ත්‍රිකුණාමලයට අළුත් තෙල් ටැංකි 61ක්..! රටට වැදගත් වන කැබිනට් මණ්ඩල තීරණ සියල්ල මෙන්න..!

ත්‍රිකුණාමලයට අළුත් තෙල් ටැංකි 61ක්..! රටට වැදගත් වන කැබිනට් මණ්ඩල තීරණ සියල්ල මෙන්න..!
Spread the love

මැල්සිරිපුර ගොවිපළට අයත් අක්කර පහක ඉඩම් කොටසක් ක්‍රීඩා පිටියක් ඉදිකිරීම සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මැල්සිරිපුර ගොවිපළෙන් අක්කර පහක භූමි ප්‍රමාණයක් පොදු ක්‍රීඩාංගනයක් ඉදිකිරීම සඳහා ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාව වෙත පවරන ලෙසට ඉල්ලීමක් ලැබී තිබූ බව රජය පවසයි.

ඒ අනුව එම ගොවිපළේ මැදමුල්ල බෙදුමෙන් අක්කර පහක ප්‍රමාණයක් වෙන්කර දීමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ එකඟතාවය ලැබී ඇත.

එම ඉඩම ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවට පවරාදීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට ඇමති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය සඳහා ජර්මානු  පෙඩරල් ජනරජයේ තාක්ෂණික සහයෝගය ලබාගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ කාර්මික වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු ක්ෂේත්‍රය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණු අදියර 2 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2023/ 2026 කාලසීමාව ඇතුළත යුරෝ මිලියන හතක ප්‍රදානයක් ලබාදීමට ජර්මානු පෙඩරල් ජනරජය එකඟතාවය පළ කර ඇතැයි රජය පවසයි.

එකී ව්‍යාපෘතිය ජර්මානු පෙඩරල් ජනරජය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය ලෙස GIZ ආයතනය කටයුතු කරනු ලබයි.

යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ ආයතනය සහ අධ්‍යාපන අමාත්‍යාංශය අතර ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත අතර කෙටුම්පත් ගිවිසුම සඳහා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිරීක්ෂණය සහ නීතිපතිගේ අවසරය ලැබී තිබේ.

එම ගිවිසුම අත්සන් තැබීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

නවසීලන්තයේ වෙලින්ටන් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජතාන්ත්‍රික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් නවසීලන්තයේ වෙලින්ටන් හි මෙම මහ කොමසාරිස් කාර්යාලය පිහිටුවීම යෝග්‍ය බවට හඳුනාගෙන ඇතැයි රජයේ පවසයි.

ඒ අනුව කටයුතු කිරීම පිණිස විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

යෝජිත ශ්‍රී ලංකා- තායිලන්ත නිදහස් වෙළෙඳ  ගිවිසුමේ එකඟතාවයන් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ  ගිවිසුමට අදාල සාකච්ඡා අවසන් කර ඇති අතර නෛතික හා ආයතනික ගැටලු පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම් වෙත නීතිමය පිරික්සීම සඳහා යොමු කර තිබෙන බව රජය පවසයි.

මෙම ගිවිසුම යටතේ තීරු බදු ලිහිල්කරණ වැඩසටහනෙහි සංවේදී ලැයිස්තුවේ වර්ගීකරණය කරන ලද යෝජිත වර්ගීකරණ සංකේතාංක මත අදාළ වන සමුච්චිත තීරු බදු වලින් සියයට 50ක් ගිවිසුම බලාත්මක වූ දින සිට දින 16ක් වන වසර ආරම්භයේදී එකවර ඉවත් කිරීමට හැකි වන පරිදි විධිවිධාන ඇතුළත් කිරීමටත් ඒ අනුව තීරු බදු ලිහිල්කරණ වැඩසටහනෙහි කාලසීමාව වසර 18 සිට වසර 16 දක්වා අඩු කිරීමටත් 9 වන සාකච්ඡාවේදී දෙපාර්ශ්වය එකඟතාවයට පත්ව ඇතැයි රජය කියයි.

එම එකඟතාව පරිදි ඉදිරි කටයුතු කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

ත්‍රිකුණාමලයේ චීන වරායේ ඉහළ ටැංකි අංගනයේ ඉන්ධන ගබඩා ටැංකි 61ක් ඉදි කිරීම, ක්‍රියාත්මක කිරීම හා පැවරීම ව්‍යාපාරික මාදිලි යටතේ සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ත්‍රිකුණාමලයේ චීන වරායේ ඉහළ ටැංකි අංගනයේ ඉන්ධන ගබඩා ටැංකි අනූනමයකින් සමන්වින අතර 2022/1/3 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ පරිදි ඉන් ටැංකි 61ක් ත්‍රිකුණාමල ඛනිජ  තෙල් පර්යන්ත පුද්ගලික සමාගමකට වසර පනහක කාලයකට බදු දීම පිණිස අනුමැතිය ලබා දී ඇත.

එම තෙල් ටැංකි 61 සංවර්ධනය කිරීම සඳහා සක්‍යතා අධ්‍යයනයක් කිරීම ඇතුළුව මූලික පියවර මේ වන විට ආරම්භ කර තිබෙන බව රජය පවසයි.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිකිරීම, ක්‍රියාත්මක කිරීම හා පැවරීම යන ව්‍යාපාර මාදිලි අනුගමනය කිරීමට යෝජනා කර තිබේ.

ඒ අනුව පළමු අදියර යටතේ සිදුකිරීමට යෝජිත සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සුදුසු ආයෝජකයකු තෝරා ගැනීම පිණිස අදාල ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීම සඳහා විදුලි බල හා බලශක්තිය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.