චීන සමාගමකින් ආනයනය කළ කාබනික පොහොර සාම්පලයක ක්ෂුද්‍ර ජීවීන්

චීන සමාගමකින් ආනයනය කළ කාබනික පොහොර සාම්පලයක ක්ෂුද්‍ර ජීවීන්
Spread the love

එළඹෙන මහ කන්නය සඳහා ආනයනය කරන කාබනික පොහොරවල කිසිදු ශාක, සත්ව හා මනුෂ්‍යයින්ට හානිකර ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන් නොමැති බවට රජය සහතික වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ අද (17) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කීවේය.

රසායනික පොහොර සමාගම් විශාල මුදලක් වැයකොට බොරු ප්‍රචාර සමාජගත කරමින් ගොවි ජනතාව කාබනික බෝග වගාවෙන් ඈත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා කීවේය. විදේශයේ නිෂ්පාදිත එකම සමාගමක පොහොර සාම්පල් දෙකක් රසායනාගාරයක පරීක්ෂා කිරීමේදී ප්‍රතිඵල දෙකක් නිකුත් කර තිබීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන සැකය නිසා ඒ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පුළුල් විමර්ශනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා කීවේය.

මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික නයිට්‍රජන් හා පොටෑසියම් පොහොර සම්පූර්ණයෙන්ම ඔක්තොම්බර් අවසන් සතිය වනවිට ආනයනය කර ගොවීන්ගේ වගාව සඳහා යොදා ගැනීමට නොමිලේ බෙදාදෙන බවද අමාත්‍යවරයා කීවේය. වී ගොවිතැන් කරන ගොවින්ට හෙක්ටයාරයකට කාබනික නයිට්‍රජන් පොහොර කිලෝ 500ක් හා කාබනික පොටෑසියම් පොහොර කිලෝ 45ක් නොමිලේ බෙදා හැරිමට සූදානම් කර ඇති බවද අමාත්‍යවරයා කීවේය.

“වී ගොවීන් වී කිලෝවකට ලැබෙන මුදල ප්‍රමාණවත් නෑ කියලා උද්ෂෝෂණය කරනවා. ඒ නිසා නාඩු වී කිලෝ එකකට රුපියල් 05ක් වැඩි කරන ලෙස මම අමාත්‍ය මණ්ඩලයට කරපු යෝජනාවක් අනුව මේ වනවිට නාඩු වී කිලෝව රුපියල් 55 බැගින් මිලදී ගන්න රජය කටයුතු කර තිබෙනවා. ඒ අතර සම්බා සහ කීරි සම්බා වී සඳහාත් කිලෝවකට රුපියල් 05 බැගින් වැඩි කරන ලෙස මම රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ සඳහා ද රජයෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබෙයි කියලා අපි අපේක්ෂා කරනවා. ගොවියන්ට වී සඳහා ලැබෙන සහතික මිල ප්‍රමාණවත් නෑ කිව්වත්, පසුගිය ආණ්ඩුවට සාපේක්ෂව අපේ ආණ්ඩුව පොහොර සහනාධාරයත් සමඟ වැඩිපුර රුපියල් 31ක් ගෙවනවා. ඉකුත් ආණ්ඩුව වී මිලදී ගත්තේ කිලෝවක් රුපියල් 30 බැගින් පමණයි. මේ තත්ත්වය අවබෝධ කර නොගෙන ගොවීන් දිගින් දිගටම වී අලෙවි කිරීමෙන් වැලකී සිටී නම් රටේ ඇති විය හැකි සහල් හිඟය මඟ හරවා ගැනීමට සහල් ආනයනය කිරීමට රජයට සිදු වෙනවා. මම ඒකට පෞද්ගලිකව අකමැති වුණත් ගොවීන්ගේ සහයෝගය නොලැබුණොත් ඊට තනිව එරෙහි වීමට මට හැකියාවක් නැහැ‘ යැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා කීවේය.

මෙම මාධ්‍ය හමුවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල, පාංශු විශේෂඥ මහාචාර්ය පී. අයි. යාපා මහතා ද සහභාගී වූහ.