කොවිඩ් ආසාදිතයින් පදිංචි ආසන්නතම ප්‍රතිකාර මධ්‍යස්ථානවලට

කොවිඩ් ආසාදිතයින් පදිංචි ආසන්නතම ප්‍රතිකාර මධ්‍යස්ථානවලට
Spread the love

වත්මන් කොවිඩ් මර්දන වැඩපිළිවෙල සම්බන්ධව  ක්ෂණික තීරණ ගැනීම සඳහා වු COVID – 19 විශේෂ ක්‍රියාකාරී කාර්යය සාධන කමිටුව අද පෙරවරුවේ (17) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ  වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

මෙහිදී ප්‍රධාන තීරණ කිහිපයකට එළඹුණු අතර කොවිඩ් 19 වෛරසය ආසාදනය වන ආසාදිතයින්ට පදිංචි ආසන්නතම ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට සහ අතරමැදි මධ්‍යස්ථාන වලට යොමු කරමින් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට තීරණය කරන ලදී. යම් කෙනෙකු ආසාදිතයෙකු වු විට ඔහුට සහ ඔහුගේ පවුල් වලට බලපාන දැඩි මානසික පීඩනය පිළිබඳව අවධානය යොමු කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කමිටුවේ දී මෙම තීරණය කරන ගන්නා ලදී.

දැනට සෞඛ්‍ය අමාත්‍යංශයට අමතරව විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන විසින් ඉදි කරමින් යනු ලබන ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීමටත්, වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කඩිනමින් ලබා දීමට තීරණය විය. මෙහි දී වැඩිපුර සෞඛ්‍ය කාර්ය මණ්ඩල සිටින රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන වලින් මෙම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට කාර්ය මණ්ඩල යොමු කිරීමට තීරණය කරන ලදී.

එමෙන්ම දෙවන එන්නත් මාත්‍රාව ලබා දීමට අවශ්‍ය එන්නත් තොග ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනම් කිරීමට රාජ්‍ය ඖෂධ සංස්ථාවට උපදෙස් ලබා දුන් අතර කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීමට සිදු කරන පී.සී.ආර් පරීක්ෂණ වලට සමගාමීව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වැඩි වශයෙන් ක්ෂේත්‍රයේ දී සිදු කිරීමට කටයුතු කරන ලෙසට ද මෙම කමිටුවේ දී තීරණය විය.