ගුරුවරුන්ට “කාලකන්නි” යනුවෙන් හැදින්වීමට තරම් පහත් තැනට පත්ව ඇති බව ඒ මහතා පවසයි.

1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ උපදේශිකාවක් ලෙස කටයුතු කල තාරා දි මෙල් මහත්මිය හා විදුහල්පතිවරයෙක් වූ රිචඩ් පතිරණ මැතිතුමා විසින් හඳුන්වා දුන් ගුරුවරුන්ගේ සුවිශේෂී වැටුප් තලය ඉන් පසුව කිසිදු රජයකින් ක්‍රියාත්මක නොකිරීම මේ ගැටලු වලට හේතුවක් වූ බවත් එම වැටුප් තලයට අනෙක් රාජ්‍ය සේවකයන් අකමැති වීම හේතු කොටගෙන “බී. සී. පෙරේරා නැමති වාර්තාවක්” නිකුත් වීමත් සමග අද වනතෙක් එනම් දශක දෙකක් ගෙවී ගියත් තවමත් ගුරුවරුන්ට වැටුප් විෂමතාවයක් පැමිණ නොමැති බව චම්පික රණවක මහතා අවදාරණය කරයි.

“ඒ වගේම අපේ යහපාලන රජය මේ පිළිබඳව වැටුප් වැඩි කිරීමක් කළා රජය සේවකයින්ට. රුපියල් දහදාහක. ඊළඟට වසර හතරක් ඇතුළත ඒක මූලික වැටුපට ඇතුලත් කරලා තිබුණේ. ඒ වගේම රනුක්ගේ කොමිසම දාලා මේ ගුරුවරු සහ අනෙකුත් වෘත්තීය මට්ටමේ පිරිස් වලට ඇතිවෙලා තියෙන වැටුප් විෂමතාවය මුල් කරගෙන ඒ වැටුප් විෂමතාවය ඉවත් කිරීම සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කළා. ඒ සියල්ලම 2020 ජනවාරි මාසේ ඉඳන් ක්‍රියාත්මක කරන්න තිබුණේ. හැබැයි 2020 ජනවාරි මාසේ ඉඳන් අවසාන වැටුප් වර්ධකය රාජ්‍ය සේවයේ දාහතර ලක්ෂයකට අහිමි කළා ගුරුවරුන්ද ඇතුළුව. ඊළඟට රනුක්ගේ කොමිසමේ වාර්තාවේ ඒ ලබාදීපු සියලුම නිර්දේශ ඉවත දැම්මා.ඒ විදිහට අද ගුරුවරුන්ට සටන් මගට පිවිසෙන්න වාතාවරණය හදලා දුන්නා. මේ ගැන කොමිටි වාර්තා ගණනාවක් දීලා තියෙනවා.

ඊයේ සහ පෙරේදා ගුරු වෘත්තීය සමිතිත් එක්ක අධ්‍යාපන ඇමතිතුමා සාකච්ඡා කළා. එතුමා ඒ තමන්ගේ වැටුප් විෂමතාවය තුරන් කරන ඒ සුත්‍රය ගුරුවරුන්ට ඉදිරිපත් කළේ නෑ. ඒ කැබිනට් මණ්ඩලයට දානවා කිව්වා. ඇත්ත වශයෙන්ම කළ යුතුව තිබුණේ කුමක්ද? එතුමා කළ යුතුව තිබුණේ ගුරුවරු එක්ක සාකච්ඡා කරලා, ගුරුවරු එකඟතාවයක් ඇතිකරගන්න, දෙපිරිස එකඟතාවයක් ඇතිකරගන්නා දෙයක් මුදල් අමාත්‍යංශයත් එක්ක කතා කරලා කැබිනට් එකට යන එක. දැන් කැබිනට් එකට ගියා කියලා වැඩක් වෙන්නේ නෑ.

2020 ජනවාරි මාසේ ඉඳන් අහිමි කළ වැටුප් වර්ධක, ගුරුවරුන්ටත්, රාජ්‍ය සේවයටත් ලබා දෙන්න කියන එක අපි අවධාරණය කරනවා. මේ ගැන ඔවුන් ජාතියෙන් සමාව ගන්නැතුව මේ ආණ්ඩුවට ඉදිරි ගමනක් නෑ.

ඒ විතරක් නෙවෙයි, අපි අමතක කරන්න හොඳ නෑ. අපේ රුපියල අද බාල්දු කරලා තියෙනවා. බිලියන දාහක් අච්චු ගහලා ලෝක වාර්තාවක් තියලා, සිම්බාබ්වේ මගට යාම නිසා, බඩු මිල සීග්‍රයෙන් ඉහළ යාම නිසා, ඇත්තටම වැටුපේ වටිනාකම මේ වෙනකොට සියයට පනහකින් පමණ අවප්‍රමාණය වෙලා තියෙනවා. ගුරුවරු, රාජ්‍ය සේවකයෝ ඇතුළු සියලුම සමාජ පිරිස් වලට මේක අද තදින් බලපාලා තියෙනවා.

යහපාලන ආණ්ඩුව විසින් ඇති කරපු වැටුප් වර්ධක, ගුරුවරු ඇතුළු සියලුම අයට 2020 ජනවාරි මාසේ ඉඳන් ලබා දිය යුතුයි කියන එක අපි අවධාරණය කරනවා.” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා අවදාරණය කර සිටියේය.