කොවිඩ් ආසාදිත දරුවන්ට වැළදෙන මාරාන්තික රෝගයක් ගැන හෙළිදරව්වක් !

කොවිඩ් ආසාදිත දරුවන්ට වැළදෙන මාරාන්තික රෝගයක් ගැන හෙළිදරව්වක් !
Spread the love

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ දරුවන් අතර Silent hypoxia නමැති ඉතා බරපතළ තත්ත්වයක් මතුවී තිබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පැවසුවේය.

විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා මේ බව හෙළි කළේ අද (24) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙම රෝගී තත්ත්වය ‘නිහඬ මාරයෙකු‘ හැදින්වූ කිතුල්වත්ත මහතා කොරෝනා වෛරසය ආසදනය වූ දරුවෙකුට මෙම රෝගී තත්ත්වය මතුවිය හැකි බව ද පැවසුවේය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා, ‘‘ කොවිඩ්-19 ආසාදනය වීමෙන් පසු සුව වූ දරුවෙකු සාමාන්‍ය පරිදි කටයුතු කිරීමේදී හෝ සෙල්ලම් කිරීමේදී නොදැනුවත්වම රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩුවීම තමයි Silent hypoxia රෝගී තත්ත්වයේ විශේෂත්වය වන්නේ. සාමාන්‍යයෙන් රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩුවීමේදී හුස්ම ගැනීමේ අපහසුව, කතා කිරීමේ අපහසුව ආදිය පෙන්නුම් කළ ද මෙම රෝගී තත්ත්වයේදී එලෙස පූර්ව ලක්ෂණ මතු නොවීමට විශේෂත්වයක්. ඒ හේතුවෙන් කොරෝනා ආසාදනය වී තිබෙන දරුවන්ගේ දවසකට වරක් හෝ ඔක්සිජන් ප්‍රතිශතය මැන බැලිය යුතුයි. ඒ අතර සෙල්ලම් කිරීමෙන් පසු ඔක්සිජන් ප්‍රතිශතය 94%ට වඩා අඩුනම් සහ සාමාන්‍ය පරිදි සිටින විට 96%ට වඩා අඩුනම් වහාම එම දරුවා රෝහල් ගත කළ යුතුයි.

‘‘ ඇල්ෆා ප්‍රභේදයේදී දරුවන්ට කොරෝනා ආසාදනය වුවද රෝග ලක්ෂණ එතරම් පෙන්නුම් නොකළ ද ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තියත් සමග රෝග ලක්ෂණ මතුවීම වැඩිවී තිබෙනවා. රිජ්වේ ආර්ය ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත වූ දරුවන් ප්‍රමාණය අඩුවුවද දැඩි සත්කාර අවශ්‍ය දරුවන් ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා. මේ ආකාරයෙන් රෝහල්ගත වන රෝගී දරුවන්ගේ ප්‍රමාණය අඩුවී තිබෙන්නේ නිවෙස් තුළ ප්‍රතිකාර කිරීමට තීරණය කිරීමත් සමග බවයි අපි හිතන්නේ‘‘

‘‘මම මෙහිදී විශේෂයෙන් යමක් සිහිපත් කළ යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හදුන්වා දුන් කොරෝනා අසාදනය වූ දරුවන් නිවෙස් තුළ රැකබලාගැනීමේ වැඩසටහනද ඉතා සාර්ථක වී තිබෙනවා. ඒ වගේම තමයි වයස 12ත් 18ත් අතර දරුවන්ට දැනට ලබාදීමට හැකි බවට පිළිගෙන තිබෙන මොඩර්නා සහ ෆයිසර් එන්නත් ලැබෙන ආකාරය අනුව එම දරුවන්ට ලබාදීමට තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් දැනටමත් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සාකච්ජා පවත්වමින් සිටිනවා. ඒ අනුව එම වයස් කාණ්ඩයේ විවිධ සංකූලතා සහ නිධන්ගත රෝග තිබෙන දරුවන්ට එන්නත්කරණයේදී ප්‍රමුඛතාව ලබාදීමට තීරණය කර තිබෙනවා‘