කොවිඩ්-19 (ඉටුකම) සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය එන්නත්කරණයට

කොවිඩ්-19 (ඉටුකම) සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය එන්නත්කරණයට
Spread the love

කොවිඩ්-19 (ඉටුකම) සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ මේ වනවිට පවතින රුපියල් 1,360,922,969.24ක ශේෂය එන්නත්කරණය සඳහා යෙදවීමට තීරණය කෙරේ.

අරමුදලට බැර වූ මුළු මුදල රු. 1,752,402,793.24කි. මේ වනවිට වැය කර ඇති මුදල රුපියල් 391,479,824.00 ක් වේ. එය සමස්ථ එකතු වූ මුදලින් 23% කි.

ඉතිරිව ඇති ශේෂය එන්නත්කරණ සඳහා රජය වැය කිරීමට අපේක්ෂිත මුදලට සාපේක්ෂව ඉතා‍ කුඩා ප්‍රමාණයකි. එහෙත් අරමුදලේ ශේෂය එන්නත්කරණය සඳහා යෙදවීමේ වැදගත්කම අරමුදලේ කළමනාකරණ මණ්ඩලය විසින් පෙන්වා දී තිබේ.

අරමුදල මුදල් වැය කළ ආකාරය පහත පරිදි වේ.

වසංගතය වෙනුවෙන් දරා ඇති වියදම්

  • PCR පරීක්ෂණ ආශ්‍රිත වියදම්                            –        42,605,812.00
  • දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා                    –        67,543,967.00
  • නිරෝධායන කටයුතු සඳහා වූ ආශ්‍රිත වියදම්        –        38,031,065.00
  • පරිපාලන වියදම්                                             –                 3,000.00      

ගෙවීමට ඇති බැරකම්

  • එන්නත්කරණය ආශ්‍රිත වියදම්                          –       41,545,980.00
  • ගිලන් රථ 10ක් මිලදී ගැනීම සඳහා                    –       194,000,000.00
  • ICU ඇඳන් මිලදී ගැනීම සඳහා                         –          7,750,000.00

ගෙවා ඇති සහ ගෙවීමට ඇති මුලු වියදම            –        391,479,824.00

මෙම සියලු වියදම් දරා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය හා යුධ හමුදා මූලස්ථානය මඟිනි.

ජනතාව, දේශීය ආයතන කිහිපයක් හා විදේශයන්හි පදිංචි ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඉටුකම කොවිඩ් අරමුදලට මුදල් පරිත්‍යාග කළහ. ජාත්‍යන්තර මූල්‍ය ආයතන හෝ සංවිධාන කොවිඩ්-19 අරමුදලට දායක වී නැත.

ජාත්‍යන්තර නීති අනුව විදේශ ආධාර හා පරිත්‍යාග සිදු කෙරෙනුයේ මහා භාණ්ඩාගාරය වෙතය. මෙම අරමුදලත්, ජාත්‍යන්තර ආයතන වලින් ලද පරිත්‍යාගත් අතර කිසිදු සම්බන්ධතාවයක් නැත. තවද 2020 වර්ෂය තුල කොවිඩ් 19 අරමුදලට මහජන පරිත්‍යාග වැඩි වශයෙන් ලැබුනද, 2021 වර්ෂයේ අප්‍රේල් මස තෙක් ලැබී ඇති පරිත්‍යාග වල මාසික සාමාන්‍ය රුපියල් මිලියන 7ක් පමණ වේ.

මේ සම්බන්ධයෙන් විවිධ මාධ්‍යයන් තුල ප්‍රචාරණය වන තොරතුරු සත්‍ය නොවන අතර 2020 වර්ෂයේ අරමුදලේ ගිණුම් විගණනය කිරීම සඳහා ජාතික විගණන කාර්යාලය වෙත බාර දී ඇතැයි අරමුදලේ කළමනාකරණ මණ්ඩලය කියා සිටී.