කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ‘එළවළු අලෙවිකරන’ ජංගම වෙළෙදුන්ගෙන් කළ ඉල්ලීම

කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ‘එළවළු අලෙවිකරන’ ජංගම වෙළෙදුන්ගෙන් කළ ඉල්ලීම
Spread the love

විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවලින්ඉතාම  සාධාරණ මිලට ලබා ගන්නා එළවළු අධික ලාභයක් තබා ගනිමින් ජනතාවට අලෙවි නොකරන ලෙස කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා එළවළු අලෙවිකරන ජංගම වෙළෙදුන්ගෙන් ඉල්ලා සිටී.

අමාත්‍යවරයා කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථානවලින් මිලදී ගන්නා එළවළු ජංගම වෙළෙදුන් විසින් තුන් ගුණයකින් වැඩි මිලට අලෙවිකරන බවට තමාට පැමිණිලි ලැබී ඇති බවයි.

ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමින් එළවළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කිරීමට එක් ග්‍රාම නිලධාරී වසමකට එක් සිල්ලර වෙළෙද සැලක් බැගින් විවෘතව තැබීමට අවසර ලබා දී ඇති බව කී අමාත්‍යවරයා කොළඹ දිස්ත්‍රික්කයේ එළවළු අලෙවිය සදහා ජංගම වෙළෙදුන් 8500 කින් පමණ ඉල්ලීම් ලැබී ඇති බව ද සදහන් කළේය.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා මේ බව සදහන් කළේ අද (30) නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කටයුතු නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙනි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා ආර්ථික මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ ව්‍යාපාරිකයින් සමග ඔවුන් මුහුණ දෙන දෛනික ගැටලු සහ ඒවා විසදා ගත හැකි තිරසාර වැඩපිළිවෙළක් ගැන ද සාකච්ඡා කළේය.

මෙහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ආර්ථික මධ්‍යස්ථානවලට ලැබී ඇති එළවළු තොග සහ ඒවා බෙදා හැරීමට යොදා ඇති වැඩපිළිවෙළ ගැන ප්‍රශ්න කළේය.

එහිදී මාධ්‍යවේදීන් පෙන්වා දුන්නේ අද දින (30) දඹුල්ල, කැප්පෙටිපොළ සහ බණ්ඩාරවෙල වැනි විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු තොග විශාල වශයෙන් ලැබී ඇති බවයි. එම එළවළු තොග බෙදා හැරීම සදහා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය විසින් යොදා ඇති වැඩපිළිවෙළ ගැන ඔවුන් ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කළේය.

මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා මෙසේ සදහන් කළේය.

‘‘අපි අද මුළු රටේම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කළේ  ප්‍රධාන වශයෙන්ම තොග වෙළෙද කටයුතු සදහා පමණයි. හෙට සිට තමයි සිල්ලර වෙළෙද කටයුතු සිදුවෙන්නේ. මේ වන විට අපේ අමාත්‍යාංශයේ මෙහෙයවීම මත දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අවසරය මත රටේ සෑම නගරයක්ම ගමක්ම ආවරණය වන පරිදි ජනතාව ළගටම ගොස් එළවළු සහ පලතුරු අලෙවි කිරීම සදහා දීප ව්‍යාප්ත ජංගම සේවයක් ආරම්භ කරලා තිබෙනවා. එය අද සිටම ආරම්භ වුණා.

අපට ප්‍රධාන වශයෙන්ම අභියෝගයක් ආවොත් එන්නේ බස්නාහිර පළාතෙන් තමයි. මේ තත්ත්වය මත අපි හෙට දින නරාහේන්පිට, වැලිසර, මීගොඩ, රත්මලාන ඇතුළු බස්නාහිර පළාතේ තිබෙන සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරනවා. කොළඹ දිස්ත්‍රික්කය උදාහරණයට ගතහොත් මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ ජංගම වෙළෙදාම සදහා 8500 කට වැඩි පිරිසක් අවසර ඉල්ලා තිබෙනවා. මේ අනුව අපි හිතනවා බස්නාහිර පළාතේ එළවළු බෙදා හැරීම අපි අපේක්ෂා කළ ආකාරයටම සාර්ථක වේවි කියලා.

ඒ වගේම තමයි යම් කිසි ස්ථානයක එළවළු සැයපුමේ යම් කිසි අඩුවක් සිදු වුණොත් ඒ ගැන අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් අවශ්‍ය පියවර කඩිනමින් ගන්න පුළුවන්. අපි මෙවැනි ඉල්ලීම්වලට කඩිනම් ප්‍රතිචාර දැක්වීම සදහා විශේෂ දුරකථන අංකයක් ප්‍රකාශයට පත්කරලා තිබෙනවා.

මෙහිදී මාධ්‍යවේදීන් රාජ්‍ය ඇමතිවරයාගෙන් ප්‍රශ්න කළේ රටේ සෙසු දිස්ත්‍රික්කවල එළවළු බෙදා හැරීම සදහා යොදා ඇති වැඩපිළිවෙළ කුමක්ද යන්නයි.

එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අද දින මෙන්ම හෙට (31) දින ද දඹුල්ල, නුවරඑළිය, තඹුත්තේගම, කැප්පෙටිපොළ, බණ්ඩාරවෙළ ඇතුළු රටේ සෙසු පළාත්වල ක්‍රියාත්මක වන සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තබන බවත් එම පළාත්වල තොග ව්‍යාපාරිකයින්ට අදාළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවලින් එළවළු මිලදී ගැනීමට සියලු පහසුකම් සපයා ඇති බවත්ය. ඒ අනුව ජංගම වෙළෙදුන් හරහා අදාළ පළාත්වල එළවළු බෙදා හැරීම විධිමත්ව සිදුවනු ඇති බවත් ආර්ථික මධ්‍යස්ථාන හරහා එළවළු තොග වෙළෙදාම ද ජංගම වෙළෙදුන් හරහා සිල්ලර වෙළෙදාම ද විධිමත් පරිදි සිදුවනු ඇතැයි ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී මාධ්‍ය වේදීන් ඇමැතිවරයාගෙන් ග්‍රාමීය වශයෙන් සිදුවන සිල්ලර වෙළදාම සිදුවන ආකාරය ගැන ද ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කියා සිටියේ ග්‍රාමසේවක වසමකට එක් සිල්ලර කඩයක් බැගින් විවෘතව තැබීමට පියවර ගන්නා බවයි. ඒ සදහා ආදාළ ග්‍රාම නිලධාරී වසම භාර ග්‍රාම නිලධාරීවරයා ඇතුළු  කමිටුව විසින් අවශ්‍ය පියවර ගනු ඇති බව ද ඇමතිවරයා කියා සිටියේය.

මෙහිදී දඹුල්ලට විශාල වශයෙන් ලැබුණ් එළවළු තොග සහ ඇඹිලිපිටියට ලැබුණු කෙසෙල් තොග විධිමත් පරිදි බෙදාහැර ඇත්දැයි මාධ්‍යවේදීන් ඇමැතිවරයාගෙන් විමසා සිටියේය.

ඊට පිළිතුරු දුන් කෘෂිකර්ම රාජ්‍ය ඇමැතිවරයා, ‘‘ මේ වන විට දඹුල්ලට වාහන 2537 කින් එළවළු කිලෝ ලක්ෂ 31ක් පමණ ලැබිලා තිබෙනවා. එම එළවළු තොගයෙන් විශාල ප්‍රමාණයක් මේ වන විට අලෙවි කිරීමට අපට හැකියාව ලැබුණා. ඒ සියල්ල අද දිනය තුළ අලෙවි කිරීමට අපට හැකිවෙයි කියලා හිතනවා. ඒ වගේම තමයි අපි ආර්ථික මධ්‍යස්ථාන පාලනාධිකාරියට විශේෂ දැනුම් දීමක් කරලා තිබෙනවා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය කරමින් මේ ආර්ථික මධ්‍යස්ථාන පැය 24 පුරාම හෝ විවෘතව තබා සියලු එළවළු තොග අලෙවි කරන්න කියලා‘”

මෙහිදී ජංගම වෙළෙදුන් විසින් පරිභෝගිකයින්ගෙන් අධික මිලක් අය කිරීමට ඇති හැකියාව සහ එය වැළැක්වීමට අමාත්‍යාංශය මගින් ගෙන ඇති පියවර පිළිබදව ද මාධ්‍යවේදීන්  ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කළහ.

ඊට පිළිතරු දෙමින් ඇමැතිවරයා කියා සිටියේ තමාට ද එවැනි පැමිණිලි ලැබී ඇති බවයි. ඉතාම සාධාරණ මිලකට ජංගම වෙළෙදුන්  ආර්ථික මධ්‍යස්ථානවලින් මිලදී ගන්නා එළවළු පරිභෝගිකයා අතට පත්වන විට එය තුන් ගුණයකින් වැඩි වන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.

මෙම අක්‍රමිකතාව වැළැක්වීමට අද දිනම කඩිනම් පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය. “අපි රූපවාහිනී මාධ්‍ය හරහා ආර්ථික මධ්‍යස්ථානවල එළවළු තොග මිල ගණන් පිළිබද සියලු තොරතුරු ජනතාවට දැනුම්දීමට පියවර ගෙන තිබෙනවා. එමගින් ජංගම වෙළෙදුන් අතින් සිදුවන මේ ඉහළ මිල ගණන් අය කිරීම වැළැක්වීමට අපට හැකියාව ලැබෙයි”

නීති මගින් හෝ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් මගින් ජංගම වෙළෙදුන් විසින් සිදුකරන අක්‍රමිකතා පාලනය කිරීමට හැකියාව ඇතත් එවැනි පියවරකට යාමට අපේක්ෂා නොකරන බව කී කෘෂිකර්ම රාජ්‍ය ආමාත්‍යවරයා සාධාරණ ලාභයක් තබා ගනිමින් මේ අසීරු අවස්ථාවේ ජනතාවට සේවය සපයන මෙන් ජංගම වෙළෙදුන්ගෙන්  කාරුණික ආයාචනයක් ද කළේය.