‘ඩෙල්ටා ව්‍යාප්තියට මුහුණ දෙන්න රට තුළ කිසිම සූදානමක් නෑ‘ – වසංගත රෝග විද්‍යා අංශයේ හිටපු අධ්‍යක්ෂ

‘ඩෙල්ටා ව්‍යාප්තියට මුහුණ දෙන්න රට තුළ කිසිම සූදානමක් නෑ‘ – වසංගත රෝග විද්‍යා අංශයේ හිටපු අධ්‍යක්ෂ
Spread the love

කොවිඩ් වසංගතයේ අලුත් තත්වය තේරුම් නොගෙන මේ වනවිට සිදුවන නොසලකා හැරීම් නිසා ලංකාවත් බරපතල ව්‍යසනයකට ගොදුරුවීමේ ඉඩක් ඇති බව ජාතික විද්වත් සංවිධානයේ ප්‍රධාන ලේකම්, වසංගත රෝග විද්‍යා අංශයේ හිටපු අධ්‍යක්ෂ, වසංගත රෝග විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ පවසයි.

විශේසඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා මේ බව පැවසූවේ අද (24) කොළඹදී පැවති ජාතික විද්වත් සංවිධානයේ මාධ්‍ය හමුවේදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අබේසිංහ මහතා මෙසේ ද සදහන් කළා.

“අවුරුදු එකහමාරක් ගිහිල්ලත් අපිට මේ වගේ ව්‍යසන තත්වයකට මුහුණදෙන්න අපේ රෝහල්ටික සූදානම් කරගන්න බැරි වුණා. මම වසංගත රෝග විද්‍යාඥවරයෙක් හැරටියට ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට අපි හිතනවා මේ වෙලාවේ ඉතාමත්ම තීරණාත්මක සාධකය මරණ අවම කර ගැනීම කියලා. ඒ නිසා කිසිසේත්ම අපේ රටේ ජනතාව ඉදිරියේ එන්න තියෙන ව්‍යසනයකට සූදානම් නැහැ කියල තමයි අපි හිතන්නේ.

දැන් ආර්ථිකය පිළිබඳව විශේෂඥ දැනුම තියෙන ඇමතිවරු ඇවිල්ලා ආර්ථිකයේ තියෙන මේ බරපතලභාවය පිළිගනිමින් ඉන්නවා. මම හිතනවා ඒ වගේම අපිට සෞඛ්‍ය ඇමතිවරු තුන්දෙනෙක් ඉන්නවා. දැන් ජනතාවත් එක්ක සාකච්ඡාවකට එන්න ඕනි, මේ තත්වයේ බරපතල කම, ඒ එක්කම වේගයෙන් මේ ඩෙල්ටා ප්‍රභේදය නිසා ව්‍යාප්ත වෙන්න පුළුවන් බව. දැන් ඊයේ (23) 1700කට වැඩි ප්‍රමාණයක් වාර්තා වුණා. කාලයක් සිටම මරණ 50ක් වාර්තා වෙනවා දිනකට. ඒ නිසා මේ පෙන්නුම් කරන්නේ, මේ කලාපයේත් මේ ලෝකයේත් මේ තුන්වෙනි රැල්ල ව්‍යාප්ත වෙන ආකාරය.

දැන් අපි රටවල් ගත්තොත් ඉන්දියාව, බංගලාදේශය, තායිලන්තය, නේපාලය, ඉනිදුනීසියාව මේ සියලු රටවල්වල අප්‍රේල් මාසයේ සිට මේ රැල්ල ක්‍රියාත්මක වෙමින් තියෙනවා. මේ වනවිට ඉන්දුනීසියාවත් මියන්මාරයත් ඉතාමත් බරපතල තත්වයක තියෙනවා. අපි දන්නවා මේ වනවිට ඒගොල්ලන්ගේ සෞඛ්‍ය පද්ධතීන් සම්පූර්ණයෙන්ම බිඳවැටීමට ආසන්න වෙමින් තියෙනවා. ඉතිං ඒක අපි නොදැක නිසි ක්‍රියාමාර්ග නොගෙන හිටියොත් අපිටත් විශාල බරපතල අර්බුදයකට මුහුණදෙන්න සිදුවෙනවා.

දැන් ඉන්දියාවේ තුන්වෙනි රැල්ල අඩු වුනාට. අපි දන්නවා ඉන්දියාවෙත් සාමාන්‍යයෙන් දවසකට රෝගීන් හතලිස් දෙදාහක් විතර දවසකට වාර්තාවෙනවා. ඒ එක්කම ඉන්දුනීසියාවේ ඊයේ වාර්තා වුනා 50,000ක්. 1,500ක් මියගියා ඊයේ. ඒකනිසා මේක බරපතල තත්වයක් බව ආණ්ඩුව නොසලකා හරිමින් ඉන්නවා කියල තමයි අපිට තේරෙන්නේ. මොකද මේ හා සමානම හැසිරීමක් අප්‍රේල් මැදභාගේ අපි ආණ්ඩුවේ දැක්කා. ඒ නිසා අප්‍රේල් මාසේ අගත්, මැයි, ජුනි මාසවලත් අපේ රටේ වසංගත තත්වය උග්‍රවුනා. මරණ සංඛ්‍යාව වැඩි වුනා. රෝගීන් වාර්තාවීම වැඩි වුනා. ඉතිං ඒ නිසා අපි විශ්වාස කරනවා මේ වෙලාවේ ආණ්ඩුව මේ කොවිඩ් අර්බුදය පිළිබඳව නොසලකා හැරීමෙන් අපිට බරපතල ව්‍යසනයකට ඉදිරියේදී මුහුණදෙන්න වෙනවා කියලා.

විශේෂයෙන්ම මේ ඩෙල්ටා ප්‍රභේදය ගැන මාධ්‍ය දැන් වාර්තා කරමින් ඉන්නවා මේක පැතිරෙනවා කියලා. දැන් මේ ඩෙල්යා ප්‍රභෙදය නිසා තමයි තායිලන්තයත් මියන්මාරයත් ඉන්දුනීසියාවත් සෞඛ්‍ය පද්ධතීන් බිඳවැටෙන්න තරමටම බරපතල අර්බුදයකට මුහුණදීල තියෙන්නේ. ඉතිං මේකෙන් පාඩම් ඉගෙනගෙන අපි ක්‍රියාත්මක නොවුනොත් අපිටත් මේ අර්බුදයට මුහුණදෙන්න වෙනවා.

අපි දන්නවා මේ වනවිටත් අපේ ජාතික රෝහල් පද්ධතියේ රෝහල්වල ධාරිතාව අර මැයි මාසේ මුල වගේ ඉක්මවා යමින් තියෙනවා. ඉතිං ඒ නිසා ඒ තත්වය නිර්මාණය වෙමින් තියෙන්නේ. අපි දන්නවා මේ වනවිට කොළඹ සමහර පෞද්ගලික රෝහල් කොවිඩ් රෝගීන් ඇතුළත් කිරීම නවත්තලා තියෙනවා. රජයේ රෝහල්වලත් දැඩිසත්කාර ඒකක යම් ප්‍රමාණයකට ධාරිතාවය ඉක්මවා යමින් තියෙනවා. ඉතිං මේ අර්බුදය අනික් රටවල්වලට වගේම අපිටත් මුහුණදෙන්න වෙනවා. ලෝකයේ චීනය විතරයි මේ වනවිට මේ රැල්ලට සාර්ථකය මුහුණදෙමින් ඉන්නේ. දැන් මේ ලෝකය පුරාම නිර්මාණය වෙමින් තියෙන තත්වය නොසලකා හරින්න, විශේෂයෙන්ම තායිලන්තය, වියට්නාමය, ලාඕසය, කාම්බෝජය වගේ රටවල් ඉතාමත්ම හොඳින් පාලනය කරගෙන තිබුණ අප්‍රේල් දක්වා. නමුත් ඒ රටවල්වලටත් දැන් මේ තුන්වෙනි රැල්ල පාලනය කරගත නොහැකි තත්වයකට පත්වෙලා.

ඒ නිසා අපි හිතනවා මේ වෙලාවේ ආණ්ඩුව නිසි ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් බරපතල ව්‍යසනයකට අපිට මුහුණදෙන්න වෙනවා. ඒ නිසා අපි යෝජනා කරනවා, ආණ්ඩුව වහාම මැදිහත් වී නිසි ක්‍රියාමාර්ග ගතයුතුයි කියලා. මේ වසංගතය දැන් මේ පැතිරෙන ආකාරය ගැන හොඳින් සොයා බලලා මේ පැතිරීම සීමා කරන්න ඕනි. දැන් මේ සංචරණ සීමාවන්, විවිධ සෙනඟ ගැවසීම් ලිහිල් කරා පසුගිය දවස්වල. සංගීත සංදර්ශන උත්සව ශාලා ඇතුළේ පවත්වන්න ඉඩදෙනවා. ආගමික උත්සව පවත්වන්න ඉඩ දෙනවා. මං හිතනවා මේ නිසා බරපතල තත්වයක් ඉදිරි කාලසීමාව තුළ අපේ රටේ නිර්මාණය වෙනවා. ඒ නිසා මේ විදිහට අපි කරන නොසලකා හැරීම් නිසා අපිටත් තායිලන්තය, මියන්මාරය ඉන්දුනීසියාව වගේ බරපතල ව්‍යසනයකට ගොදුරුවෙන්න ඉඩ තියෙනවා,”