ඩොලර් අර්බුදයට ‘බංග්ලාදේශය ඇතුළු රටවල් තුනකට අතපා‘ මිලියන 2150ක් සොයා ගනී

ඩොලර් අර්බුදයට ‘බංග්ලාදේශය ඇතුළු රටවල් තුනකට අතපා‘ මිලියන 2150ක් සොයා ගනී
Spread the love

විදේශ සංචිත පහළ බැසීමට කෙටි කාලීන පියවරක් ලෙස චීනය, ඉන්දියාව සහ බංග්ලාදේශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2150ක් ලබා ගැනීමට රජය සැලසුම් කර ඇතැයි මහ බැංකු මූලාශ්‍ර උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක්, බංගලාදේශයෙන් ඩොලර් මිලියන 250ක් සහ චීනයෙන් ඩොලර් මිලියන 1500ක් ලබා ගැනීමට නියමිතය.

ඉන්දියාවෙන් හා  බංගලාදේශයෙන් ලබා ගැනෙන ඩොලර් මිලියන 650ක ණය ‘මුදල මුදල් හුවමාරු පහසුකම් යටතේ ලබා ගැනීමට නියමිතය.

ඉන්දිය ණය මුදල මාස නවයකින් ගෙවීමේ පදනම යටතේ අදියර දෙකකින් ද, බංගලාදේශයෙන් ලබා ගන්නා ණය මුදල අදියර තුනකින් ද ලබාගැනීමට නියමිත අතර චීනයෙන් ලබා ගන්නා ණය ‘දිගු කාලීන‘ ණය පදනමින් ලබා ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමට පිළිතුරු දෙමින් ආර්ථික හා දේශපාලන විශ්ලේෂක ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ මහතා සදහන් කළේ ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ විනිමය සංචිතය ප්‍රමාණවත් වන්නේ මාස තුනක ආනයන සදහා පමණක් බව පසුගිය දා රජය විසින් ප්‍රකාශ කළ බවයි.

‘‘ මහ බැංකුව සතුව තිබෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 4.2ක් පමණයි. මේ මාසයේදීත් ඩොලර් මිලියන 1000ක කල් පිරුණු විදේශ ණය මුදලක් ගෙවීමට නියමිතව තිබෙනවා. මේ තත්ත්වය තුළ රට බරපතළ විදේශ විනිමය අර්බුදයකට යාම වළක්වා ගන්න බැහැ. ඊට කෙටි කාලීන පියවරක් ලෙස පසුගිය දා මෙරට සේවය කරන විදේශිකයින්ට තම ආදායම් මවුරටට යැවීමට සීමා පැනවීමට මහ බැංකුව පියවර ගත්තා. ඒත් එය කිසිසේත් ප්‍රමාණවත් නැහැ. විදේශ විනිමය සංචිත වලට සැලකිය යුතු තරමේ විදේශ විනිමය ගලා ඒමක් ඉතිරි කාලය තුළ අපේක්ෂා කළ නොහැකි බව පැහැදිලියි. මේ සමග විදේශ විනිමය ණය ආපසු ගෙවීමට ඇති බැවින්  ඉදිරි කාලය තුළ විදේශ විනිමය සංචිතය තවදුරටත් පහත වැටෙනු ඇති බව පැහැදිලියි. ඊට මුහුණ දීමට රජයට පහසු වෙන එකක් නැති බවයි මගේ විශ්වාසය වන්නේ‘‘ යැයි ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ සදහන් කළේය.