‘දින 14ක් රට වසා දමන්න’ වෛද්‍ය සංගම් හතරකින් ඒකාබද්ධ ඉල්ලීමක්

‘දින 14ක් රට වසා දමන්න’ වෛද්‍ය සංගම් හතරකින් ඒකාබද්ධ ඉල්ලීමක්
Spread the love

ලබන අඟහරුවාදා සංචරණ සීමා ලිහිල් නොකර දින 14ක් අඛණ්ඩව සංචරණ සීමා පැනවිය යුතු බව අද (21) කොළඹදී පැවති වෛද්‍ය සංගම් හතරක ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී දැඩිව අවධාරණය විය.

අද (21) කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාව සදහා, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයරජයේ වෛද්‍යවරුන්ගේ සංගමයවිශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය  සහ ශ්‍රී ලංකා වෛද්‍ය අන්තර් විද්‍යාතන කමිටුව සහභාගී විය.

මෙහිදී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු මහතා සදහන් කළේ පසුගිය සතිවල දින කිහිපයක් පමණක් සංචරණ සීමා පැනවීමට ගත් තීරණය කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති තත්ත්වයක් බවයි.

“පසුගිය දිනවල කරපු දින තුනේ කරපු ලොක් ඩවුන් එක එක්තරා විදියකින් වැඩක් නැති දෙයක්. ඒක අත්හදා බැලීමක් වුණාට විද්‍යාත්මක පසුබිමක් නෑ. රජයෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා අඟහරුවාදා අරින්න එපා. එහෙම වුණොත් මේ දවස් 5න් ගන්න ප්‍රයෝජනය නැතිව යනවා. ඒ නිසා මේක ගෙනියන්න දවස් 14ක් අවම වශයෙන්. ඉදිරියේ දී මියයන ගණන 100 ගණනක් වෙන්න පුළුවන්. වසංගත රෝග විද්‍යා අංශය සහ රජය, විද්වතුන්ගේ අදහස් ලබාගැනීමට ක්‍රියා නොකළහොත් පවතින තත්ත්වය තවදුරටත් භයානක විය හැකි බව අපි අවධාරණයෙන් සදහන් කරනවා‘‘

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය. ‘‘දැනට පවතින තත්ත්වයට එකම විසඳුම දින 14ක් දැඩි සංචරණ නීති ක්‍රියාත්මක කිරීම බව අපගේ අදහසයි. දවස් තුනක ලොක්ඩවුන් එකකින් රෝගය පාලනය කළ නොහැකියි. අතරමැද්දේ නිවාඩු දින දීලා, ඒ දිනයේ දී සමාජයේ එළියට ඇවිත් යළි එකතු වෙලා නැවත යන විට අපි රෝගය අලුතින් බෝකර හමාරයි. අතරමැද නිවාඩු දින දීම අනුමත කළ නොහැකියි. මේ අනුව අපට හිතෙනවා දින 14ක ඇඳිරිනීතිය හෝ දැඩි සංචරණ සීමා පැනවිම මඟින් අපි සියල්ලම ගෙවල්වලට කොටුවෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වන විට මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටීමට ඉතා වේගයෙන් ළඟාවෙමින් තිබෙනවා. ඒ ගැනත් රජයේ අවධානය යොමුවිය යුතුයි‘