කොවිඩ් මර්දනයේදී සෞඛ්‍ය බලධාරීන්ට ජනපති දුන් අලුත්ම නියෝගය

කොවිඩ් මර්දනයේදී සෞඛ්‍ය බලධාරීන්ට ජනපති දුන් අලුත්ම නියෝගය
Spread the love

වයස අවුරුදු 60ට වැඩි සහ බෝ නොවන රෝගවලින් දීර්ඝ කාලීනව පීඩා විඳින අය කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දෙයි.

ගත වූ දින කිහිපය තුළ සිදුව ඇති මරණ පිළිබඳ කළ විමර්ශනයන්ට අනුව ඉන් වැඩි දෙනෙක් බස්නාහිර පළාතට අයත් වෙති. මේ පිරිසෙන් ඉහළ ප්‍රතිශතයක් වයස අවුරුදු 60ට වැඩි, එන්නත ලබා නොගත් සහ බෝ නොවන රෝගවලින් පෙළෙන අය බව හඳුනාගෙන තිබේ. එම නිසා වයස අවුරුදු 60ට වැඩි සහ බෝ නොවන රෝගවලින් දීර්ඝකාලීනව පෙළෙන අය කෙරෙහි අවධානය යොමු කර විශේෂ වැඩපිළිවෙළක් සැකසීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමේ දී  60ට වැඩි සහ විවිධ ලෙඩ රෝගවලින් පෙළෙන අයට ප්‍රමුඛතාව දිය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය. වකුගඩු බද්ධ කිරීමට හෝ රුධිර කාන්දුකරණයට ලක්කර ඇති රෝගීන් හුදකලා (Isolate) කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට රෝහල් සායනවල ලියාපදිංචි වී ඇති රෝගින්ගේ විස්තර ගෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ විශේෂ අවධානයට යොමු කිරීමේ අවශ්‍යතාව සාකච්ඡාවට ලක් කෙරිණ.

බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි එහෙත් විවිධ රෝග හේතුවෙන් මෙතෙක් එන්නත ගැනීමට නොපැමිණි පිරිස හඳුනාගෙන තිබේ. ඔවුන් සියලුදෙනාට ඉදිරි දින කිහිපය තුළ එන්නත ලබාදීමට පියවර ගෙන ඇතැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

එක් එන්නතක් ලබා තිබීම, රෝගයෙන් ආරක්ෂාවීමට ප්‍රමාණවත් නොවේ. එම නිසා එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ප්‍රතිශක්තීකරණ වර්ධන කාලසීමාවට පැමිණෙන තෙක් වගකීමෙන් ක්‍රියා කළ යුතු බව කොවිඩ් කමිටුවේ සාමාජික විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දුන්හ.

ජනතා ඒකරාශීවීම් වලක්වා ගැනීම, විශේෂ අවශ්‍යතාවක් සහ රාජකාරී සඳහා කැඳවා නැති සියලු දෙනා නිවෙස්වල රැඳී සිටීම සහ සෞඛ්‍ය උපදෙස් පිළිපඳිමින් රෝගය පැතිරයෑම වැළැක්වීමට සහායවීම ජනතාවගේ යුතුකම හා වගකීම බව වෛද්‍යවරු අවධාරණය කළහ.