ගැබිනි කාන්තාවන්ට කොවිඩ් එන්නත් ලබා දෙනවාද ? නැද්ද ? තීන්දුව කඩිනමින්

ගැබිනි කාන්තාවන්ට කොවිඩ් එන්නත් ලබා දෙනවාද ? නැද්ද ? තීන්දුව කඩිනමින්
Spread the love

“ගර්භණී මව්වරුන්ට එන්නත ලබාදීම සම්බන්ධයෙන් තියෙන වාසි සහ අවාසි ගැන සලකා බැලූ විට වැඩිපුර දැකිය හැකි වන්නේ වාසි බවත් ඒ අනුව වඩාත්ම සුදුසු වෙන්නෙ ශ්‍රී ලංකාවේ ගර්භණී මව්වරුන්ට එන්නත ලබාදීම,” යැයි ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම් විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට මහතා සඳහන් කරයි.

අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට මහතා සඳහන් කළේය.

මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට මහතා, ‘‘කොවිඩ් – 19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් මේ වනවිට මෙරට තුළ ගර්භණී කාන්තාවන් පස් දෙනෙකු මරණයට පත්ව තිබෙනවා. ඉදිරියේදී මෙය තවදුරටත් ඉහළ යා හැකි බවයි අපි විශ්වාස කරන්නේ. ගර්භණී මව්වරුන්ට එන්නත ලබාදීම සම්බන්ධයෙන් තියෙන වාසි සහ අවාසි ගැන සලකා බැලුවාම අපිට වැඩිපුරම වාසි තමයි දකින්න තියෙන්නේ. ඒ අනුව වඩාත්ම සුදුසු වෙන්නෙ ශ්‍රී ලංකාවේ ගර්භණී මව්වරුන්ට එන්නත ලබාදීම‘‘

මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටි ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා කියා සිටියේ ගර්භණී කාන්තාවන් සඳහා එන්නත් ලබාදීම පිළිබඳ අවසන් සාකච්ඡාව අද (17) දිනයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බවයි.

“ගර්භනී මවුවරුන්ට එන්නත් කිරීමට සුදුසු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වෛද්‍යවරුන්ගේ අනුදැනුම් ඇතුව ගර්භණී මව්වරුන්ට භාවිත කිරීමට සයිනොෆාම් එන්නත නිර්දේශ කරලා තියෙනවා. බහුතරයක් රටවල්වල ඒ ඒ රටවල භාවිත කරන එන්නත් ගැබිනි කාන්තාවන්ට නිදහසේ ලබා දෙනවා. ගර්භණී කාන්තාවන් සඳහා එන්නත් ලබාදීම පිළිබඳ අද සාකච්ඡාවකුත් තියෙනවා. අපේ විද්‍යායතනයත් ගැඹුරින් කියනවා නම් මේක විය යුතුයි කියලා සාකච්ඡාවෙන් පසු සුභදායක පණිවුඩයක් අපිට ලැබෙයි‘‘ විශේෂ වෛද්‍ය ප්‍රදීප් සිල්වා මහතා කියා සිටියේය.