කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ගැන ‘ජනපති දුන් සහතිකය‘

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ගැන ‘ජනපති දුන් සහතිකය‘
Spread the love

කොවිඩ් මර්දනයට එන්නත්කරණය ඇතුළුව රජය ගෙනයන වැඩපිළිවෙළ සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහා සංඝරත්නය දැනුවත් කරයි.

ජනවාරි මස 28 වන දින ඇස්ට්‍රාසෙනිකා පළමු එන්නත් තොගය ලැබීමේ සිට මේ දක්වා ලද සියලුම එන්නත් ලැබීම් සහ දිස්ත්‍රික්ක මට්ටමින් දිවයින පුරා ක්‍රියාත්මක කළ එන්නත්කරණ වැඩපිළිවෙළින් අගෝස්තු මාසය අවසන් වීමට පෙර වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත් මාත්‍රා දෙකම ලබාදී අවසන් කළ හැකි බවට ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය. එමෙන්ම දළදා පෙරහර මංගල්‍යයට පෙර මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය ඇගයීමට ලක්කර ඇති අතර එන්නත්කරණයෙන් දකුණු ආසියාවේ ඉදිරියෙන්ම සිටින රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

බෞද්ධ උපදේශක සභාව ඊයේ (16) පස්වරුවේ 11 වෙනි වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

රටේ අනාගතය සඳහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණවලට ඇතැම් පිරිස් විචාරයකින් තොරව එරෙහි වීම අනාගත පරපුරට කරන බලවත් අසාධාරණයක් බව රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වසර 40ක කාලයක් පුරා මෙරටට අවශ්‍ය විද්වතුන් විශාල සංඛ්‍යාවක් දායාද කර ඇති බවත් උසස් පෙළ ඉහළින්ම සමත් වන දරුවන් පවා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සිය උසස් අධ්‍යාපනය සඳහා තෝරාගැනීමට දැඩි උනන්දුවකින් පෙළඹී සිටින බවත් ජනාධිපතිවරයා පැවසීය.

උසස් අධ්‍යාපනය සඳහා තම දරුවන් විදේශ රටවලට යැවීමෙන් රටට සහ දෙමව්පියන්ට අහිමි වන විශාල මුදලක් ඉතිරි කරගැනීමට නම් ඉහළ ප්‍රමිතියෙන් යුත් මෙවැනි විශ්වවිද්‍යාල රට තුළ බිහිවීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ ඇති බාධා ඉවත් කර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඒ යටතට ගෙන එන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

කොවිඩ් මර්දනය සඳහා ආරම්භයේ සිටම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙනගිය වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළ මහා සංඝරත්නය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් වූ අරමුණු පිළිබඳව ජනතාව දැනුවත් කර සමාජය තුළ පැතිර යන වැරදි මතවාද වැළැක්වීමට පියවර ගැනීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්හ.

බෞද්ධ උපදේශක සභාවේ සාමාජික මහා සංඝරත්නය, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අමාත්‍යාංශ ලේකම්වරු හා රාජ්‍ය නිලධාරීහු  බෞද්ධ උපදේශක සභා රැස්වීමට සහභාගී වූහ.