‘ඩෙල්ටා ප්‍රභේදයේ’ රෝග ලක්ෂණ ගැන ඔබ මේ කරුණු දැන සිටියාද ?

‘ඩෙල්ටා ප්‍රභේදයේ’ රෝග ලක්ෂණ ගැන ඔබ මේ කරුණු දැන සිටියාද ?
Spread the love

සැර වෛරසය‘ නැතහොත් ‘ඩෙල්ටා ප්‍රභේදය‘ සැලකෙන්නේ මේ වන විට ගෝලීය වශයෙන් පැතිරෙන කොවිඩ් වෛරස් ප්‍ර භේද අතර බිහිසුණුම වෛරසය ලෙසයි. මේ වන විට ලංකාවෙන් ද ස්ථාන කිහිපයකින් ඩෙල්ටා ආසාදිතයින් කිහිප දෙනකු හමුවී ඇති අතර සෞඛ්‍ය රාජ්‍ය ඇමතිනිය අද (29) ප්‍රකාශ කළේ ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය නොකළහොත් තවත් සති 10කින් ඩෙල්ටා ප්‍ර භේදය ලංකාවේ වසංගතයේ කේන්ද්‍රය විය හැකි බවයි.

මේ තත්ත්වය තුළ කොවිඩ් ඩෙල්ටා ප්‍ර භේදය සහ එහි රෝග ලක්ෂණ ඇතුළු වැදගත් කරුණු ගැන ඔබව නිසි පරිදි දැනුවත් කිරීමට අපි තීරණය කළා. මේ ඒ ගැන…

හිසරදය, උගුරේ අමාරුව සහ නාසයෙන් සොටු දියර ගැලීම කොරෝනාවෛරස ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ විට බහුලව වාර්තා වන රෝග ලක්ෂණ බව එක්සත් රාජධානි පර්යේෂකයෝ පවසති.

එක්සත් රාජධානියේ ‘Zoe’ කොවිඩ් රෝග ලක්ෂණ අධ්‍යයනය මෙහෙයවන මහාචාර්ය ටිම් ස්පෙක්ටර් පවසන්නේ ඩෙල්ටා ප්‍රභේදය වැළඳුනු තරුණ තරුණියන්ට “අධික සෙම්ප්‍රතිශ්‍යාවක් මෙන්” දැනිය හැකි බවය.

ඔවුන්ට එතරම් අසනීප තත්ත්වයක් නොදැනෙන නමුත්, ඔවුන්ගෙන් රෝගය බෝ වීමෙන් අන් අය අවදානමට ලක් විය හැකිය.

තමන්ට කොවිඩ් වැළදී ඇතැයි සිතෙන ඕනෑම අයෙකු පරීක්ෂණයක් සිදු කළ යුතුය.

යම් පුද්ගලයෙකු අවධානය යොමු කළ යුතු සාමාන්‍ය කොවිඩ් රෝග ලක්ෂණ වන්නේ:

  • කැස්ස
  • උණ
  • ගඳ සුවඳ හෝ රසය නැතිවීම

නමුත් මහාචාර්ය ස්පෙක්ටර් පවසන්නේ දැන් මෙම ලක්ෂණ වාර්තා වීමේ අඩුවක් දක්නට ඇති බවය. කොවිඩ් රෝග ලක්ෂණ සම්බන්ධයෙන් ඇති ජංගම දුරකථන යෙදුමකට දහස් සංඛ්‍යාත පුද්ගලයින් ඇතුළත් කළ දත්ත පදනම් කරගෙන Zoe කණ්ඩායම මෙම නිරීක්ෂණ සිදුකර ඇත.

“මැයි මස ආරම්භයේ සිට, අපි යෙදුම් භාවිත කරන්නන් අතර වැඩියෙන් ඇති රෝග ලක්ෂණ දෙස බලා සිටියා. ඒවා පෙර ඒවාට සමාන වුණේ නැහැ,” ඔහු පැවසීය.

මෙම වෙනසට හේතුව ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරී යාම හා බැඳී ඇති බව පෙනේ. එය ප්‍රථම වරට වාර්තා වූයේ ඉන්දියාවෙනි. මේ වන විට එක්සත් රාජධානියේ කොවිඩ් රෝගීන්ගෙන් 90% ක්ම වාර්තා වන්නේ ඩෙල්ටා ප්‍රභේදයයි.

මහාචාර්ය ස්පෙක්ටර් පවසන්නේ උණ රෝග ලක්ෂණය බහුලව පවතින නමුත් ගඳ සුවඳ නැතිවීම තවදුරටත් පළමු රෝග ලක්ෂණ 10 තුළ දක්නට නොලැබෙන බවය.

‘අමුතු’ හැඟීම

“මෙම ප්‍රභේදය තරමක් වෙනස් ලෙස ක්‍රියා කරන බව පෙනෙනවා,” ඔහු පවසයි.

“යම් ආකාරයක සෙම්ප්‍රතිශ්‍යාවක් හැදිලා වගේ කියලා කෙනෙකුට සිතෙන්න පුළුවන්. නමුත් ඔවුන් ඒත් සාදවලට පිටත්ව යනවා. එහෙම ගිහින් ඔවුන්ගෙන් තවත් පුද්ගලයන් හය දෙනෙකුටවත් මේ වෛරසය ව්‍යාප්ත වෙන්න පුළුවන්.

“අපි හිතන්නේ මෙය බොහෝ ගැටලුවලට හේතු වන බවයි.

“මෙහි ඇති පණිවිඩය නම්, ඔබ තරුණ නම් ඔබට කොහොමත් ඇතිවන්නේ සුළු රෝග ලක්ෂණ බවයි.

“එය නරක සෙම්ප්‍රතිශ්‍යාවක් හෝ අමුතු අසනීප හැඟීමක් වගේ දැනෙන්නට පුළුවන්. එහෙම වුවහොත් නිවසේ නතර වී පරීක්ෂණයක් කරගන්න.”

මාංශ පේශි කැක්කුම

ඒ හා සමානව, ඇල්ෆා නැත්නම් එක්සත් රාජධානියේ ප්‍රභේදය එරට ප්‍රමුඛ වූ විට, එංගලන්තයේ මිලියනයකට අධික පිරිසක් යොදාගෙන ලන්ඩන් ඉම්පීරියල් කොලේජ් කළ ‘ප්‍රතික්‍රියා අධ්‍යයනය’ මගින් කොවිඩ් හා සම්බන්ධ අතිරේක රෝග ලක්ෂණ රාශියක් සොයා ගෙන තිබිණි.

වෛරසය ආසාදනය වීම නිසා ඇතිවන සාමාන්‍ය රෝග ලක්ෂණවලට අමතරව සීතල, ආහාර රුචිය නැතිවීම, හිසරදය සහ මාංශ පේශි කැක්කුම වැනි ලක්ෂණ ද බහුලව වාර්තා වී තිබිණි.

එක්සත් රාජධානි රජයේ උපදෙස් අනුව කොවිඩ් රෝගයේ වැදගත්ම රෝග ලක්ෂණ වන්නේ:

  • අලුතෙන් වැළඳුණු දිගටම පවතින කැස්ස
  • ඉහළ ශරීර උෂ්ණත්වය
  • ගඳ සුවඳ හෝ රසය නැතිවීම හෝ වෙනස් වීම

“කොවිඩ් -19 හා සම්බන්ධ තවත් රෝග ලක්ෂණ කීපයක් තිබේ,” ඔවුහු පවසති.

“මෙම අනෙකුත් රෝග ලක්ෂණවලට තවත් හේතුවක් තිබිය හැකි අතර ඒවා කොවිඩ් -19 පරීක්ෂණයක් වෙත යොමු වීම සඳහා තනි හේතුවක් නොවේ.

“ඔබ ඔබේ රෝග ලක්ෂණ ගැන සැලකිලිමත් නම්, වෛද්‍ය උපදෙස් ලබා ගන්න.”

බී.බී.සී ඇසුරිනි