කොවිඩ් වසංගතය ගැන ‘බරපතළ‘ අනතුරු ඇගයීම් 02ක්

කොවිඩ් වසංගතය ගැන ‘බරපතළ‘ අනතුරු ඇගයීම් 02ක්
Spread the love

ජනතාව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකළහොත් තවත් සති දහයකින් පමණ පසු මෙරටේ ප්‍රධාන කොවිඩ් ප්‍රභේදය බවට ඉන්දීය සැර ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය පත්විය හැකි බවට වෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟවා ඇතැයි කොරෝනා මර්ධන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියයි.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ රාජ්‍ය අමාත්‍යවරිය මෙසේද කීවාය. ‘රටේ සෞඛ්‍යමය අවදානම කිසිසේම පහව ගොස් නැහැ. ඩෙල්ටා ප්‍රභේදය මතුවීමේ අවදානමක් තිබෙනවා. මේ තත්වය නිසා සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කරන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එසේ කටයුතු නොකළහොත් ලොකු අවදානමක් මතුවිය හැකියි. කොරෝනාවලින් වැඩියෙන්ම මිය යන්නේ 60ට වැඩි අයයි. ඒ පිරිස්වලට එන්නත් එන්නත්කරණයේදි වැඩි අවධානය යොමු කිරීමට රජය තීරණය කර ඇත්තේ ඒ නිසා‘ යැයි ද අමාත්‍යවරිය කීවාය.

මේ අතර බස්නාහිර පළාතේ ඇඳුම් කඩ සාප්පු හා සාප්පු සංකීර්ණ විවෘත කිරීම තහනම් කර තිබියදී එවැනි බොහෝ සාප්පු විවෘත කර පවත්වාගෙන යෑම නිසා ඒ හරහා ලොකු කොරෝනා අවදානමක් මතුවී ඇතැයි බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය පැවසුවාය. මෙම ඇඳුම් සාප්පු සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මකවී ඒවා වසා දැමීමට පියවර ගන්නැයි පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට දැනුම් දී ඇතැයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කළාය.