දේශබන්ධුට එරෙහිව විනය පියවර ගන්න පොලිස් කොමිසම අධිකරණයට..!

දේශබන්ධුට එරෙහිව විනය පියවර ගන්න පොලිස් කොමිසම අධිකරණයට..!
Spread the love

වැඩ බලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා මූලික අයිතිවාසිකම් කඩකිරීමක් පිළිබඳව ‍ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර ඇතත් ඊට නීතිමය බාධාවක් නිසා නැවතත් අධිකරණයට ගැටළු ඉදිරිපත් කිරීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

2010 වසරේ දී අත්අඩංගුවට ගන්නා ලද හමුදා සෙබලෙකු වද බන්ධනයට ලක් කර ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි ‍වන්දි ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෑතකදී නියෝග නිකුත් කළේය.

එමෙන්ම චූදිතයන්ට එරෙහිව විනය ක්‍රියාත්මාර්ග ගන්නා ලෙසද පොලිස් කොමිසම වෙත නියෝග කර ඇත.

කෙසේ වෙතත් වැඩ බලන පොලිස්පති ධුරයට දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කර ඇති බැවින් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමේදී නීතිමය බාධාවක් ඇති වී තිබෙන බව ජාතික පොලිස් කොමිසමේ ආරංචි මාර්ග කියා සිටී.

පොලිස් නිලධාරීන් පත්කිරීම, උසස් කිරීම, ස්ථාන මාරු කිරීම, විනය පාලනය හා සේවයෙන් පහකිරීම පිළිබඳව පොලිස් කොමිසමට පුළුල් බලතල ඇතත් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට කොමිසමට බලයක් නැති වීම මෙම තත්ත්වය ඇතිවීමට හේතු වී තිබේ.

ඒ හේතුවෙන් තෙන්නකෝන් මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස් කොමිසමට ඇති බලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගය ක්‍රියාත්මක කරන්නේ කෙසේ දැයි විමසමින් ජාතික පොලිස් කොමිසම නීතිපතිවරයා වෙත ලිපියක් යොමුකර ඇති බවද වාර්තා වෙයි.

එමෙන්ම කොමිසම විසින් මෙම ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකකරණයෙන්ද විමසීමක් කර ඇති බවත් එ් අනුව එම තීන්දුව දුන් විනිසුරු මඩුල්ලට එකී ගැටළුව යොමු කරනු ඇති බවත් වාර්තා වේ.