කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතේ ‘ශ්‍රේෂ්ඨාධිකරණය දුන්’ සම්පූර්ණ තීන්දුව මෙන්න !

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතේ ‘ශ්‍රේෂ්ඨාධිකරණය දුන්’ සම්පූර්ණ තීන්දුව මෙන්න !
Spread the love

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ පරිච්ඡේද 8ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (3/2) බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම්දී තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

කථානායකවරයාට ලැබී තිබූ අදාළ තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, පනත් කෙටුම්පත කියවා බැලූ විට “එහි නියාමන ව්‍යුහය අපැහැදිලි බවත් එම කොමිෂන් සභාවට අත්තනෝමතික බලයක් ලැබෙන බවත්” එබැවින් ව්‍යවස්ථාවේ 12 (01) වගන්තිය හා අනනුකූල බවය. එම වගන්ති සංශෝධනය කිරීම කළ හැකි ආකාරය සම්බන්ධයෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව කෙටුම්පතේ  3(6),  30(3),  55(2) සහ 58(1),  3(5), 3(7), 6(1) (ආ), 30(3) , 71(1) සහ 74 (අර්ථ නිරූපණය “නියාමන අධිකාරිය“) යන වගන්තිවල විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බැවින් එය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත විය යුතුය.

එමෙන්ම පනත කෙටුම්පතේ 30 (1), 33(1), 40(2), 71(2) (ඕ), 60(ඈ), 60(ඊ), 37, 12(1) සහ 14(1) (උ) වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බැවින් එය ද පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයිකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් වේ.

කෙසේවෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙහි සඳහන් පරිදි එම වගන්ති සංශෝධනය කරන්නේ නම් එම අනනුකූලතාවයෙන් ඉවත්ව වේ.

මේ අතර පනත් කෙටුම්පතේ වගන්ති 9ක් සඳහා පාර්ලිමේනතුවේ විශේෂ බහුතරයිකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ඒ අනුව පනත් කෙටුම්පතේ 3(4), 6(1) ද, 68(1) (ඊ) ,68(3)  (අ), 52(5), 71(2) (ජ), 52(3), 53(ආ) සහ 53(2) (ආ) යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බැවින් එය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින්  සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතුය.

කෙසේවෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙහි සඳහන් පරිදි එම වගන්ති සංශෝධනය කරන්නේ නම් එම අනනුකූලතාවයෙන් ඉවත්ව යයි.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 15ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී තිබු අතර පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එය සලකා බැලුවේය.

ඒ අනුව අදාළ තීන්දුව ලබාදී ඇත්තේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා ය.

අප්‍රේල් 19, 20, 21, 22, සහ 23 වන දින වල එම විනිසුරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරතිබූ පෙත්සම් සහ අතරමැදි පෙත්සම් සලකා බැලීය.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මෙම දිගු ඔස්සේ ඔබට පරිශීලනය කළ හැකිය.https://www.scribd.com/embeds/508293531/content