කොවිඩ්-19 මාතෘ මරණ අඩුකරගැනීමට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් නව යෝජනාවක්

කොවිඩ්-19 මාතෘ මරණ අඩුකරගැනීමට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් නව යෝජනාවක්
Spread the love

Covid-19 ආසාදිත වී සිදුවන මාතෘ මරණ අඩුකරගැනීමට නම් ගැබිණි මවුවරුන්ට Covid-19 එන්නත් ලබාදීම කඩිනමින් සිදුකළ යුතු බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා අවධාරණය කරයි.

විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා සඳහන් කරන්නේ ගැබිණි මවුවරුන් විශේෂිත කොටසක් සේ සළකා අවම වශයෙන් එන්නත් මාත්‍රා 50,000ක් වෙන්කර සති 28ට වැඩි මවුවරුන් 25,000ක් හෝ එන්නත් කළ යුතු බවයි.

වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා මේ බව පැවසුවේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ දී අද(18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඔහු මෙසේ ද සදහන් කළේය. ‘‘කොවිඩ් ආසාදිත වී සිදුවන මාතෘ මරණ අඩුකරගැනීමට නම් ගර්භනී මවුවරුන්ට එන්නත් ලබාදීම කඩිනමින් සිදුකළ යුතු බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ අදහසයි. එන්නත්කරණය මගින් කොවිඩ් ආසාදිත වී අසාධ්‍ය වන මවුවරුන් සංඛ්‍යාව මෙන්ම මියයන සංඛ්‍යාව ද අඩුකර ගත හැකියි. විශේෂඥ වෛද්‍ය නිරීක්‍ෂණය යටතේ ගර්භනී කාන්තාවන්ට එන්නත ලබාදීම සුදුසු බවට බෝවන රෝග පිළිබඳ උපදේශක කමිටුව විසින් ද නිර්දේශ කර තිබෙනවා. ඔවුන්ට එන්නත් ලබාදීම පිළිබඳ සැලැස්මක් සකස් කරන ලෙස ද බෝවන රෝග පිළිබඳ උපදේශක කමිටුව විසින් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්‍ෂතුමියට දැනුම් දී තිබෙනවා‘‘