තෙල් සංස්ථා ගබඩාවල ඉන්ධන ඇත්තේ තව දින 10කට පමණයි

තෙල් සංස්ථා ගබඩාවල ඉන්ධන ඇත්තේ තව දින 10කට පමණයි
Spread the love

ඉන්ධන, තෙල් සංස්ථා ගබඩාවල ඇත්තේ තව දින 10 කට පමණක් යැයි හිටපු ඇමැති චම්පික රණවක මහතා කියයි. ඔහු වැඩි දුරටත් පවසන්නේ මාධ්‍ය සංදර්ශන දමා තමන්ගේ ආණ්ඩුවේ බැරිකම තමන්ගේ නොවේ යැයි කියමින් ක්‍රියා කිරීමට තෙල් ඇමැති සහ විදුලි ඇමැතිවරුන්ට අයිතියක් නැති බවයි.

අද (17) පැවැති මාධ්‍ය හමුවකදී මේ පිළිබදව වැඩි දුරයත් කරුණු පැහැදිලි කළ චම්පික රණවක මහතා, ඉන්ධන, තෙල් සංස්ථා ගබඩාවල ඇත්තේ තව දින 10 කට ය. (පෙට්‍රල් මෙ.ටො. 30,000 ඩීසල් මෙ.ටො. 50,000) දැනට තෙල් නැව් 3 ක් ජෙට් ෆුඅල් ද ඇතුළුව ණයවර ලිපි නැතිව වරාය අවට සැරිසරමින් ඇත.

ලංවිම කියන්නේ ඛණිජ තෙල් සංස්ථාව තෙල් ලබා නොදෙන බවයි. තෙල් සංස්ථාව කියන්නේ ලංවිම රු. බි. 90 ක තෙල් බිල් පියවා නැති බවයි. ළඟදී ලාභ ලැබුවා යැයි ව්‍යාජයක් නැගූ ශ්‍රී ලංකන් ගුවන් සේවය ද ඩොලර් මිලියන 330 ක බිලක් තෙල් සංස්ථාවට ණය බව  තෙල් සංස්ථාව කියයි. තෙල් ඇමැති කියන්නේ ඩොලර් දුන්නොත් තෙල් දෙන බවය. විදුලි ඇමැති කියන්නේ තෙල් දුන්නොත් විදුලිය දෙන බවය. මොවුන් මේවා ඉල්ලන්නේ කාගෙන්දැයි අප ඇසිය යුතුයි.

තෙල් සංස්ථාවට ඩොලර් සහ ලංවීමට තෙල් ලබා දියයුත්තේ ජනතාව නොව ආණ්ඩුවයි. කැබිනට් මණ්ඩලය සාමූහිකව පාර්ලිමේන්තුවට සහ ජනතාවට මේ බව පැවසිය යුතුය. මාධ්‍ය සංදර්ශන දමා තමන්ගේ ආණ්ඩුවේ බැරිකම තමන්ගේ නොවේ යැයි කියමින් ක්‍රියා කිරීමට තෙල් ඇමැති සහ විදුලි ඇමැතිවරුන්ට අයිතියක් නැත. මේ පිළිබඳ මාස කිහිපයකට පෙර අප අනතුරු ඇඟවූ විට තෙල් හෝ විදුලි අර්බුදයක් නැතැයි පම්පෝරි ගැසූවෝ මොවුහුය. රටේ වටිනා ජාතික සම්පත් කිසිදු විවෘත ප්‍රසම්පාදනයකින් තොරව විකුණා දැමීමට තෙල් හා විදුලි ඇමැතිවරුන්ට හෝ ආණ්ඩුවට ජනවරමක් ලැබී නැත.

වංචාවට ලක් වී ඇත්තේ, රටේ ජනතාවයි. මේ ප්‍රශ්නය විසඳීමට ආණ්ඩුවට හා ඇමැතිවරුන්ට නොහැකි නිසා ජනතාව සාමූහිකව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග ගැනීමට කාලය එළඹ තිබේ.