ජනාධිපතිවරණය පෙත්සම: ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීන්දුව මෙන්න

ජනාධිපතිවරණය පෙත්සම: ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීන්දුව මෙන්න
Spread the love

ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දින වකවානු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ව්‍යවසායකයෙකු වූ සී.ඩී.ලෙනව විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

ඒ අනුව අදාළ විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයි රාජා නම් කරනු ලැබ සිටිති.

මෙම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 08 වැනිදා කැඳවීමට නියමිතය.

ජනාධිපතිවරයාගේ ධුර කාලය නිමා වන දින වකවානුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

මොරටුව ප්‍රදේශයේ පදිංචි ව්‍යවසායකයෙකු වූ සී.ඩී. ලෙනව විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ. එහි වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම, එහි සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, නීතිපතිවරයා නම් කර ඇත.

පෙත්සම්කරු කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් සිදුකළ සංශෝධනය හේතුවෙන් ජනාධිපතිවරයාගේ දුර කාලය අවසන් වන දිනවකවානු සම්බන්ධයෙන් අපැහැදිලිතාවයක් නිර්මාණය වී තිබෙන බවයි.

“1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තේරී පත්වන ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 06 බව සඳහන් කර තිබුණා. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 03 වන පරිච්ඡේදය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) වගන්තිය සංශෝධනය කළ බව සඳහන් වුවද එ තුළින් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන්නේ අවුරුදු 05න්ද එසේත් නැත්නම් 06න්ද යන කරුණ සම්බන්ධයෙන් ගැටලුවක් මතු වී තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය යටතේ බලයේ සිටින ජනාධිපතිවරයාගේ නිල කාලය ද වසර 05 ක් දක්වා අඩු කිරීමේදී එය ජනමතවිචාරණයකට යොමු කළ යුතු වුවත් එසේ සිදුවී නැහැ.ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 වන ව්‍යවස්ථාව අනුව නිසි පරිදි ජනමත විචාරණයක් නොපැවැත්වීමෙන් 30(2) ව්‍යවස්ථාව නිසි පරිදි සම්මත වී නොමැති බව පැහැදිලි වෙනවා. ඒ නිසා ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන්නේ අවුරුදු 05 න්ද නැතිනම් අවුරුදු 06 ක් ද යනුවෙන් ගැටලුවක් මතු වෙනවා. “යනුවෙන් සඳහන් කරන පෙත්සම්කරු එම ගැටලුව නිරාකරණය කරගන්නා තුරු ජනාධිපතිවරණයක් පැවැත්වීම නුසුදුසු බවත් සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ පෙත්සම්කරු කියා සිටියේ “2019 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපති වරයා ලෙස පාර්ලිමේන්තුව විසින් තෝරා පත් කරගනු ලැබුවා. ඒ අනුව වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වී ජනාධිපතිවරණය පැවැත්විය යුතු දින සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යස්ථානුකූලව ගැටලුකාරී තත්ත්වයක් මතු වී තිබෙනවා. එවැනි ගැටලුකාරී තත්ත්වයක් ඇති වූ අවස්ථාවක ඒ සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් සැපයීමේ බලය පැවරී තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි” යනුවෙනි.

මෙම කරුණ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් අධිකරණයෙන් පැහැදිලි අර්ථ නිරූපණයක් ලබාදෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඒ අනුව පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) වගන්තිය නිසි පරිදි සම්මත වී තිබේදැයි අර්ථ නිරූපණයක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

මූලාශ්‍රය – බී.බී.සී සංදේශය

Post Comment