දියවැඩියාව ගැන නව තොරතුරු: ප්‍රතිකාර වෙනස් වේද?

දියවැඩියාව ගැන නව තොරතුරු: ප්‍රතිකාර වෙනස් වේද?
Spread the love

දියවැඩියාව යනු රෝග පහක එකතුවක් බවත් එම එක් එක් රෝගය සඳහා වෙන වෙනම ප්‍රතිකාර සැකසිය හැකිවනු ඇති බවත් විද්‍යාඥයින් පිරිසක් පවසති.

දියවැඩියාව නොඑසේ නම් රුධිරයේ පාලනය කළ නොහැකි සීනි ප්‍රමාණය ඉහළ යාම සාමාන්‍යයෙන් ටයිප් 1 (type 1) සහ ටයිප් 2 (type 2) යනුවෙන් කොටස් දෙකකින් යුක්තය.

නමුත්, රෝගයේ වඩා සංකීර්ණ තත්ත්වය තමන් විසින් සොයාගන්නා ලද බැවින් පුද්ගලබද්ධව දියවැඩියාවට ප්‍රතිකාර කළ හැකි සමයක් උදාවනු ඇතැයි ස්වීඩනයේ හා ෆින්ලන්තයේ පර්යේෂකයින් කණ්ඩායම පවසති.

විශේෂඥයින් පෙන්වාදෙන්නේ අනාගත දියවැඩියා ප්‍රතිකාර සම්බන්ධයෙන් මෙම අධ්‍යයනය වැදගත් පණිවිඩයක් දෙන නමුත් දැනට කෙරෙන ප්‍රතිකාරවලට ඉතා ඉක්මණින් වෙනස්කම් නොකෙරෙනු ඇති බවය.

ලොව පුරා සෑම වැඩිහිටියන් එකොළොස් දෙනෙකුගෙන් එක් අයෙකු පමණ දියවැඩියාවේ බලපෑමට ලක්වී ඇති අතර, හෘදයාබාධ, ආඝාතය, අන්ධභාවය, වකුගඩු අක්‍රියවීම් මෙන්ම පාද ඉවත්කිරීමේ අවදානම ඉහළ යාමට එම රෝගය හේතු වේ.

Type 1 දියවැඩියාව යනු ප්‍රතිශක්තිකරණ පද්ධතියේ රෝගයකි. එය ශරීරයේ ‘ඉන්සියුලින්’ නිෂ්පාදනාගාරවලට (බීටා සෛල) දරුණු ලෙස පහර දෙන අතර එමගින් රුධිරයේ සීනි මට්ටම පාලනය සඳහා ප්‍රමාණවත් හෝමෝන නොමැති වේ.

2012 වසරේ දියවැඩියාව නිසා මරණයට පත් ජන සංඛ්‍යාව මිලියන 1.5 ක් විය
2012 වසරේ දියවැඩියාව නිසා මරණයට පත් ජන සංඛ්‍යාව මිලියන 1.5 ක් විය

Type 2 දියවැඩියාව බහුලවම දුර්වල ජීවන රටාව නිසා ඇතිවන රෝගයක් ලෙස දකින්නට ලැබෙන්නේ ‘ඉන්සියුලින්’ ක්‍රියාකාරීත්වය කෙරෙහි සිරුරේ මේදය බලපාන බැවිනි.

මෙම පර්යේෂණයේ යෙදුන ස්වීඩනයේ ‘ලන්ඩ්’ සරසවියට අයත් දියවැඩියා මධ්‍යස්ථානයේ හා ෆින්ලන්තයේ අණුක වෛද්‍ය ආයතනයේ විද්‍යාඥයින් පිරිස රෝගීන් 14,775 කෙරෙහි අවධානය යොමු කළ අතර ඔවුන්ගේ රුධිරය සම්බන්ධයෙන් සවිස්තරාත්මක විශ්ලේෂණ ද ඊට ඇතුළත් කර ගත්හ.

‘ද ලැන්සෙට් ඩයබිටිස් ඇන්ඩ් එන්ඩෝක්‍රිනෝලොජි’ හි (The Lancet Diabetes and Endocrinology) පළකෙරුණු ප්‍රථිඵලවලින් පෙන්වන්නේ විශේෂ වූ සමූහ පහකට රෝගීන් වෙන්කළ හැකි බවය.

  • සමූහය – පුළුල්ව දකින්නට ඇති type 1වර්ගය හා සමාන බරපතල ස්වප්‍රතිශක්තිකරණ දියවැඩියාව – පුද්ගලයින් තරුණ, සෞඛ්‍යසම්පන්න බැවින් යුක්ත යැයි පෙනෙන කාලයේදී ඊට ගොදුරු වෙන අතර ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපාන එම රෝගයෙන් ‘ඉන්සියුලින්’ නිපදවීමට නොහැකි වේ.
  • සමූහය – බරපතල ‘ඉන්සියුලින්’ ඌනතා දියවැඩියා රෝගීන් මුලිකවම 1 සමූහයේ අයට අතිශයින්ම සමාන බව පෙනිණි. – ඔවුන් තරුණ වගේම යහපත් බරකින් යුක්තවුවත් ‘ඉන්සියුලින්’ නිපදවීමේ අරගලයක යෙදී සිටිති. නමුත් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වරදක් නොවේ.
  • සමූහය – බරපතල ඉන්සියුලින් ප්‍රතිරෝධක රෝගීන් සාමාන්‍යයෙන් බරින් වැඩි අය අතර ඉන්සියුලින් නිපදවුවත් ඔවුන්ගේ ශරීර තවදුරටත් ඊට ප්‍රතිචාර නොදක්වයි.
  • සමූහය – සුළු ස්ථුලතා ආශ්‍රිත දියවැඩියාව ප්‍රධාන වශයෙන්ම අධික බරින් යුතු පුද්ගලයින් වෙතින් දකින්නට ලැබෙන නමුත් පරිවෘත්තීය ක්‍රියාවලිය අතින් 3 සමූහයේ සිටින පුද්ගලයින්ට වඩා අතිශයින්ම සාමාන්‍ය තත්ත්වයට සමීපය.
  • සමූහය – සුළු වයස ආශ්‍රිත දියවැඩියා රෝගීන් අනෙකුත් සමූහයන්ට වඩා විශේෂයෙන්ම වයසින් වැඩිවනවිට ඔවුන් රෝග ලක්ෂණ පහළ කළද ඔවුන්ගේ රෝගය සුළු බව පෙනෙන්නට තිබේ.
දියවැඩියා රෝගීන් මධ්‍යසාර පාවිච්චිය සීමාකළ යුතු බවට වෛද්‍යවරු උපදෙස් දෙති
දියවැඩියා රෝගීන් මධ්‍යසාර පාවිච්චිය සීමාකළ යුතු බවට වෛද්‍යවරු උපදෙස් දෙති

බීබීසී සමග අදහස් පළකළ එක් පර්යේෂකයකු වන මහාචාර්ය ලීෆ් ගෘප්. “මෙය අතිශයින්ම වැදගත්. නිවැරදිම ඖෂධ කරා යන ගමනේ සැබෑ පියවරක් අප තබනවා ” යැයි පැවසීය.

“සැබෑ තත්ත්වය තුළදී, මෙය රෝග විනිශ්චයට යොදා ගැනෙන අතරම වඩා හොඳ ප්‍රතිකාර ඉලක්ක කෙරෙනවා” යැයි ද ඔහු සඳහන් කළේය.

සුළු තත්ත්වයේ සමූහ දෙකට වඩා බරපතල ලෙස දැක්වූ සමුහ තුනට ප්‍රතිකාර කිරීම වඩා කඩිනමින් සිදු කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.

2 වෙනි සමූහයේ දැක්වෙන රෝගීන්ට ස්වප්‍රතිශක්තිකරණ රෝගයක් නොවන බැවින් වර්තමානයේ ඔවුන්ව හැඳින්වෙන්නේ type 2 ලෙසිනි.

කෙසේනමුත්, අධික ස්ථුලතාවකට වඩා ඔවුන්ගේ සිරුරේ බීටා සෛලවල ඇති දෝෂයක් ඔවුන්ට එම රෝගය වැළඳීමට හේතුවිය හැකියැයි අධ්‍යයනයෙන් පෙන්නුම් කෙරේ.

එසේම ඇතැම්විට ඔවුන්ට කෙරෙන ප්‍රතිකාර වර්තමානයේ type 1 ලෙස හැඳින්වෙන රෝගීන්ට කෙරෙන ප්‍රතිකාරවලට වඩා සමීපය.

2 වෙනි සමූහය අන්ධභාවය පිළිබඳ ඉහළ අවදානමක් පෙන්වූ අතර 3 වෙනි සමූහය වකුගඩු රෝග පිළිබඳ ඉතා ඉහළ අවදානමක් පෙන්වා තිබුණි. ඇතැම් සමූහවලට ඉතා ඉහළ පරීක්ෂාවල වාසිය ලබාගත හැකිය.

වඩා හොඳ වර්ගීකරණයක්

Type 1 සහ type 2 යනු “ඉතා නිවැරදි ම වර්ගීකරණයක් නොවන බව” බොහෝ විශේෂඥයන් දැන සිටි බව ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ්හි විශේෂඥ මෙන්ම සායනික විද්‍යාඥ ආචාර්ය වික්ටෝරියා සලෙම් පැවසුවාය.

රසකාරක ආහාර සහ පැණිබීම දියවැඩියා රෝගීන්ට සුදුසු නැත
රසකාරක ආහාර සහ පැණිබීම දියවැඩියා රෝගීන්ට සුදුසු නැත

බීබීසී වෙත අදහස් දැක්වූ ඇය පෙන්වාදුන්නේ “නිසැකයෙන්ම මෙය, රෝගයක් ලෙස දියවැඩියාව ගැන අප හිතන්නේ කෙසේද යන්න පිළිබඳ අනාගතයයි” යනුවෙනි.

නමුත් ඇය සඳහන් කරන්නේ මේ අධ්‍යයනය නිසා වර්තමාන භාවිතයේ වෙනසක් නොවන බවය.

අදාළ පර්යේෂණය ස්කැන්ඩිනේවියානුවන් පමණක් ආශ්‍රයෙන් කෙරුනද, දකුණු ආසියාවේ වැඩි වී ඇති අවදානම වැනි ලොව වටා දියවැඩියා අවදානම වෙනස් තත්ත්වයෙන් යුතු වේ.

“තවමත් විශාල වශයෙන් නොදන්නා ප්‍රමාණයක් ඉන්නවා. ජානමය හා අදාළ ප්‍රදේශවල පාරිසරික බලපෑම් අනුව ලොව පුරා උප කණ්ඩායම් 500ක් පමණ ඉන්නට පුළුවන්” යැයි ආචාර්ය සලෙම් කියා සිටියාය.

“ඔවුන්ගේ විශ්ලේෂණයට සමූහ පහක් ඇතුළත්. නමුත් එය වැඩිවෙන්න පුළුවන්.”

වොරික් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය සුදේශ් කුමාර් පවසන්නේ “පැහැදිලිවම මේක පළමු පියවරයි” යනුවෙනි.

“මේ කණ්ඩායම්වලට වෙනස් ආකාරයෙන් ප්‍රතිකාර කළොත් වඩා හොඳ ප්‍රතිඵල ගෙන ඒවිදැයි අපට දැනගන්නට අවශ්‍යයි”

දියවැඩියාවෙන් බේරීමට ශාරීරික ව්‍යායාමයන්හි නිරතවීම වැදගත් වෙයි
දියවැඩියාවෙන් බේරීමට ශාරීරික ව්‍යායාමයන්හි නිරතවීම වැදගත් වෙයි

ඩයබිටිස් යූකේ (Diabetes UK) සංවිධානයේ වෛද්‍ය එමිලි බර්න්ස් පවසන්නේ රෝගය හොඳින් අවබෝධ කරගැනීම “පුද්ගලබද්ධ ප්‍රතිකාර සඳහා මෙන්ම අනාගතයේදී දියවැඩියාව ආශ්‍රිත සංකීර්ණතා පිළිබඳ අවදානම අඩුකර ගැනීමට” සහය විය හැකි බවය.

“type 2 දියවැඩියාව තවත් සවිස්තරාත්මකව ඛන්ඩනය කිරීමේ සාර්ථක ඉදිරි පියවරක් මේ පර්යේෂණයෙන් අරගෙන තිබෙනවා. නමුත් මේ තත්ත්වයන් පුද්ගලයන්ගේ ජීවිතයට බලපාන්නේ කෙසේද යන්න ගැන අවබෝධ කරගැනීමට පෙර මේ උප වර්ගයන් ගැන වැඩිදුරටත් අප දැන ගැනීමට අවශ්‍යයි” යැයි ද ඇය පැවසුවාය.

(බීබීසී නිව්ස්හි, ‘සෞඛ්‍ය සහ විද්‍යාව’ පිළිබඳ වාර්තාකරු ජේම්ස් ගැලගර් සකස් කළ වාර්තාවක් ඇසුරිනි)