කොවිඩ් -19 රෝග ලක්ෂණ පවතින පුද්ගලයෙකු කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීම නිෂ්ඵල ක්‍රියාවක් බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියයි.
කොළඹ අද (16) පැවති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙම අදහස් පළ කළේය.
මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ සුදත් සමරවීර මහතා, “යම් කෙනෙක් ආසාදිතයෙක් නම් ඒ ආසාදිතයා ගිහින් කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ. මොකද දැනටමත් ඔහුගේ ශරීරය තුළ වෛරසය තිබෙන නිසා එය නිෂ්ඵල දෙයක් බවට පතවෙනවා. ඒ නිසා දැනට නිරෝධායනය වෙන අය සහ ආසාදිත වෙයි කියලා සැක කරන අයට මේ එන්නත් ලබාදීම අපි ප්‍රමාද කරනවා. කොවිඩ් රෝග ලක්ෂණ වසන් කරලා එන්නත ගැනීමෙන් ද කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒ වගේම එය සුදුසුත් නැහැ”
මෙහිදී කොවිඩ් ආසාදිත, නමුත් සුළු රෝග ලක්ෂණ ඇති ආසාදිතයින් ගැන විශේෂයෙන් පැහැදිලි කිරීමක් කළ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා, “කොවිඩ් -19 ආසාදනය වුණාට පස්සේ ඔහුට රෝග ලක්ෂණ නැති නම් හෝ සුළු රෝග ලක්ෂණ පමණක් තිබේ නම් ඔවුන්ගේ වෛරසයේ තියෙන බලපෑම, ඒ වෛරසයෙන් තවත් කෙනෙකුට ආසාදනය වෙන්න තියෙන බලපෑම් දින 10ත් 14ත් අතර කාලයකදී සම්පූර්ණයෙන්ම නැතුව යනවා. ඒ නිසා අපි රෝහල්වලට සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ඇතුළත් කරන ආසාදිත නමුත් රෝග ලක්ෂණ නැති අය දින 10කින් නිවෙස්වලට පිටත්කර හරිනවා. ඔවුන් තවත් දින 4ක් නිවසේම රැඳී සිටිය යුතුයි. ඒ දින 14 ගත වුණාට පසුව ඔවුන්ට දෛනික කටයුතු කරගන්න පුළුවන්.”
මේ අතර ප්‍රසව හා නාරීවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත සේනානායක මහතා ‘අද දෙරණ‘ සමග වැදගත් හෙළිකිරීමක් කර තිබෙනවා. මෙහිදී විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය සේනානායක මහතා පෙන්වා දෙන්නේ අධිබර ගැබිණි මව්වරුන්, ස්ථූල කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයටම කොවිඩ් ආසාදනය වුවහොත් දැඩි සංකූලතා ඇති විය හැකි බවයි.
‘‘අධිබර කාණ්ඩයේ පිරිමි අයට වුණත් කොවිඩ් ආසාදනය වුණොත් තියෙන සංකූලතා වැඩි වෙනවා. උග්‍ර අතට හැරෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි වෙනවා‘‘ යැයි මහාචාර්යවරයා අවධාරණය කරනවා.