‘ගොවියාට පොහොර සැපයීමට වඩා සුද්දාගේ ණය බේරීම නිසා රටම සාගින්නක් අභියස‘

‘ගොවියාට පොහොර සැපයීමට වඩා සුද්දාගේ ණය බේරීම නිසා රටම සාගින්නක් අභියස‘
Spread the love

රටට බත සපයන ගොවියාගේ  පොහොර  අවශ්‍යතාවය පසෙකලා විදේශිකයන්ගෙන් ලබාගත් ඩොලර් ණය ගෙවීමට මේ රජය ප්‍රමුඛතාවය ලබා දුන් හෙයින් සමස්ත රටම සාගින්නට මුහුණ දෙන අවදානමක් උදාවී ඇත.කෘෂිකර්මාන්ත නිෂ්පාදනයේ ඵලදායිතාවය වැඩි කිරීමට සෑම රටකම තාක්ෂණය හා පොහොර යෙදවීම සිදු කෙරේ.  පොහොර භාවිතය වකුගඩු  රෝගයට හේතුවක් බව ඍජු සාක්ෂි මෙතෙක්  නැත.

මෙවන් පසුබිමක ලංකාවේ  පොහොර නොදී ගොවියා සහ ජනතාව රැවටීමේ ප්‍රතිඵලයක් වශයෙන් අද වන විට කුකුල් මස් ,කිලෝවක් රුපියල් 750 කට විකුණන අතර දේශීය කෘෂි නිෂ්පාදනයක් වන මාළුමිරිස් කිලෝවක්ද රුපියල් 750 ට මිලදී ගැනීමට ජනතාවට සිදුව ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

සහල් එළවළු ඇතුළු ගොවියාගේ නිෂ්පාදනය පහළ බැස සමස්ත ජනතාවම හාමතේ වැටෙන තත්ත්වයකට මේ රට පත්වූයේ රජය කෘෂි නිෂ්පාදනයට වඩා රාජපක්ෂ රජය කාලයේ සිට ලබාගත් ස්වෛරී බැඳුම්කර ණය ආපසු ලබාදීම සඳහා ප්‍රමුඛත්වය දීම නිසා යැයි ඇතුල් කෝට්ටේ  සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේ අද පැවැති පුවත්පත් සාකච්ඡාව අමතමිණි.

මෙහිදී වැඩි දුරටත් කතා කළ මන්ත්‍රීවරයා, වෙළෙඳපොළ පාලනයට මෙන්ම මූල්‍ය හා රාජ්‍ය පාලනයටද කිසිදු දැක්මක් හෝ සැලසුමක් නැති මේ රජය දැන් හෘද සාක්ෂි අනුව කටයුතු කරන මැති ඇමැතිවරුන් ඇතුළු රාජ්‍ය සේවකයන් ද තම ග්‍රහණයට  නතු කර ගැනීමට විවිධ උපක්‍රම හා බැලපෑම් යොදා ගන්නා බවක් පෙනෙන්නට තිබේ.

රජය ස්ථාවරයයි පවසන පාලකයන් හිටිහැටියේ කිසිදු හේතුවක් නොමැතිව පාර්ලිමේන්තුවේ වාරය අවසන් කර තිබේ.පාර්ලිමේන්තුවේ කෝප් සහ කෝපා කමිටු හරහා රාජ්‍ය ආයතන වල සිදුවී ඇති මූල්‍ය අක්‍රමිකතා, නාස්තිය හා දූෂණ පිළිබඳ බොහෝ කරුණු හෙළිකර ගෙන තිබෙනවා.

මෙහි ප්‍රතිඵලයක් ලෙස ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රධානීන්, ගල් ඔය වැවිලි සමාගමේ වැනි රාජ්‍ය ආයතන වල ප්‍රධානින් බුරුතු පිටින් ඉල්ලා අස්වී මට සිදුව ඇත. ඉහල තනතුරු වලට තමන් පත් කළ තම හිතවතුන්ගේ දූෂණ හා අක්‍රමිකතා මෙසේ පාර්ලිමේන්තු කමිටු හරහා අනාවරණය වීම පාලකයන්ට හිසරදයක් වූ බැවින් පාර්ලිමේන්තු වාර අවසාන කිරීම  හරහා මේ කමිටු සියල්ල අහෝසි කිරීම මගින් එම දූෂණ ද යටපත් කිරීම  රජයේ අරමුණ වන්නේ ද ?

රාජ් සේවය දේශපාලනීකරණය කිරීමේ කුමන්ත්රණයක්?

රාජ්‍ය අංශයේ සේවකයන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීම හරහා සේවකයන්ගේ ස්වාධීනත්වය නැති කර ඔවුන්ව පාලකයන්ට ලැදි සේවකයන් බවට පත්කිරීමේ දේශපාලන කුමන්ත්‍රණයක් ද අරඹා ඇත.

රාජ්‍ය අංශයේ සේවක විශ්‍රාම වයස අවු 60 දක්වා දීර්ඝ කරනවා යයි මුලින් ප්‍රකාශ කළ රජය එය දැන් 55 සිට 57 දක්වා දීර්ඝ කර ඇත. ඉන්පසුව 62 දක්වා සේවා දිගුවක් ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත.

එහෙත් සේවකයෙකුගේ කාර්යක්ෂමතාවය හා කාර්ය සාධනය සතුටුදායක නැතැයි ආයතන ප්‍රධානියාට හැඟෙන්නේ නම් සේවා දිගුවකින් තොරව සේවකයා විශ්‍රාම ගැන්වීමට මුදල් අමාත්‍යංශය විසින් දෙසැම්බර් 14 වනදා නිකුත් කරන ලද නව චක්‍රලේඛය මගින් බලධාරීන්ට බලය පවරා ඇත. මෙමගින් සිදු වන්නේ සේවකයන් ස්වාධීනව හා අපක්ෂපාතීව රාජකාරි ඉටු කිරීමට වඩා වයස අවු 57 න් පසුව  සේවා දිගුවක් අපේක්ෂා කරන්නේ නම්  ආයතන ප්‍රධානීන් හා ඔහුව පත් කළ දේශපාලන පක්ෂයට ලැදිකම් දැක්වීමට සිදු වීමයි.

මෙය රාජ්‍ය අංශය දේශපාලනීකරණය කිරීමේ නරක ආදර්ශයක් වීම වැළැක්විය නොහැකිය මේ රජය බලයට පත්වූ දා සිට තම නොහැකියාව සහ අකාර්යක්ෂම ආර්ථික පාලනය වසා ගැනීම සඳහා පසුගිය රජය සමයේ විශාල වශයෙන් ණය ලබාගෙන තිබූ බැවින් රටේ ණය බරතාවය වැඩි විනැයි බොරුව හා ප්‍රෝඩාව ව්‍යාප්ත කළේය.

එහෙත් මෑතදී පර්යේෂණ ආයතනයක් වන වෙරිටේ ආයතනය මගින් රටේ ණය බර තාවය පිලිබඳ හෙළීකළ  නිවැරදි දත්ත ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා ඉදිරිපත් කළේය. 2014 වසර වන විට ශ්‍රී ලංකාවේ සමස්ත ණය බර තාවය රුපියල් ට්‍රිලියන 9.9 ක් වී ඇත. ඉන්පසු 2015 බලයට පත්වූ යහපාලන රජය 2019 වන තෙක් ලබාගත් ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 4.25 ක් පමණි. එහෙත් යහපාලන සමය තුළ, පෙර රාජපක්ෂ රජය ගත් ණය වල පොලිය වශයෙන් රු. ට්‍රිලියන 3.8ක් ගෙවා ඇතැයි කී මන්ත්‍රී වරයා ඒ අනුව සැබෑ ලෙසම යහපාලන රජය විසින් රටට අළුතෙන් එක් කළේ සමස්ථ ණය බරින් 10% පමණකි.

රටක පමණක් නොව සමාගමක හෝ  පුද්ගලයකු ද ණයක් ලබා ගැනීමේ ගණදෙනුව කළ යුතු වන්නේ ශක්තිමත් ස්ථාවරයක සිටයි. බැංකුවක ණයක් ගන්නා පුද්ගලයෙක් ශක්තිමත් ස්ථාවරයක සිට සාකච්ඡා කරන්නේ නම් ඔහු ඉල්ලන ණය ඉක්මනින් ලැබෙන අතර අඩු පොලි ප්‍රතිශතයකට ද ණය ගත හැකි වනු ඇත.

මේ රජය විදේශ සංචිත හිදී සම්පත් විකුණන  දුර්වල තැනක සිට ගනුදෙනු සඳහා සාකච්ඡා වලට යාමට සිදුව ඇති බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ආධාර පතාගෙන ගියද හිඟන්නාගේ පාත්‍රය අත ඇතිව එන බව ඔවුන් දන්නා නිසා දෙන මුදල් ආපසු ලබාගැනීම සඳහා  ඔවුන්ගේ දැඩි කොන්දේසි වලට යටත් වීමට රජයට සිදු වනු ඇතැයි ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.