දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් ඇසෙන අලුත්ම දුක්ගැනවිල්ල

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් ඇසෙන අලුත්ම දුක්ගැනවිල්ල
Spread the love

දින  දෙකකට පසුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද (09) දින අලුයම හතරට එළවළු වෙළඳාම සඳහා විවෘත කෙරුණ ද එළවළු මිල දී ගැනීම සඳහා පැමිණි ව්‍යාපාරිකයින්ට මෙන්ම එළවළු රැගෙන ආ ගොවීන්ට පැය ගණනාවක් ප්‍රධාන මාර්ගයේ දිගු පෝලිම්වල ලත වීමට සිදුවී ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට ඇතුළත මෙන්ම දඹුල්ල නගරයේ සෑම වර්ගයකම එළවළු පැටවූ ලොරි රථ වලින් පිරී ඉතිරී ගොස් ඇති අතර 08 දින දහවල් සිට දඹුල්ල නගරයේ මෙයාකාරයෙන් දැඩි රථවාහන  වාහන තදබදයක් පවතින බව ගොවීහූ පෙන්වා දෙති.

පෙර දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි බොහෝ එළවළු ගොවීන් තම එළවළු තොග සහිත වාහනය ආර්ථික මධ්‍යස්ථානය ඇතුළට ඇතුල් කරගැනීමට පැය 24කට වඩා වැඩි කාලයක් කුසගින්නේ මාර්ගවල පෝලිමේ සිටීමට තමන්ට සිදු වූ බව ඔවුහු කියති.

ගොවීන් සහ ව්‍යාපාරිකයින් මෙන්ම මාර්ගවල රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් ද 8 දින පෙරවරුවේ සිට එක් දිගටම  රාජකාරි කටයුතුවල නිරතව දැඩි  අසීරුතාවයකට පත්ව සිටි බවට දඹුල්ලේ සංචාරය කළ අපට නිරීක්ෂණය විය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල සිට පෙළවල් තුනකට කිලෝමීටර්  දෙකක පමණ එක් මංතීරුවක වාහන නවතා ඇති අතර  කිලෝමීටර් තුනකට වැඩි ප්‍රමාණයක් මහනුවර දඹුල්ල ප්‍රධාන මාර්ගය මෙන්ම වෑවල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ද දැක ගැනීමට හැකි විය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන ආ බොහෝ ගොවීන් මෙන්ම එළවළු මිල දී ගැනීම් සඳහා පැමිණි ව්‍යාපාරිකයන් මෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයින් ද කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථානය දිනපතා උදෑසන හතරේ සිට පස්වරු 2ට පමණ වන තුරු විවෘත කර තබන්නේ නම් මෙවැනි තදබදයක් ඇති නොවන බවයි.

මෙම  තද බදය හේතුවෙන් බොහෝ දෙනාගේ සෞඛ්‍යය ආරක්ෂාව පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් ඇති වන බවත් ඇතැම් එළවළු සඳහා නිසි මිලක් නොමැතිව එළවළු අපතේ යෑම පවා සිදු වන බව ඔවුහු පෙන්වා දෙති.

එළවළු මිල ගණන් විමසුම

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ මෙදින එළවළු මිල ද මධ්‍යස්ථ මට්ටමක පැවතිනි. කන්ද උඩරට ප්‍රදේශ වලින් ලැබෙන කැරට්, බෝංචි, මාළු මිරිස්, තක්කාලි, ආදී එළවළු කිලෝවක තොග මිල රුපියල් 100 – 190 දක්වා වූ මිල ගණන් යටතේ අලෙවි වන අතර පහත රට ප්‍රදේශ වලින් ලැබී තිබුණු වට්ටක්කා, මෑ කරල්, වම්බටු, දඹල, පතෝල, නෝකෝල්, වට්ටක්කා ආදී එළවළු කිලෝවක තොග මිල රුපියල් 60-119 දක්වා මිල ගණන් යටතේ අලෙවි වූ අතර කැකිරි සහ පිපිඤ්ඤා, බීට්රූට් කිලෝවක තොග මිල රුපියල් දහයේ සිට 35 දක්වා වූ මිල ගණන් යටතේ අලෙවි වූ බව වෙළෙන්දෝ පවසති.

ඇතැම් ගොවීන්ට තම වාහන ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළත් කර ගැනීමට නොහැකිව පැය ගණනාවක් ගත වන අතර ගොවීන් ගොවීන් අතරද උණුසුම්කාරී තත්ත්වයක් මහ පාරේ දැකගැනීමට හැකි විය. ඇතැම් ගොවීන් එළවළු ලොරිය මතම නිදා සිටින ආකාරයත් ඇතැම් රියදුරන් රියදුරු අසුනේ ම නිදාගෙන සිටින දසුන් ද  දර්ශනය වීම විශේෂත්වයකි.

බොහෝ ගොවීන් පොලීසිය සමග ද  උණුසුම් වචන හුවමාරුවලට පැටලෙනු දඹුල්ල නගරයේ දී දැක ගැනීමට හැකිවිය. කෙසේ වෙතත් පොලිසිය ස්ථාන ගණනාවක සිටම රථවාහන පාලනය කිරීම සඳහා දැඩි උත්සාහයක නිරත වී සිටිය ද ඇතැම්  ගොවීන් පොලිස් අණ නොතකා ආර්ථික මධ්‍යස්ථානය ප්‍රදේශයට ගමන් කිරීමට දරන උත්සාහයක් ද ඕනෑ තරම් දැක ගැනීමට හැකි වී තිබේ

මේ අතර ගොවීන් මහ පාර මැදට බැස කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍ය අමාත්‍යවරයාගේ පොලිසිය භාර අමාත්‍ය අමාත්‍යවරයාගේ සහ කෘෂිකර්ම භාර අමාත්‍යවරයාගේ කඩිනම් අවධානය යොමු නොකළහොත් දඹුල්ල දින දෙකෙන් දෙකට මේ ආකාරයෙන් විවෘත කිරීමට යාම රටේම බරපතළ ප්‍රශ්නයක් නිර්මාණය කරන බවය.

කාංචන කුමාර ආරියදාස  – දඹුල්ල