දිස්ත්‍රික්ක රැසකට ගංවතුර සහ නාය යාමේ පූර්ව අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක රැසකට ගංවතුර සහ නාය යාමේ පූර්ව අනතුරු ඇඟවීම්
Spread the love

දිවයිනේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය අද (09) තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර, ත්‍රිකුණාමලය, නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

මාතලේ, පොලොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඉදිරි පැය 24 තුළදී ගිණීකොණදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් ඇතිවීමේ හැකියාවක් පවතින බැවින් නැවත දැනුම්දෙන තුරු ධීවර සහ නාවික ප්‍රජාව මෙම මුහුදු ප්‍රදේශයේ සහ දිවයිනට දකුණු දෙසින්වන මුහුදු ප්‍රදේශයට ගමන් කිරීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දේ.දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට වයඹ දක්වා වන ප්‍රදේශවලින් හමා එන අතර එහි වේගය පැයට කිලෝමීටර 30ත් 40ත් පමණ වේ.පුත්තලම සිට කොළඹ , ගාල්ල , සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

අද පෙරවරු 8.30න් අවසන් වූ පැය විසිහතර තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ නොච්චියාගම ප්‍රදේශයට වන අතර එම ප්‍රමාණය මිලිමීටර් 300.4ක් වේ.රනෝරාව ප්‍රදේශයට මිලිමීටර් 260ක් රඹෑව ප්‍රදේශයට මිලිමීටර් 210.5ක් වේවැල්තලාව ප්‍රදේශයට මිලිමීටර් 200.2ක් ලෙස සෙසු ප්‍රදේශවලින් වර්ෂාපතනයන් වාර්තා වී තිිබේ.විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ සඳහා ද සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර ලක්ෂපාන ජලාශය ආශ්‍රිතව මිලිමීටර් 108ක් නෝටන් ජලාශය ආශ්‍රිතව මිලිමීටර් 104.5ක් කැනියන් ජලාශය ආශ්‍රිතව මිලිමීටර් 82.5ක වර්ෂාපතනයක් වාර්තා වී ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගලු ඔය ද්‍රෝණියේ අත්තනගල්ල , ගම්පහ සහ ජා ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත්බිම් ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්වයක් ඇතිවීමේ අවදානමක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එසේම කළුතර දිස්ත්‍රික්කයේ කළු ගඟ උප ද්‍රෝණීයේ බුලත්සිංහල , බදුරලිය ,පාලින්දනුවර , මිල්ලනිය , හොරණ , දොඩංගොඩ , සහ කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම් ද කෑගල්ල ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල කැලණිගඟ ද්‍රෝණීයේ දෙහිඕවිට , රුවන්වැල්ල , සීතාවක , දොම්පේ , කඩුවෙල ,බියගම , කොළොන්නාව , කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත්බිම්වලටද ඉදිරි කාලයේදී සුළු ගංවතුර අවදානමක් ඇති විය හැකි බවට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

කැලණි ගඟේ ග්ලේන්කෝස් , හංවැල්ල සහ නාගලගංවීදිය ස්ථානවල අවදානම් මට්ටම වැඩිවෙමින් පවතින අතර හොලොම්බුව ප්‍රදේශයේ මහ ගංවතුර මට්ටම අඩුවෙමින් පවතී.කළු ගඟ ආශ්‍රිතව පුටුපාවුල, ප්‍රදේශයේ ගංවතුර මට්ටම වැඩිවෙමින් පවතින අතර රත්නපුර , මගුර ප්‍රදේශවල ගංවතුර අවදානම අඩුවෙමින් පවති.කලවැල්ලාව මිල්ලකන්ද ප්‍රදේශයට සුළු ගංවතුර මට්ටම වැඩිවෙමින් පවතී.ගිං ගඟ ආශ්‍රිතව බද්දේගම ප්‍රදේශයේ සුළු ගංවතුර මට්ටම වැඩිවෙමින් පවතින අතර නිල්වලා ගඟ ආශ්‍රිතව තල්ගහගොඩ ප්‍රදේශයේද සුළු ගංවතුර මට්ටම වැඩිවෙමින් පවතින අතර පානදුගම ප්‍රදේශයේ අවදානම් මට්ටම අඩුවෙමින් පවතී.එමෙන්ම මහ ඔය ආශ්‍රිතව බඩල්ගම ප්‍රදේශයේ සුළු ගංවතුර මට්ටම වැඩිවෙමින් පවතින අතර ගිරිඋල්ල ප්‍රදේශය ආශ්‍රිතව මහ ගංවතුර මට්ටම වැඩි වෙමින් පවතී.අත්තනගලු ඔය ආශ්‍රිත දූනමලේ ප්‍රදේශයේ සුළු ගංවතුර මට්ටමකට පැමිණ ඇත.

එසේම ගංවතුර තත්වය සඳහා සෙවීම් සහ මුදවා ගැනීමේ කණ්ඩායම් ද ප්‍රදේශ කිහිපයක ස්ථානගත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දේ.ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ උඩුබද්දාව , ගිරිඋල්ල සහ බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය , පුත්තලම දිස්ත්‍රික්කයේ පාලවීය ප්‍රදේශය, රත්නපුර නව නගරය , බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ උඩලමත්ත ප්‍රදේශය සඳහා මෙලෙස කණ්ඩායම් යොදවා තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යෝෂණ සංවිධානය නාය යෑම් පිළීබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්ද නිකුත් කර තිබේ. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර සහ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය , කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය , වලල්ලාවිට , දොඩංගොඩ , ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ,නෙළුව , යක්කලමුල්ල, කඩවත්සතර , අක්මීමන , කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල යටියන්තොට ගලිගමුව දැරණියගල වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල , ඇලපාත, නිවිතිගල , කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට සහ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවට කෝරළේ , උඩුනුවර , හාරිස්පත්තුව , යටිනුවර , දොලුව , උඩපළාත, පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ , අඹගමුව , හගුරන්කෙත , කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම , මාවතගම , මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නායයෑම් පිළීබඳව විමසිලිමත්වන ලෙසට දැනුම් දී ඇත.තවද කළුතර දිස්ත්‍රික්කයේ මතුගම , බුලත්සිංහල , අගලවත්ත , පාලින්දනුවර , ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම , ඇල්පිටිය, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල , අරණායක , බුලත්කොාහුපිටිය , දෙහිඕවිට , රඹූක්කන, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම . රත්නපුර , ඇහැලියගොඩ , කලවාන , මහනුවර දිස්ත්‍රික්කයේ ගග ඉහළකෝරළේ , කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නාය යෑම් අවදානම් ප්‍රදේශ ලෙස නම් කර ඇත.

මේ වනවිට ජලාශ කිහිපයකද වාන් දොරටු විවෘතකර ඇත.රාජාංගනය ජලාශයේ වාන් දොරටු 2ක් අඩි 4බැගින් සහ දොරටු දෙකක් අඩි 4 බැගින්ද , දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 4ක් අඩි 4 බැගින්ද ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක් අඩියක් බැගින් ද කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු දෙකක්ද තබ්බෝව ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් සහ දොරටු දෙදක් අඟල් 6 බැගින්ද පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු හතරක් අඩි තුන බැගින් ද කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක්ද වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු හතරක් අඩි දෙකක් බැගින්ද අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි දෙකක් බැගින්ද විවෘත කර ඇත.එසේම නෝර්ටන්බ්‍රිජ් ජලාශය සහ මහවිලච්චිය වැව පිටාර ගලන අතර තුරුවිල ජලාශය වාන් දමමින් පවතී.

ඔක්තේබර් මස 29 වැනි දින සිට නොවැම්බර් මස 09 වැනි දින දක්වා කාලය තුළ අයහපත් කාලගුණික තත්වය බලපෑ දිස්ත්‍රික්කයන් 15ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 77ක පවුල් 1836කට අයත් පුද්ගලයන් 7167ක් බලපෑමට ලක් වී ඇති අතර පුද්ගලයන් 6දෙනෙකු මිය ගොස් තිබේ.සුරක්ෂිත මධ්‍යස්ථාන 7ක් මේ වන විට ස්ථාපිත කර ඇති අතර එම ස්ථානවල පවුල් 58කට අයත් පුද්ගලයන් 222ක් ආරක්ෂිතව සිටී.නිවාස 14ක් මේ වනවිට පූර්ණ ලෙස හානි වී ඇති අතර අර්ධ හානි නිවාස සංඛ්‍යාව 796කි.